Living Together ඔහොම හොඳද? | දිනමිණ

Living Together ඔහොම හොඳද?

කසාද නොබැඳ එකට ජීවත්වීම හෙවත් Living Together සංකල්පය මේ වන විට අප සමාජය තුළට එක් වෙලා. ඒක එහෙම නැහැ කියලා හිතට එකඟව කාටවත් පැවසීමට හැකියාවක් නැහැ. ඇතැම් අය මේ සංකල්පය සාධාරණීකරණය කරනවා. සමහරු නම් කියන්නේ Living Together ඉරඵබඥථ එක අප රටට, අප සංස්කෘතියට නොගැළපෙන බවයි. කෙසේ වෙතත් ආදරයයි කැස්සයි හංගන්න බැහැ කියන්න වගේ දැන් Living Together ක්‍රමයත් හංගන්න බැහැ. එයට හේතුව වන්නේ අප රටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකුම එහෙම ජීවත් වන නිසා. ඒ අයට හොඳ නම් ඇයි අපිට නරක කියලා සාමාන්‍ය සමාජයේ ඇතැමුන් ද දැන් Living Together සංකල්පයට පවුල් ජීවිත ගත කරන්නට පෙලඹිලා. අප ඒ ගැන පුවත්පත් ලිපියක් කරන්නට හිතුවා. ඒ සඳහා මෙසේ අදහස් විමසීමක් කළා. අප රටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකුගෙන්. බලමු ඔවුන් කිව්වේ මොනවාද කියලා Living Together ගැන.

 

මම දැනුත් එහෙමයි

දසුන් පතිරණ

කතා දෙකක් නැහැ මං ඊට එකඟයි. මේ මම දැනුත් ගත කරන්නේ ඒ වගේ ජීවිතයක් තමයි. බැඳලා ඩිවෝස් වෙනවට වැඩිය මේ විදිහට ඉන්න එක එක අතකින් හොඳයි. ලිවිං ටුගෙදර් ලෙසට ජීවිතය ගත කරලා පසුව ඇයත් එක්ක මුළු ජීවිතයම ඉන්නවාද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්.


 

හොඳයි. ඒත් මම නැහැ

මේනකා මධුවන්ති

ලිවිං ටුගෙදර් සංකල්පය ගැන මං හිතන්නේ දෙආකාරව. දෙදෙනෙකු එහෙම ජීවත්වීම තුළින් දෙන්නට දෙන්නා නියමාකාරයට තේරුම් ගන්නට පුළුවන්. හැබැයි අප සමාජයට මෙය නුහුරු දෙයක්. මම දකින අන්දමට ඒ ක්‍රමය හොඳයි. නමුත් මං පෞද්ගලිකව එහෙම ජීවත් වෙන්නේ නම් නැහැ.


 

 

සිස්ටම් එකේ වරදක්

ධනංජය සිරිවර්ධන

ලිවිං ටුගෙදර් කියන සංකල්පය මේ වන විට රැල්ලක් බවට පත් වෙලා. නමුත් මේ සිස්ටම් එක අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැහැ කියන එක නම් කිව යුතුයි. ඇතැම් රටවල ලිවිං ටුගෙදර් සංකල්පය ඒ රටවල සංස්කෘතික අංගයක්. මගේ විශ්ලේෂණයන්ට අනුව අප රටේ ඔය ක්‍රමවේදය තිබුණා. මං අහලා දැකලා තියෙනවා ආච්චිලා සීයලාව මුණුපුරු මිනිබිරියන් විසින් නීත්‍යානුකූලව කසාද බැඳපු අවස්ථා. එහෙයින් මේ සිස්ටම් එක වරදක් හැටියට මං දකින්නේ නැහැ. ඔය සංකල්පයට ලිවිං ටුගෙදර් කියලා වචනයක් හදාගෙන බටහිර රටවලට අනුව මෙහෙ ජීවත් වෙන්න හදනවා. හැබැයි ඒ ජීවත්වන අය දන්නවද දන්නේ නැහැ බටහිර රටවල ලිවිං ටුගෙදර් ජීවත් වෙලා බහුතරයක් නිත්‍යානුකූලව කසාද බඳිනවා කියන කාරණය. සුද්දගෙන් ලිවිං ටුගෙදර් පමණක් අරගත්තට වැඩක් නැහැ. ඊට වඩා තව කොපමණ හොඳ සහ අප රටට වැඩදායි සංකල්ප තියෙනවාද බටහිරින් ලබාගන්න.


