මහ වැස්සක් කළ විපතක් | දිනමිණ

මහ වැස්සක් කළ විපතක්

අධික වර්ෂාව සමඟ ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බියගම හෙයියන්තුඩුව ප්‍රදේශයේ නිවසකට පෙරේදා (25) රාත්‍රී පස් කන්දක් හා තාප්පයක් කඩාවැටීමෙන් එකම පවුලේ මව සහ දියණිය මරුමුවට පත්වී ඇත. මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ මව සහ දියණිය වන ඩී. පී. මධරාවතී (76) හා ප්‍රියන්ති මංගලිකා (42) යන දෙදෙනා වෙති. පෙරේදා (25) රාත්‍රී 9.30 ට පමණ ධාරාණිපාත වර්ෂාව සමඟ මෙම නිවසට යාබද නිවසේ මායිමේ ඉදිකර තිබූ අඩි 15 ක් පමණ උස පස් කන්ද හා කළුගල් බැම්ම මෙම නිවෙස පිටුපස කොටසට කඩා වැටී ඇත.

ඒ අවස්ථාවේ නිවසේ පිටුපස කොටසේ කාමරයක මියගිය මව සහ දියණිය සිට ඇති අතර පස් කන්ද කඩාවැටීමෙන් එයට යටවී මව සහ දියණිය මෙසේ මියගොස් ඇත.

පස් කන්ද කඩාවැටුණු අවස්ථාවේම අසල්වැසියන් විසින් පස් කන්ද හාරා එයට යටවී සිටි එම පවුලේ දියණිය රාගම රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර රෝහලට රැගෙන යන විටත් ඇය මියගොස් සිටි බව අසල්වැසියෝ පවසති.

පස් කන්දට යට වී සිටි ඩී. පී. මධුරාවතී නැමැති අයගේ සිරුර බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් පස් ඉවත්කර රාත්‍රී 12.00 ට පමණ සොයාගෙන ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිට ඇත.

මෙසේ පස් කන්දට යටවීමෙන් මරුමුවට පත්වූ ප්‍රියන්ති මංගලිකා (42) අවිවාහක වන අතර ඇය බියගම ප්‍රාදේශීය සභාවේ මාවරමංඩිය පුස්තකාලයේ පුස්තකාල සහායක ලෙස රැකියාව කර ඇත. 

නව අදහස දක්වන්න