ජනතාව කරකවන ග්‍රහයෝ | දිනමිණ

ජනතාව කරකවන ග්‍රහයෝ

සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - නිමල් විජේසිරි

රජ ගෙදර සිට පැල්පත දක්වාවූ මෙරට ජන සමාජයේ සෑම තරාතිරමක ජ්‍යෝතිෂය විශ්වාස කරන පුද්ගලයෝ සිටිති. බලයට පත්වීම සඳහා මෙන්ම බලය රැක ගැනීමටත් දේශපාලනඥයෝ ජ්‍යෝතිෂ පිහිට පතන අයුරු අප කොතෙතුත් දැක තිබේ. එසේ ගත් උත්සාහයන් ඇස් පනාපිට අසාර්ථක වුවද ඒ කෙරෙහි පවත්නා විශ්වාසය අබමල් රේණුවකින් හෝ අඩුකර ගැනීමට ඔවූන් අකමැතිය. මැතිවරණ සඳහා දින නියම කිරීමට මෙන්ම මැතිවරණ සමයන්හිදී ජනමතය වෙනස් කිරීම සඳහාද ජ්‍යෝතිෂවේදීන්ගේ සහය ලබා ගන්නා අයුරුද පසුගිය දශක ගණනාවක පටන් අපි අසා දැක ඇත්තෙමු. තමන් සේවය කරන දේශපාලනඥයා දිනවීම සඳහා පමණක් නොව ඔහු සතුටට පත් කිරීම පිණිස වුවද පැ‍රැණි ජ්‍යෝතිෂය ශාස්ත්‍රය වෙනස් කිරීමට පවා සමත් ජගතුන් මෙරට සිටින අතර ඊට උදාහරණ ඕනෑ තරම් ලබා දීමට පුළුවන. මෙවැනි පිරිස් නිසාවෙන් වර්තමානය වන විට ජ්‍යෝතිෂය බඩගෝස්තර වාදීන්ගේ ව්‍යාපාරයක් බවට පත් වෙමින් තිබෙන අතර තර්ක ඥාණයෙන් කිසිවක් නොවිමසන පිරිස් අන්ධයන් මෙන් ඒ පසුපස යනු ද දක්නට ලැබේ. පසුගිය ජනපතිවරණයේදී පැහැදිලි ලෙසම මෙරට ජ්‍යෝතිෂයවේදීන් කඳවුරු දෙකකට බෙදී ක්‍රියා කරනු පැහැදිලිව පෙනෙන්නට තිබුණු අතර ඔවුන් බොහෝ දෙනකු ජ්‍යෝතිෂය ශාස්ත්‍රය ඔස්සේ ක‍රුණු විග්‍රහ කරනු වෙනුවට තම කඳවුරේ නියෝජිතයා දිනවන්නට අවශ්‍යය මතය ජ්‍යෝතිෂය ඔස්සේ සමාජගත කරන්නට වෙහෙසෙන බව දක්නට ලැබිණි.තම අනාවැකි නිවැරදි වූ අවස්ථාවල මාධ්‍යය ඔස්සේ පම්පෝරි ගසන ජ්‍යෝතිෂවේදීහූ ඒවා වැරදුණු අවස්ථාවල මාධ්‍යවලින් වසන් වී හෝ නොයෙක් පිළිගත නොහැකි කරුණු දක්වමින් හෝ නිදහස් වීමට උත්සාහ කරති. එසේ මදක් නිහඬව සිටින මෙම පිරිස් යළිත් සමාජ අවධානයට පාත්‍ර වන සිදුවීමක් වූ විට නිහඬ බව බිඳ යළිත් නොයෙක් මත පළ කරති.