 

 

 

ඒක පුළුල් බැඳීමක්

යුරේනි නොෂිකා

මේ සංකල්පය ලංකාවට අලුත් දෙයක් වුණාට වෙනත් රටවල නම් හරිම කොමන් දෙයක්. ඒ රටවල සමහරු නම් මුළු ජීවිත කාලයම ලිවිං ටුගෙදර් ගත කරනවා. මං මෙහි කිසිම වරදක් දකින්නේ නැහැ. නීත්‍යානුකූලව විවාහ වෙනවා කියලා කියන්නේ අත්සනක් දාන එකනේ. ලිවිං ටුගෙදර් සංකල්පය මත විවාහය අත්සනකට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒක එතැනින් එහාට ගිය පුළුල් බැඳීමක්. ලිවිං ටුගෙදර් සංකල්පයට මං හදවතින්ම එකඟයි.


 

 

 

 

මං ඒකට එකඟයි

හේමාල් රණසිංහ

මං ලිවිං ටුගෙදර් සංකල්පය ගැන කිසිම අදහසක් දක්වන්නේ නැහැ. මං ඊට එකඟයි කියලා පමණයි කියන්නේ.


 

 

නොට් බෑඩ්

මැණික් විජේවර්ධන

ලිවිං ටුගෙදර් නොට් බෑඩ්.


 

 

වචනෙ වාසියට අරගෙන

සහන් රන්වල

ලිවිං ටුගෙදර් බටහිර සංකල්පයක්. ඔතන වෙනස තියෙන්නේ පොතක ලිවීම සහ පොතක නොලිවීමනෙ. පොතේ ලියා අත්සන් කොට කසාද බැඳීමක් ආවේ බටහිරින්නේ. නමුත් අපේ ආච්චිලා සීයලා පොතේ නොලියා කසාද බැඳලා තියෙනවා. ඔවුන් හදවතිනුයි බැඳීම් ඇති කරගෙන තියෙන්නේ. නමුත් එහෙම ජිවත්වීම තුළින් බලපෑම් එන්නේ ළමයින්ට. මෙහිදී යම් යම් රීති මත ළමයින්ට කිසිම අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැනෙ. එතෙන්දි අසරණ වෙන්නේ දරුවෝ. අපේ රටේ අය ඉංග්‍රිසි වචන තමන්ගේ වාසියට හරව ගන්නවනෙ. ලිවිං ටුගෙදර් කියන වචනයත් වාසියට අරගෙන. මෙහිදී වෙන්නේ දෙදෙනෙක් පොතේ ලියා විවාහ නොවී ජීවිත කාලයම සිටීම. අපේ රටේ නම් වුණේ එහෙමයි. අතහැරයාමේ අරමුණින් තමයි අද බොහෝ දෙනා ලිවිං ටුගෙදර් ලෙසට ඉන්නේ. ඒක ඇත්තම ලිවිං ටුගෙදර් ද කියන එක මටත් ප්‍රශ්නයක්.


