වැටුප් රහිතව කුවේට් හි සේවය කළ ගෝවින්දසාමිට ලක්ෂ 16ක වැටුප් ඇමැතිවරිය අතින් | දිනමිණ

වැටුප් රහිතව කුවේට් හි සේවය කළ ගෝවින්දසාමිට ලක්ෂ 16ක වැටුප් ඇමැතිවරිය අතින්

2011.09.22 වැනි දින කුවේට් රාජ්‍යයට ගෘහ සේවකාවක් ලෙස සේවය සඳහා ගිය 199/2, නුවර පාර, මාතලේ ලිපිනයේ පදිංචි ගෝවින්දසාමි පරමේශ්වරී මෙනවියට එරට සේවය කළ ස්ථානයේ දී මුල් මාස 11 පමණක් වැටුප් ලැබී තිබෙන අතර ඉතිරි මාස 62ක කාලයක් (වසර 4කට ආසන්න) ඇය වැටුප් රහිතව සේවය කර තිබේ.

එම නිසා 2016.12.04 වැනි දින ඇය සේවය කළ නිවසින් බැහැර වී කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබේ. තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් විසින් මේ සම්බන්ධව විදේශ රැකියා ඇමැතිවරියට දැනුම්දීමෙන් අනතුරුව ඇමැතිවරියගේ උපදෙස් පරිදි කුවේට් අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව වෙත මේ පිළිබඳව කරුණු දන්වා තිබේ

එහි දී ගෝවින්දසාමි පරමේශ්වරී මෙනවිය සේවය කළ නිවසේ හිමිකරුගෙන් ඇයට හිමි හිඟ වැටුප් ලෙස කුවේට් ඩිනාර් 3310ක් (රුපියල් 16,25,000 ආසන්න මුදලක්) ලබාගැනීමට හැකි වුණි. එම මුදල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පෙරේදා (24) ඇය දිවයිනට පැමිණීමෙන් පසු විදේශ විදේශ රැකියා ඇමැතිවරිය අතින් ලබා දෙන ලදි. මේ අවස්ථාවේ දී ඇමැතිවරිය විසින් ඇයගේ සුවදුක් විමසූ අතර මේ මුදල් ඇයගේ ඉදිරි වැඩකටයුතු සඳහා යොදා ගන්නා ලෙසට ද උපදෙස් ලබා දෙන ලදි.

මෙහි දී අදහස් ප්‍රකාශ කළ ගෝවින්දසාමි පරමේශ්වරී මෙනවිය සඳහන් කළේ කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් තමන්ගේ ප්‍රශ්නය පිළිබඳ කඩිනමින් විසැඳුම් ලබා දුන් බවත්, සියලු නිලධාරීන්ට ස්තූතිවන්ත වන බවත්, විදේශ රැකියා ඇමැතිතුමියගේ මැදිහත් වීම මත තමන්ට හිඟ වැටුප් ලබාගැනීමට හැකි වූ බවත්, නැවත් වරක් රැකියාවක් සඳහා විදේශ ගත වන බවත්ය. 

නව අදහස දක්වන්න