වැරදි කොනින් අල්ලාගැනීම

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම ඊට එක් උදාහරණයකි. මෙයට මොවුන් පදනම සකස් කරගනු ලැබුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සම්බන්ධයෙන් මතුවූ එකිනෙකට පරස්පර අදහස් දැක්වීම්ය. එක් පිරිසක් නැකැත හොඳ යැයි කියත්දී තවත් පිරිසක් එය නරක බව කීහ. නරක යැයී කී පිරිස අවුරුදු සැමරීමට වෙනත් නැකැතක් සකස් කර ප්‍රසිද්ධ කළේය. ජ්‍යෝතිෂය සම්බන්ධ විශ්වාසයක් මිස ඒ පිළිබඳ දැනුමක් නොමැති බහුතර ජනතාව මෙවැනි තත්ත්වයක් තුළ අසරණභාවයට පත් වන බව නොකිවමනාය.

අංක ගණිතමය ක්‍රමයක් ඔස්සේ ගොඩනැගී තිබෙන ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ජ්‍යෝතිෂවේදීන් වැරදි කොනින් අල්ලා ගැනීම නිසා මෙම තත්ත්වය උදා වී තිබේ. ශ්‍රී ලංකාවේ කේන්ද්‍රය අනුව සිංහල අලුත් අවුරුදු නැකැත් සෑදීමේදී සුබ නැකැත් දෙකක් තිබිය නොහැකිය. ගණිත ක්‍රම ඔස්සේ නිවැරදිව ගැටලුව විසඳුවේ නම් හරි උත්තර දෙකක් නැත්තේය. ජ්‍යෝතිෂය සම්බන්ධයෙන්ද කිව හැක්කේ එයමය. අවුරුදු නැකැත් සකස් කළ අය අතරින් එක් කණ්ඩායමක වේලාව නිවැරදි විය හැකිය. නැතහොත් දෙකම වැරදි විය හැකිය. ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට අනුව දෙකම නිවැරදි වීමට කෙසේවත් නුපුළුවන.

ජ්‍යෝතිෂය පැ‍රැණි භාරතයේ පහළ වුණු ශාස්ත්‍ර අතරින් එකකි. මේ නිසා අද වන තුරුම මෙය හඳුන්වන්නේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ලෙසය. අංක ගණිතමය පදනමක් ඔස්සේ එය ගොඩනැගී ඇත. අහසේ ග්‍රහයන් පිහිටන ක්‍රමය අනුව ඒවායින් මිනිසාට හා පරිසරයට බලපෑමක් වන්නේද නොවන්නේද යන කරුණු පිළිබඳ අනාවැකි ප්‍රකාශ කිරීමක් මේ ඔස්සේ සිදු විය. ඉටු අනිටු බව නොමැති නම් ග්‍රහයන්ගේ පිහිටීම යහපත්ද අයහපත්ද යන්න පිළිබඳව විද්‍යානුකූල පසුබිමක්ද සමඟ මෙය ගොඩනැගී ඇත. ග්‍රහ වස්තූන් පවතින බව මිථ්‍යාවක් නොවන අතර එය පෙනෙන සත්‍යයකි.

පෘථිවිය භ්‍රමණයේදී හා එය හිරු වටා පරිභ්‍රමණය වීමේදී අවට තිබෙන ග්‍රහ වස්තූන්වලින් පෘථිවියට සිදුවිය හැකි බලපෑම විමර්ශනය කිරීම මෙහිදී සිදු කෙරෙයි. පෘථිවිය වටා හිරු ගමන් කරන්නේද නැතහොත් හිරු වටා පෘථිවිය ඇතුළු ග්‍රහ වස්තූන් ගමන් කරන්නේද යන්න පිළිබඳව ජ්‍යෝතිෂය ශාස්ත්‍ර නිර්මාතෘන් නිරීක්ෂණය කර තහවුරු කරගෙන තිබුණේද යන්න සම්බන්ධව කීමට ප්‍රමාණවත් සාධක නොමැත. එහෙත් මෙය විද්‍යාත්මක පදනමක් මත ගොඩනැගී තිබෙන බව බැහැර කළ නොහැකිය. මංගල උත්සව නැකැත් දිනයන් එකම දිනයකට යෙදීම මෙයට උදාහරණයකි.