 

 

කසාදෙට වඩා හොඳයි

සුරංගා රණවක

ලිවිං ටුගෙදර් ලෙසට සිටීම කසාද ජීවිතයට වඩා ගොඩක් හොඳයි. දෙන්නෙක් එහෙම ඉන්නේ ඇත්තටම දෙන්නා අතර ආදරයක් තියෙන නිසානේ. ලිවිං ටුගෙදර් සංකල්පය ගොඩ නැඟෙන්නේ දෙදෙනෙකු අතර ඇති විශ්වාසය මත. ඒක සියයට සියයක්ම විශ්වාසය මත එකට ජීවත්වීමක්. කසාදය කියන්නේ බොරුවක් කියලා හිතෙනවා වෙලාවක.


 

 

අපට ගැළපෙන්නේ නැහැ

රෝහණ බැද්දගේ

කවුරු කොහොම කෙලස කිව්වත් ලිවිං ටුගෙදර් සංකල්පය අප රටේ තිබුණේ නැහැ. ඒක මේ බටහිරින් ආව දෙයක්නෙ. ඒක ඒ රටවලට හොඳ වුණාට අපේ රටට ගැළපෙන්නේ නැහැ. අපේ රටේ තිබුණේ චාරිත්‍ර විවාහ. පොත්වල අත්සන් කොට නෙවෙයි ඒ චාරිත්‍ර වාරිත්‍ර කළේ. ඒ චාරිත්‍ර ඉටු කළායින් පසුව දෙදෙනෙක් විවාහ වු බවට පිළිගැනීමට ලක් වෙනවා. අන්න ඕකයි අපේ රටේ වුණේ. නැතුව මේ හිතුමනාපෙට ඕන ඕන විදිහෙට පවුල් කෑවේ නැහැ. අනාදිමත් කාලයක පටන් අප රටේ තියෙනවා සිව් සැට කලාව. ඒ කලා ශිල්ප හැට හතර අතර තියෙනවා ආත්මෝභියෝගය නමැති කලාවක්. එමගින් නිරෝගී මිනිසකු බිහි කරනවා. ආත්මෝභියෝගය කොටස් හයකට බෙදෙනවා. එහි දෙවැනි වගන්තිය තමයි ආචාර ධර්ම සහ චාරිත්‍ර වාරිත්‍ර පිළිපැදීම. කසාද චාරිත්‍රයත් ඇතුළත් වෙන්නේ ඔතැනට. අද ඉන්න අය බහුතරයක් ඔය ගැන දන්නවද? අඩුම තරමේ කලා ශිල්ප හැට හතරක් තියෙනවා කියලවත් දන්නවද. බටහිර රටවල ඕවා නැහැ. ඒ රටවල්වලින් මොකක් හෝ දෙයක් අරගෙන මහා ලොකුවට හිස මුදුනේ තියාගෙන දේවත්වයෙන් සලකනවා. ලිවිං ටුගෙදර් ක්‍රමයත් එහෙමයි. ඔය වැනි වැරැදිවලට අප සමාජය ගොදුරු වන්නේ වැඩිහිටියන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගන්නෙ නැති නිසයි. නවීන තාක්ෂණය ගැන ඉගෙන ගෙන අන්තර් ජාලයේ සැරිසැරුවම හිතන්නේ තමන් හැම දේම දන්නවා කියලා. අපි මොනවා හරි කියා දෙන්න හැදුවාම උපහාසයට හිනාවෙලා අපිව මොඩයෝ ගානට දානවා. තමන් හැම දේම දන්නවා කියලා හිතන්න එපා. එහෙම වුණාම වැරැදිත් නිවැරැදිව පේනවා.


 

 

මේ අපේ අතීතයේ තිබුණ දෙයක්

මනුරංග විජේසේකර

කසාද බැන්දා කියන්නේ ලිවිං ටුගෙදර් තමයි. ඉතින් මේක අමුතු, මාර සංකල්පයක් නෙවෙයි. අද සමාජයට නම් ලිවිං ටුගෙදර් බටහිරෙන් ආව දෙයක්. නමුත් මේක අතීතයේ අප රටේ තිබුණු දෙයක්. අද වනවිට නම් දෙන්නෙක් ආදරය කරන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ලිවිං ටුගෙදර් තමයි. ඒතරම්ම ඔවුනට නිදහස තියෙනවානේ. හැබැයි මං මෙහිදී තව කාරණයක් මතු කරන්නට කැමැතියි.

