අයර්ලන්තයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ නවසීලන්තයට එරෙහිව පෙරේදා පැවැති තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්තා කළ බංග්ලාදේශ කණ්ඩායම පළමුවරට එක්දින ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි තැනට පත්වීමට සමත්විය. ඒ සමගම මෙතෙක් 6 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා පිල 7 වැනි ස්ථානය දක්වා පහළ ගියේය.
ඩබ්ලින් නුවර පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 50 අවසානයේ දී කඩුලු 8කට රැස් කළ ලකුණු 270 හඹා ගිය බංග්ලාදේශ පිතිකරුවන් ඕවර 48කුත් පන්දු 2කදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය.
බංග්ලාදේශ පිල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල් සහ ශබ්ර් රහ්මාන් ලකුණු 65 බැගින් රැස් කළහ. තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය මුෂ්ෆිකාර් රහීම් නොදැවී ලකුණු 45ක් ලබාගත්තේය.
ඔහුට අනගි සහයක් දුන් මහ්මුදුල්ලා වේගවත් පිතිහරඹයක නිරතවෙමින් නොදැවී ලකුණු 46ක් රැස් කිරීමට සමත්විය.
නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 122ක් ලබා දකුණු අප්‍රිකාව පෙරමුණේ පසුවන අතර ලකුණු 118ක් ලබා සිටින ඔස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයේ රැඳී සිටී.
තුන්වැනි ස්ථානයට පත්වී ඇත්තේ ලකුණු 117ක් ලබා සිටින ඉන්දියාවයි. සිවුවැනි තැන නවසීලන්තයටත්, පස්වැනි තැන එංගලන්තයටත් හිමිවී තිබේ.
නව අදහස දක්වන්න