ව්‍යාපාරික අරමුණු

මෙම ශාස්ත්‍රය දීර්ඝ කාලීන භාවිතයේදී ප්‍රායෝගික වටිනාකමින් තොර එකක් බවට පත් විය. එය ජ්‍යෝතිෂයට පමණක් නොව බොහෝ විෂයන් සම්බන්ධයෙන් පොදු වූ කරුණකි. ගණිතමය සංකල්පයෙන් මිදී මෙම ශාස්ත්‍රය සාස්තර කියන අනාවැකි කරුවන්ගේ ග්‍රහණයට පසුකාලීන්ව පත් විය.පරිණත ජ්‍යෝතිෂවේදීන් දීර්ඝ කාලීන අත්දැකීම් හා අභ්‍යාස ඔස්සේ සුබ වේලාවන් හෝ වෙනත් අවශ්‍යතා සඳහා නැකැත් සැදීමේදී ඒවා පොත්පත්වල සටහන් නොකර මනෝමයෙන් ගණන් සෑදූහ. මෙය නිරන්තර අභ්‍යාසය නිසාවෙන් ලත් ප්‍රතිඵලයකි. මෙය පරිගණකය කාලයක් තිස්සේ හසුරුවන පුද්ගලයා යතුරු පුවරුව දෙස නොබලා අකුරු අමුනන්නා හා සමාන ක්‍රියාවලිකි. ශාස්ත්‍රය හොඳින් දත් පලපුරුදු ජ්‍යෝතිෂවේදීහූ උපන් දිනය හා වේලාව කිවූ සැණින් ග්‍රහයෝ පිහිටන්නේ කෙසේද, ලග්නය, නාවාංශකය ආදි සියලු කරුණු ක්ෂණයකින් පවසති. නූගත් පිරිස් මෙය වැරදියට වටහා ගනිති.

උපන් වේලාව කිවූ විට ජ්‍යෝතිෂවේදීයා අනාගතය ගැන සියල්ල පවසනවා යැයි ඔහුන් සිතූහ. මේ ඔස්සේ මෙම ශාස්ත්‍රය යටපත්ව අනාවැකි කියන ස්වරූපයක් ගත්තේය. විෂය මතුපිටින් අතගෑ පුද්ගලයෝ මෙය අවභාවිතයට ගත්හ. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් නොකළ ඔවුහු ප්‍රවීණයන් සේ පෙනී සිටිමින් මුදල් සෙවීමේ ව්‍යාපාරයක් බවට මෙය පත්කර ගත්හ. මෙය නොදන්නා සාමාන්‍යය ජනතාව මොවුන් පවසන දේ විශ්වාස කිරීමට පෙළඹුණේ අන්ධානුකරණයෙනි.

පරස්පර අනාවැකි

සමාජයට විශාලම හානියක් සිදු වූයේ ලග්න පලාපල කීමෙනි. උපන් වේලාව අනුව කේන්ද්‍රය හදන විට ඕනෑම අයෙකුට ලග්නයක් ලැබෙයි. උදෑසන වැඩ ආරම්භ කිරීමට ප්‍රථම රාහු කාලයද ලග්න පලාපලද විමසා බලා තීරණ ගන්නා අති විශාල ජන පිරිසක් මෙරට සිටිති. පුවත්පත්, ගුවන් විදුලිය හෝ රූපවාහිනියේ උදෑසන ලග්නයට කියන ප්‍රතිඵලය ඒ ආකාරයෙන්ම සිදුවනු ඇතැයි විශ්වාස කරන සමාජයක් අද ඇත. නූගතුන් පමණක් නොව උගතුන්ද මෙම කණ්ඩායම නියෝජනය කරති. අද හදිසි අනතුරු යැයි ලග්නයට කීවොත් ඔහු හෝ ඇය දවස අරඹන්නේ මානසිකව ඇද වැටීය. මෙය සම්පූර්ණයෙන්ම ජනතාව මුලාකරන බොරුවකි. ජ්‍යෝතිෂ ශාස්ත්‍රය මඟින් එවැනි අනාවැකි ප්‍රකාශ කළ නොහැකිය.