යම් රටක ජීවත් වෙද්දී බහුතර මතයට අනුගත වන්නට සිදුවනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒක වෙන්න පුළුවන්. ලංකාවේ ඉන්නවා නම් අප ජීවත් වන්නේ බහුතර මතය ඇතුළේ. ඉන් පිට යමක් කරන්න ගියොත් නිකම්ම රැඩිකල්වාදියෙක් වෙනවා. අප රටේ ලිවිං ටුගෙදර් ලෙසට ජීවත්වෙන අය දිහා අමුතු විදිහට බලන්නේ ඒකයි.


 

 

මාත් අත් විඳලා තියෙනවා

බුද්ධික ජයරත්න

ලිවිං ටුගෙදර් සංකල්පය ගැන මගේ තියෙන මතය මේකයි. ඕකෙ දෙපැත්තක් තියෙනවා. ධනාත්මක පැත්ත සහ සෘනාත්මක පැත්ත. ධනාත්මකව ගත්තොත් මේ සංකල්පය තුළදී තමන්ට නියම සහකාරයා හෝ සහකාරිය සොයාගන්න පුළුවන්.

පෙම්වතා හෝ පෙම්වතිය ලෙස අප ගත කරන කාලය තුළදී දෙන්නා ගත කරන්නේ හරිම සැහැල්ලු ජීවිතයක්. එහිදී කතාබස් කරන අන්දම පවා වෙනස්. එකිනෙකා තරහා වේවි කියලා තමන් තුළ සිටින නියම පුද්ගලයා මුවා කරගෙන වෙනමම වෙස් මුහුණක් දාගෙන පෙම්වතා හෝ පෙම්වතියව සනසනවා.

නමුත් කසාදයෙන් පසුව තමයි නියම පුද්ගලයා මතුවෙන්නට පටන් ගන්නේ. මමත් ඒ තත්ත්වය අත්විඳලා තියෙනවා. එබැවින් ටුගෙදර් සංකල්පය තුළින් නියම සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගත හැකියි. මෙහිදී සෘනාත්මක පැත්තක් තියෙනවා.

ලිවිං ටුගෙදර ජීවිතයත් ගත කරලා ඒ දෙන්නා ගැළපෙන්නේ නැතුව වෙන් වුණොත් ලංකාව වගේ රටකදී ගැහැනියට හිමි තැන ගැන ප්‍රශ්නයක් මට තියෙනවා. පිරිමි කෙනාට නම් ගැටලුවක් නැහැ. නමුත් එතැනින් එහාට ගැහැනියට වෙන්නේ මොකක්ද කියන එක ගැටලුවක්.


 

 

 

 

 

 

හොඳ පෙරහුරුවක්

ලහිරු පෙරේරා

ලවිං ටුගෙදර් සංකල්පය තිබිය යුතුයි කියන මතයේ මං ඉන්නවා. මේක ඉතාම සාර්ථක ක්‍රමයක් හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න. දෙන්නෙක් යාළුවෙලා කසාද බැන්දට පස්සේ ප්‍රශ්න මතු කරගෙන වෙන් වෙනවට වඩා මේ ක්‍රමය අනුගමනය කළා නම් කොපමණ හොඳද. ලිවිං ටුගෙදර් හොඳ පෙරහුරුවක් වෙනවා ඇත්ත මිනිහා කවුද කියන එක හඳුනගන්න.


අදහස් 1ක් ඇත

anaot suitable for our country as the woman will be criticized. In earlier days in Sri Lanka it was there. But not like what western people doing. For our people it was the marriage. they did not leave the partner. They had children and they were together until death. SO PLEASE DO NOT COMPARE OUR LIVING TOGETHER AND WESTERN COUNTRIES LIVING TOGETHER.

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...