හැමදා නියං එක දා වැහි වලාවේ! | දිනමිණ

හැමදා නියං එක දා වැහි වලාවේ!

අපේ රටේ ජනගහනයෙන් වැඩි කොටස හෙවත් බහුතරය පරිසරයට සංවේදී නැත. දේශගුණයට සංවේදී නැත. ඒ නිසා ම පරිසර විනාශය රට පුරා සිදුවෙයි. දිය ඇල්ලක් ගතහොත් ඒ අවටින් බෝතල් හා බෝතල් කටු හොණ්ඩර ගණනක් සොයාගත හැකි ය. රක්ෂිතයක් ගතහොත් එහි මැද හිස් ය. වටිනා ගස් හොරෙන් කපාගෙන ගොස් තිබේ. දේශගුණය ගතහොත් වර්ෂා කාලයට වඩා නියං කාලය දීර්ඝ ය. නියං කාලයට වතුර ඇත්තේ ම නැති තරම් ය. වැස්ස කාලයට සිදුවන විනාශය සුළුපටු නැත. නායයෑම්, ජල ගැලීම්, අකුණු අනතුරු දිගින් - දිගටම වාර්තා වේ. වැස්ස සම්පතක් විය යුතු‘මුත් එය ‍එසේ වන්නේ නැත.

නිරිතදිග මෝසම් වැස්ස ස්ථාපනය වී ඇතැ‘යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එය සනාථ කරමින් ධාරාණිපාත වර්ෂාව දින කිහිපයක් ඇදවැටිණි. ශ්‍රී ලංකාවට වැඩි ම වර්ෂාපතනයක් ලැබෙන්නේ නිරිතදිග මෝසමෙන් ය. මෙහි වැඩිම බලපෑම ඇත්තේ තෙත් කලාපයටය. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පෙන්වා දෙන අන්දමට වැස්ස එක දිගට පැවැතියහොත් කෑගල්ල, රත්නපුර හා ගාල්ල යන දිස්ත්‍රික්කවල නාය යෑම් ඇතිවිය හැකි ය. ඊට අදාළ අවදානම් කලාප ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දක්වා තිබේ. මේ ගැන අවධානයෙන් සිටීම ජනතාවගේ යුතුකම ය. පෙර සූදානම මඟින් අනතුරු වළක්වා ගත හැකි ය.

කළු ගඟ, නිල්වලා ගඟ, ගිං ගඟ හා කැලණි ගඟ පිටාර මට්ටමේ පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. ගඟ දෙපස පහත්බිම්වල වාසය කරන අය අවධානයෙන් පසුවිය යුතු බව ද එම ආයතනය පෙන්වා දෙයි. මාතර, ගාල්ල, රත්නපුර, කැලණිය, කළුතර යන ප්‍රදේශවලට ගංවතුර තර්ජනය ඇති බව ද ආයතනය කියා සිටී. මේ වන විටත් කැලණිය ප්‍රදේශයේ පහත්බිම්වල නිවාස 600 ක් වැසි වතුරෙන් යට වී ඇත. මේ අයට සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වී ඇත. ආපදා සම්බන්ධයෙන් ක්‍රියාකරන රාජ්‍ය ආයතන ජනතාව දැනුම්වත් කරන අතර සහන සැලැසීමට ද වහා ක්‍රියාත්මක වෙයි. එය යහපත් තත්ත්වයකි.

ගංවතුරට ජනතාව ගොදුරු වන්නේ ද, වැසි වතුරට ගොදුරු වන්නේ ද සැලැසුමක් නැති ඉදිකිරීම් නිසා යැයි කියන්නට පුළුවන. පරිසරයේ තුලිතභාවය ජනතාව විසින් ම කඩා - බිඳ දමා තිබේ. පහත් බිම් ගොඩ කිරීම මෙන් ම ඒවායෙහි අනවසර ඉදිකිරීම් ඇති කිරීම ද, පසුගිය දසක කිහිපය තුළ දිගින් දිගටම සිදු විය. එක අතෙකින් ඉඩම් අහිමි ජනතාව අනවසරයෙන් මේ බිම්වල නිවාස තනා පදිංචි වී ඇත. තව අතෙකින් අවසරය සහිතව ව්‍යාපාරික ස්ථාන හා කර්මාන්ත පිහිටුවා ඇත. මේ නිසා ජලය බැස යෑම අවහිර වී ඇත. සැලැසුමක් නැතිකම ද, පරිසරය නොසලකා හැරීමද මෙයින් මොනවට පැහැදිලි වෙයි.

ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන මාර්ග කිහිපයක් තිබේ. එක මෝසම් වැස්ස ය. නිරිතදිග මෝසම හා ඊසානදිග මෝසම යනුවෙන් ප්‍රධාන මෝසම් දෙකක් තිබේ. නිරිත දිග මෝසමෙන් තෙත් කලාපයට ද, ඊසාන මෝසමෙන් වියළි කලාපයට ද වැස්ස ලැබේ. දෙක අන්තර් මෝසම් වැසි ය. මෝසම් දෙක අතර වැස්ස ලැබෙන කාලයක් ලෙස එය සලකනු ලැබේ. තුන සංවහන වැසි ය. සංවහන වැසි ලැබෙන්නේ දැඩි උෂ්ණත්වයත් සමඟය. මේ හැරෙන්නට බෙංගාල බොක්කේ පීඩන තත්ත්වයන් මත ද විටින් විට රටට වැසි ලැබේ. අතීත මිනිසා මේවා ගැන හොඳ අවබෝධයකින් පසූ වූ අතර ඊට අනුව කෘෂිකර්මය හා ධීවර කර්මාන්තය වැනි ජීවනෝපාය මාර්ග සකස්කර ගත්තේ ය. ඒ අනුව වැස්ස සම්පතක් මිස විනාශයක් ඇති කළේ නැත.

ශ්‍රී ලංකාව මීට පෙර හැඳින්වූයේ නාය යෑම් නැති ගිනිකඳු නැති වාසනාවන්ත රටක් හැටියටය. අද අප මුහුණ නොදෙන්නේ ගිනිකඳු පුපුරා යෑම නම් ස්වාභාවික ව්‍යසනයට පමණි. නාය යෑම, කඳු කඩාවැටීම, ගංවතුර සාමාන්‍ය සිද්ධි බවට පරිවර්තනය වී ඇත. ඒ හැරෙන්නට කුණු කඳු කඩා වැටීමෙන් ද මිනිස්සු මරණයට පත් වෙති. නාය යෑම් බහුල වී ඇත්තේ කඳුකරයේ සංවේදී භූමි භාග විනාශ කිරීම නිසා ය. උස් කඳුවල බෑවුම් වගාවට ද නව ජනාවාසවලටද යොදාගෙන තිබේ. අරණායක ප්‍රදේශයේ සිදුවූ නාය යෑමෙන් විපතට පත් වූ තවත් පිරිසක් අනාථ වී සිටිති. ඉන් එක කොටසක් අලුත් ඉඩම්වලට කැමැති නැත.

අනවසර ඉදිකිරීම්, අනවසර පදිංචිවීම් මෙන්ම අනවසර වගාවන්ද ශීඝ්‍ර ලෙස පැතිර ගොස් තිබේ. මෙහි තත්ත්වය කෙතරම් භයානකදයත්, පිදුරුතලාගල කඳු මුදුනේ පැවැති එළවළු වගාවක් ගැන තොරතුරු පුවත්පත් මඟින් හෙළිදරව් කරන ලදී. හන්තාන ප්‍රදේශයේ නායයෑම් ආරම්භ වූයේ ද අනවසර ඉදිකිරීම් හා වනය හෙළිකිරීම් නිසාය. ජනගහනය වැඩිවන විට අලුත් ජනාවාස ඉදිවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් ශ්‍රී ලංකාව වැනි කුඩා රටක ඉවක් බවක් නැතිව ඉදිකිරීම් සිදුවුවහොත් මහත් විපත්තිවලට මුහුණදීමට සිදුවනු ඇත. මැණික් ගැරීම, පස් කැපීම, වැලි ගොඩදැමීම යන මිනිස් ක්‍රියාකාරකම් ද පරිසරයට ඔරොත්තු නොදෙන ආකාරයෙන් සිදු වේ. මේ සියල්ලෙහි ප්‍රතිඵලය වන්නේ ස්වාභාවික විපත් තව තවත් අධික වීමය.

වර්ෂාවත් සමඟ පාරවල් යටවෙයි. පහත්බිම් යටවෙයි. කාණු උතුරා යයි. විදුලිය කම්බිමතට ගස් කඩා වැටෙයි. මේ බලපෑම් නිසා ගමනාගමනය ද නවතී. එයින් සිදුවන්නේ රටම නැවතීමය. වර්ෂාවත් සමඟ රටේ වැඩ කරන පැය ගණන අඩුවෙයි. එය ආර්ථිකයට බලපායි. මේ තත්ත්වය වෙනස් කළ හැක්කේ වර්ෂාව සඳහා පෙර සූදානමක් ඇතිකර ගැනීමෙන් පමණි. වැස්ස ආරම්භ වීමට පෙර දීර්ඝ නියං කාලයක් පැවැතිණි.තෙත් කලාපයට පවා වතුර හිඟ විය. මිනිස්සු ආණ්ඩුවට පමණක් නොව දෙවියන්ට ද බැණ වදින්නට පටන් ගත්හ. වැස්ස ඉල්ලා පිරිත් කියන්නට පටන් ගත්හ. දැන් වර්ෂාව ආරම්භ වී තිබේ. දැන් නැවත වැස්සට බැණ වදින්නට පුළුවන. මේ සියල්ලෙන් පෙනී යන්නේ සැලැසුමක් නැතිකම නොවේ ද?

නව අදහස දක්වන්න