ජනමාධ්‍යය තුළින් ජ්‍යෝතිෂය සඳහා අනුග්‍රහය ලබා දීම අද බහුලව දක්නට ලැබෙයි. රූපවාහිනී නාළිකා මෙන්ම ගුවන් විදුලි නාළිකාද උදෑසන සෑහෙන කාල ප්‍රමාණයක් අනාවැකි කරුවන්ට ලබා දෙයි. අද භාවිතයේ පවතින ජ්‍යෝතිෂය සත්‍යය පදනම්ව ගොඩනැගී ඇත්නම් සෑම නාළිකාවක් තුළින්ම පවසන අනාවැකි එකම විය යුතුය. ජ්‍යෝතිෂවේදීයා වෙනස් වුවද ජ්‍යෝතිෂය ශාස්ත්‍රය පදනම් කර ගනිමින් ඔවුන් පවසන දේ එකක් විය යුතුමය. එහෙත් එය එසේ නොවේ. ඔවුන් ක්‍රියා කරන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට අනුවය. ජනතාව තේරුම් ගත යුත්තේ මෙයයි. පුවත්පත්වල පළ වන ලග්න පලාපලද එකිනෙකට සමාන විය යුතුය. එහෙත් එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැත. පත්තර පහක් ගතහොත් පලාපල පස් විදිහකි. මෙයට හේතුව විෂය ගැඹුරින් නොහදාරා සිතට නැගෙන දේ එන දේ පැවසීමය. වාසනාව උරගා බැලීම පිණිස ලග්න පදනම් කරගත් ලොතරැයි බිහි වන්නේ ජනතාව මේවා කෙරෙහි පවතින විශ්වාසය පදනම් කරගෙනය. මිනිස්සුන්ගේ අන්ධ විශ්වාසය ව්‍යාපාරික වාසි ලබා ගැනීම පිණිස උපයෝගි කරගන්නේ එසේය.

ජ්‍යෝතිෂය පදනම් කර ගනිමින් තීන්දු තීරණ ගැනීමට මූලිකත්වය දෙනු ලබන වැඩි පිරිස ව්‍යාපාරිකයින් හා දේශපාලනඥයින්ය. ධනය හා බලය රැස් කිරීමටත් ඒවා රැක ගැනීමටත් තමන්ගේ ශක්තියට අමරතරව නොපෙනෙන බලවේග පසුපස වැඩි වශයෙන් හඹා යන්නේ මොවුන්ය. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත ඇතමුන් තමන්ගේ සාර්ථකත්වය පසුපස ඇත්තේ මේවායේ පිහිට බව විශ්වාස කරති. යන්ත්‍ර පැළඳ, නවග්‍රහ පූජාවන් තබා සාර්ථකත්වය පසුපස හඹා යන පිරිස මෙන්ම ඒ ඔස්සේ නොගොස් සාර්ථකත්වයට පත් වූවෝද සමාජයේ සිටිති. මුස්ලිම් ප්‍රජාව ජ්‍යෝතිෂය අනුගමනය නොකළද ගුප්ත විද්‍යාවක් අනුගමනය කරති. එය ජ්‍යෝතිෂය නොවුණ ද දෙවියන් පිළිබඳ විශ්වාසයක් ඒ තුළ පවතී. ව්‍යාපාරික ප්‍රජාව මින් ගලවා ගැනීම අසීරුය.

අඟහරුවාදා සිකුරාදා අශුභ දින බවට සමාජ මතයක් පවතී. මෙම දිනවල ශුභ දේවල් නොකරෙන අවස්ථා වැඩිය. මළ සිරුරු නිවෙස් තුළ කුණු වුවත් ආදාහනය හෝ භූමදානය නොකර මෙම දවස් මඟ හරින අවස්ථා කොතෙකුත් ඇත. ශුභ නැකැත් එනතුරු අත්‍යවශ්‍යය වැඩ කල් දමන්නෝ සමාජයේ බොහෝ සිටිති. සිංහල බෞද්ධයන් මෙයට වැඩියෙන් ගැති වන බවක් දක්වන බව පෙනෙන්නට තිබේ. මේ නිසා ඒ අයගේ දියුණුවේ සැලකිය යුතු පසුගාමී තත්ත්වයක් දක්නට ලැබේ. දියුණු රටවල මිථ්‍යාව අත් හළ අය වැඩිය. ඔවුන් සංවර්ධනය කරා වේගයෙන් ගමන් ගැනීමට මෙයද හේතුවකි. කෝණ මාස ක්‍රමයක් තිබේ. ඒ මාසවල යහපත් වැඩ ආරම්භ කිරීම හොඳ නැති බව සමාජයේ කිඳා බැස ඇති මතයකි.

