විපතට පත් ජනතාවට සහන සැලසීමට ධීවර රාජ්‍ය අැමැති මැදිහත් වෙයි | දිනමිණ

විපතට පත් ජනතාවට සහන සැලසීමට ධීවර රාජ්‍ය අැමැති මැදිහත් වෙයි

අධික වර්ෂාවත් සමඟ තංගල්ල , බෙලිඅත්ත, වීරකැටිය හා වලස්මුල්ල ඇතුළු ප්‍රදේශවල ජලගැලීම් වලින් විපතට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අැමැති හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටුවේ සම සභාපති දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසීය .

රාජ්‍ය අැමැතිවරයා මේ බව පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය නිලධාරීන්ට සහන සැලසීම පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා දෙමිනි.

අවතැන් ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා ගෙන යාමට මෙන්ම එම ජනතාවට පිසූ ආහාර ලබා දීමටත් අත්‍යවශ්‍ය පහසුකම් සැලසීමටත් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද රාජ්‍ය අැමැති දිලිප් වෙදආරච්චි මැතිතුමා කටයුතු කෙළේය.

ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් සිය නිවාසවලින් ඉවත් වීමට නොහැකි ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාමට නාවික හමුදාවේ සහය ලබා ගනිමින් ඒ සදහා අවශ්‍ය බෝට්ටු ලබා දීමට ද කටයුතු කෙළේය .

පවතින වැසි සමඟ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් තංගල්ල ග්‍රාම නිලධාරී වසම් 13 ක 711 දෙනකු පිඩාවට පත්ව සිටි . බෙලිඅත්ත ප්‍රදේශයෙන් මරණ දෙකක් වාර්තා වී ඇති අතර දම්මුල්ල ප්‍රදේශය ජලයෙන් යට වී ඇතැයි තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසීය . ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාර්තාවලට අනුව කටුවන ග්‍රාම නිලධාරිවසම් 13 ක 104 දෙනෙකු ,ඕකෙවෙල පවුල් 17 ක් ,අබේසේකර ගම 15 , වීරකැටිය ග්‍රාම නිලධාරී වසම් 09 ක 200 ක් ,වලස්මුල්ල ග්‍රාමනිලධාරී වසම් 08 ක 252 ක් පිඩාවට පත්ව සිටිති .

ඊට අමතරව නිවාස හා දේපළ රැසකට හානි සිදුව ඇති අතර හාදගල ගම්මානයට යන සියලු මාර්ග අවහිර වී ඇති බවට තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා වී තිබේ .

මෙම තත්ත්වය හමුවේ අවහිර වී ඇති මාර්ග යතා තත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සදහා බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එම කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර තවදුරටත් ජල ගැලීම් හෝ අවදානම් ස්ථාන වලින් ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන්ට රාජ්‍ය අැමැති දිලිප් වෙදආරච්චි මැතිතුමා උපදෙස් ලබා දුන්නේය .

ඊට අමතරව සහන කටයුතු සදහා රාජ්‍ය අැමැතිවරයා තම නිලධාරීන් ද යොදවා එම කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගත්තේය.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ නිරන්තර අවධානයෙන් සිට අවශ්‍ය සියලු සහන සැලසීමට කටයුතු සම්පාදනය සදහා පෞද්ගලිකවම මැදිහත් වෙමින් එම කටයුතු පිලිබදව සොයා බැලීමට රාජ්‍ය අැමැති දිලිප් වෙදආරච්චි මැතිතුමා කටයුතු කරමින් සිටි . ආපදාවන්ට පත්වුවන් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට 047- 2240038-047 – 2240238 දන්වන්න.

නව අදහස දක්වන්න