වැරදියට කියැවීම

සාහිත්‍යය පොතපත අතරින් ද මෙයට උදාහරණ ලබා ගැනීමට පුළුවන. මායා මතය එවැනි පොතකි. නිවසක් තැනීමට යෑමේදී එය හදන තැන, ගෙපල කපන ස්ථානය, ගන්නා දැව දඬු, ඒවා කපන්න යන කෙනා ගැන ශුභ නිමිති එහි දක්වා ඇත. මේ පොත පරිශීලනය කළ ද ඉන් කියන සැබෑ අර්ථය වෙනුවට වෙනත් දෙයක් අපි වැලඳ ගන්නෙමු. නිවසක් තැනීමට දැව දඬු කැපීමට යා යුතු පුද්ගලයාගේ ස්වරූපය එහි දක්වා ඇත්තේ මෙසේය.

දෙකොපුල රැවුල් ඇති
හදවත ‍රෝම ඇති
උස් මිටි ගුණොම නැති
මෙබඳු අයගෙන් එවැඩ විය යුතු

මුහුණේ රැවුල තිබෙන, පපුවේ රෝම ඇති උසත් නැති මිටිත් නැති කෙනෙක් ලීයක් කැපීමට යෑම සුබ බව මින් කියවෙයි. නොකියා කියනු ලබන්නේ ආරෝහ පරිණාහ දේහයක් ඇති ශක්ති සම්පන්න ජව සම්පන්න පුද්ගලයකු මේ වැඩේට සුදුසු බවයි. අපි මේක වැරදියට තේරුම් ගෙන මුහුණේ රැවුල නැති තැනැත්තා අවාසනාවන්තයෙක් ලෙසද පපුවේ මවිල් නැත්කම් ඔහු කාලකන්නියෙක් ලෙසද විග්‍රහ කර ගනී. කවිය වැ‍රැදි විදිහට කියවා ගැනීමෙන් සිදු වන හානිය විශාලය. ජ්‍යෙතිෂය,වාස්තු විද්‍යාව වැනි විෂයන් පිළිබඳ ලියා තිබෙන පොත්වල සැඟ වී ඇති අරුත අප වටහා ගත්තේ වැ‍රැදි ලෙසිනි.

බෝ, සැවැන්දරා, මාර ගස් ඇති එබිම ගෙය තැනුවහොත් අපළයක්ම වෙයි යනුවෙන් තවත් කවියක් තිබේ. බෝ, මාර, සැවැන්දරා ගස් ඇත්නම් ගෙයක් හදන්න ඒ බිම තෝරා ගැනීම නුසුදුසු බව කවියෙන් පවසා ඇත. මෙහි ප්‍රායෝගික අර්ථය තේරුම් ගත්තේ අල්ප පිරිසකි. බෝ ගහේ මුල් ව්‍යාප්තව ගිය විට කොන්ක්‍රීට් පවා බුරුල් කෙරෙයි. කොන්ක්‍රීට් බැමි පවා බෝ මුල්වලට පුපුරා යයි. මාර ගසේ අතු පොඩි සුළගකදී පවා කඩා වැටීමට පුළුවන. සැවැන්දරා පඳුරු සෑදීම යනු ඒ ආශ්‍රීත ‍පොළොව අභ්‍යන්තරයේ වේ තුඹස් ඇති බවතහවුරු කරන කරුණකි. හුඹස් නැතහොත් බොල් පසක නිවසක් සෑදීම යහපත් නැත. මෙය විද්‍යාත්මක සත්‍යයකි. පැරැණි ජ්‍යෝතිෂ පොත්පත්වල තිබූ යථාර්ථය නොගෙන පේන මානයේ බෝ ගසක් ඇත්නම් ‍නිවසක් නොහදන තැනට අප පත්ව ඇත. කවිය නිසා වත්තේ සැවැන්දරා පැළයක් සිටුවීමට බයය. ජ්‍යෝතිෂය සම්බන්ධයෙන් අපේ නූතන කියවීමේ අඩුපාඩු ඇති බවට මෙය හොඳ නිදසුනකි.

නිවසේ ගර්භණී මාතාවක් සිටින විට ගෙයි ඉදිකිරීම් කිරීම නුසුදුසු බවට මතයක් තිබේ. බිත්ති බඳින අවස්ථාවේ බිරිය ගැබ් ගතහොත් ළමයා ලැබෙන තුරු මාස නවයක් වහලය නොගසා ගේ තෙමෙන්න අරින අවස්ථා ඇත. වහලයක් ගැසීම යනු විශාල වියදම් යන කටයුත්තකි. ලී දඬු එසවීමේදී එවා ඉහළ සිට පහළට ඇද වැටීමට ඉඩ ඇත. ඉහළ වැඩ කරන නිසා නිතර අවධානමක් තිබේ. නිවසක ඉදිකිරීම් සිදු කරන විට ඝෝෂාකාරී පරිසරයක් ඇති වීම නිසා එය මවක් වීමට සිටින තැනැත්තියකට එතරම් යහපත් නැත.මෙම පසුබිම තුළ ගර්භණී සමයේදී නිවසක ඉදිකිරීම් නොකිරීම සම්බන්ධව පැහැදිලි හේතු හඳුනාගත හැකිය. මුදල් තිබේ නම් හැකියාව ඇත්නම් ළමයා ලැබෙන්න ඉන්න කෙනා වෙනම තැනක තැබිය හැකි නම් ඉඩමක ගෙයක් හදා වහලය ගැසීම ප්‍රශ්නයක් නොවන්නේය.

ජනප්‍රිය උප්පරවැට්ටි

ජ්‍යෝතිෂඥයන්ට තමන් පවසන දේ සාධාරණීකරණය කිරීම සඳහා ඔවුන් විසින්ම සකස් කරගත් විස්තර ලැයිස්තුවක් තිබේ. ගර්භණී සමයේ නිවසේ වහලය ගැසීමෙන් ළමයා ආබාධිත වීමට හෝ මිය යාමට හැකියාව අතැයි ඔවුන් පවසනු ඇත. අනාගතයේ සිදු විය හැකි දෙයක් පිළිබඳ අයහපත් යමක් පවසා බිය ඇති කිරීම ජ්‍යෝතිෂවේදීන් ලෙස පෙනී සිටින පුද්ගලයින්ට තම ගමන යෑමට හොඳ මෙවලමකි. ලංකාවේ බහුතරයක් ජ්‍යෝතිෂවේදීන් ශාස්ත්‍රය උඩින් පල්ලෙන් අත අයයි. ඔවුන් තමන්ට අවැසි මත සමාජගත කරමින් සිටින්නේ නොයෙක් උප්පරවැට්ටි යොදමිනි. මෙම මත සමාජයෙන් ඉවත් කිරීම අසීරුය. නූතන පරම්පරාව තරමක් මෙයින් විතැන්ව ගමන් කරන බවක් පෙනෙන්නට තිබේ. එය හොඳ ප්‍රවණතාවකි.

නැකැතකට අපේ වැඩ කටයුතු පවරා නිශ්ක්‍රීයව සිටින්නේ නම් එයින් අත්වන යහපත් ප්‍රතිඵලයක් නැත. මෙය බුදුන් වහන්සේද දේශනා කර තිබේ. එය අපේ ඉදිරි ගමනට හානියකි. අප ප්‍රතික්ෂේප කළ යුත්තේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රය නොවේ. ප්‍රතික්ෂේප කළ යුත්තේ අංක ගණිතමය ක්‍රමයක් ඔස්සේ ගොඩ නැගී ඇති ශාස්ත්‍රය අවභාවිත කරන පිරිස්ය.

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම සිද්ධිය තුළ විද්‍යාත්මක පසුබිමක් ඇත. එහි අවධානම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු මෙන්ම වගකිව යුතු අංශ ගණනාවක් පෙන්වා දී තිබිණි. අවුරුදු නැකතේ වරදින් ඛේදවාචකයක් සිදු වන බව කල්තියා දැන සිටි බවට ප්‍රකාශ කරන පිරිස් සාමසාර කන්ද නාය යෑමේ ඛේදවාචය සිදු වන අවස්ථාවේ කිසිවක් දැන නොසිටියේ ඇයිද යන්න ප්‍රශ්නයකි.

ඊසාන දිග මෝසම් වැසි සක්‍රීය වන විට ස්වභාවික විපත් සිදු වීමට වැඩි ඉඩක් සැලසෙයි. මෙම කාලයේ සුළි සුළං, නාය යෑම් සිදු වීමට පුළුවන. විද්‍යාත්මක පදනමක් ඇති කාලගුණ අනාවැකි කල්තියා දැන ගන්නා ජ්‍යෝතිෂවේදීන් ඒවා තමන්ගේ අනාවැකි ලෙස සමාජයට ඉදිරිපත් කරයි.ජනතාව කාලගුණ වාර්තාවට වඩා ජ්‍යෝතිෂවේදීන්ගේ අනාවැකි විශ්වාස කරති.

රට කරවන දේශපාලනඥයන් අනාවැකිකරුවන් පසු පස යන විට ජනතාව නොදැනුවත්වම ඒවා විශ්වාස කරන්නට පෙළඹෙති. ජනතාව මෙම මිථ්‍යාවෙන් ගලවා ගත්තොත් විශාල සංවර්ධනයක් රටේ සිදු වන බව ස්ථිරය. මහ සංඝරත්නය ද මේ මිථ්‍යාව පසුපස ගමන් ගන්නා අවස්ථා දක්නට ලැබේ. බුද්ධ දර්ශනයට ද මෙය පටහැනිය.

පොල් ගැසීමේ ක්‍රියාවලියද අවබෝධයෙන් කළ යුතු දෙයකි. අප සිතූ දේ වන්නේද නොවන්නේද යන දෙය පොල් ගෙඩිය බිඳෙන නොබිදෙන ස්වරූපය අනුව සිදු වන බවට මතයක් සමාජයේ ඇත. එකල කපුරු පෙත්තක් පත්තු කළ පොල් ගෙඩිය බින්දේ කපුවාය. දැන් එය වෙනස්ව ඇත. කපුරු පෙත්ත පොල් ගෙඩිය මත පත්තු කර කපුවා අප අතට දෙයි. පොල් ගෙඩියේ දාර තුනක් තිබේ. දාර තුනෙන් දෙකක් එක ළඟ පිහිටා ඇත. අනෙක් දාරය එම දාර දෙකට විරුද්ධ පසින් හුදෙකලාව පිහිටයි.

එම හුදෙකලාව ඇති දාරයට පහරක් ගැසූ විට පොල් ගෙඩිය හරි මැදින් දෙකට පැලෙයි. අනෙක් දාර දෙකින් කෝකට ගැසුවද පොල් ගෙඩිය හරි මැද්දෙන් දෙකට නොපැලෙයි. මංගල පෝරුවෙන් මනාළ යුවළක් පොල් ගෙඩිය හරි මැදින් බිඳෙන්නට ගහන්නේ මේම දාරයටය. කපුවා එන පුද්ගලයා බලා කපුරු පෙත්ත පත්තු කරන්නේ දාරය තෝරලාය. පොලය බිඳී යා යුතු විදිහ තීරණය කරන්නේ කපුවාය. හරි මැද්දෙන් පොලය නොබිඳී ආතුරයා ව්‍යාකූල කරන්නට නම් කපුවා කපුරු පත්තු කරන්නේ හුදෙකලා දාරය මතය. තාක්ෂණය හා විද්‍යාව ඔවුහු මිථ්‍යාව ඉදිරියට ගෙන යෑමට පාවිච්චි කරති.

සටහන 
අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න