ප්‍රාග්ධන හිඟය පියවිය හැකියි | දිනමිණ

ප්‍රාග්ධන හිඟය පියවිය හැකියි

ජයසිරි මුණසිංහ

හැකිතරම් දෙස් විදෙස් නව ආයෝජකයින් දිනාගනිමින්, ශ්‍රී ලංකා ආර්ථිකයේ ගාමක බලවේගය කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ගොඩගැනීම තම අරමුණ යැයි සභාපති ෙර්. අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. කොළඹ කොටස් වෙළෙඳ පොළේ 11 වැනි සභාපතිවරයා ලෙස පත්වීම් ලැබූ රේ අබේවර්ධන මහතා “දිනමිණ” කප්රුක අප සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් එසේ කියා සිටියේය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයකු හා රගර් ක්‍රීඩකයකු වූ රේ. අබේවර්ධන මහතා, කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදුකිරීමට මුලින්ම අත්පොත් තබා ඇත්තේ ලියාපදිංචි තැරැව්කාර සමාගමක පුහුණුවන්නකු ලෙසය. වසර 30ක් තරම් දිගු කලක් කොටස් වෙළෙඳ පොළ ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් දැනුමක්, අත්දැකීම් සම්භාරයක් ඇති රේ. අබේවර්ධන මහතා වසර 2013 දී එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත්වීම් ලැබුවෙකි. එසේ ක්‍රියාකරමින් සිටියදී කොළඹ කොටස් ‍වෙළෙඳ පොළ මුල් පුටුව හෙබවීමට තරම් භාග්‍යවන්ත වූ රේ. අබේවර්ධන මහතාගේ හඬට දැන් අප සවන්දෙමු.

 

 Qකොටස් වෙළෙඳ පොළක පැවැතිය යුතු මූලිකම සාධනීය ලක්ෂණය කුමක්ද?

ඇත්තටම කොටස් වෙළෙඳ පොළක තිබිය යුතු මූලිකම දේ තමයි ආයෝජකයින් හා ගනුදෙනුකරුවන් අතර පවතින දැඩි විශ්වාසනීයත්වයයි. විශ්වාසනීයත්වය

තමයි මූලිකම දේ.

 

Qඔබ කොළඹ කොටස් වෙළෙඳ පොළ නව සභාපතිවරයායි. කොටස් වෙළෙඳ පොළ දියුණු කරන්න නම්, කළ යුත්තේ කුමක්ද?

අපි, අනිවාර්යෙන්ම අපේ කොටස් වෙළෙඳ පොළ පිළිබඳ ආයෝජකයින්ගේ නව ගනුදෙනුකරුවන්ගේ සිත්වල විශ්වාසයක් ගොඩනැගිය යුතුයි. එය ගොඩනැගී තිබෙනවා. නමුත්! අප එය වඩාත් ඉහළ නැංවීමයි කළ යුතු වන්නේ.

 

Qකොළඹ කොටස් වෙළෙඳ පොළ පිළිබඳව ආ‍යෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටී තිබෙනවාද?

නැහැ, නැහැ එසේ වී ඇතැයි අප කියන්නේ නැහැ. නමුත්? අලුතින් ආයෝජකයෙක්, ගනුදෙනුකර‍ැවෙක් අපේ වෙළෙඳ පොළට පැමිණියහොත් තමන්ගේ ආයෝජනයට වැඩි ප්‍රතිලාභයක් ලබාගත හැකියි යන විශ්වාසය අප ඇති කළ යුතුයි. ඒවාගේම අවදානම් අවම ආයෝජන ක්‍රමයක් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කියන විශ්වාසය අප ඇති කළ යුතුයි.

 

Qඊට අමතරව තවත් ඉටුකළ යුතු දිනාගත යුතු දේ තිබෙනවා?

අපට දිනා ගන්නට විශාල දේ තිබෙනවා. අපට රටේ නව ආයෝජන වැඩිකර ගැනීමට අවශ්‍ය නම් අරමුදල් තිබෙන්නට උවමනායි. අපේ රටේ රාජ්‍ය අංශයේ ව්‍යවසායන් දියුණු කරගන්න මූලික ප්‍රාග්ධනය හිඟකම ප්‍රශ්නයක්. අපිට හැකිනම් ඒ හිඟය පියවා ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා අරමුදල් සොයාගන්න එය කළ යුතුයි. ඒවාගේම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නව ආයෝජන අපි කොටස් වෙළෙඳ පොළ හරහා ගෙන ආ යුතුයි. ඊටත් අමතරව තවත් වැඩ ගොඩාක් කරන්න කොටස් වෙළෙඳ පොළට හැකියි.

 

Qමොනවාද? ඒ අනිත් වැඩ කොටස්?

අපේ රටේ කොටස් වෙළෙඳපො‍ෙළ් ලැයිස්තුගත වී සිටින්නේ සමාගම් දෙසිය ගණනක්. රටේ තනි පුද්ගල හා හවුල් ව්‍යාපාර දස දහස් ගණනක් තිබෙනවා. ඔවුන් කොටස් වෙළෙඳපොළට පැමිණ නැහැ. අපිට පුළුවන්නම් ඒ අය දිනාගන්න එය ඉතා ලොකු ජයක්.

 

Qකොටස් වෙළෙඳපොළ දියුණුව ප්‍රාර්ථනා කරන සියලුදෙනා මේ කතාව කියනවා. නමුත්! ක්‍රියාත්මක වීම තමයි ප්‍රමාද? ඊට පිළියම් යෙදීම ඔබේ වගකීමයි.

ඔව්!

එය මම භාරගන්නවා. ඒ එක් කොන්දේසියක් මතයි. මා මේ මුල් පුටුවට පත්වූවා කියා ප්‍රාතිහාර්යය පාන්න බැහැ. අපට කොළඹ කොටස් වෙළෙඳ පොළ දියුණු කරගන්න. ඒ හරහා රටේ ආර්ථිකයේ ගාමක බලවේගය බවට අප පත්වෙන්න සියලුදෙනාගේ සහය අවශ්‍යයයි. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ. කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලියාපදිංචි තැරැව්කාර සමාගම්වල දෙස් විදෙස් ආයෝජකයින්ගේ ආදී සියලු හවුල්කාර පාර්ශ්වයන්ගේ සහාය අපට ලැබිය යුතුයි. ඒ දේ ඉටුවෙයි කියා සිතනවා. හොඳ සහයෝගයක් අපට ලැබී තිබෙනවා.

 

Qකොටස් වෙළෙඳ පොළට රාජ්‍ය ව්‍යවසායන් කැඳවා එහි ගනුදෙනු වැඩිකිරීමට රජය යෝජනා කළා. එය ක්‍රියාත්මක වීම තාම ප්‍රමාද ඇයි?

 

මේ වනවිට රාජ්‍ය ව්‍යවසායන් අතුරින් කොළඹ කොටස් වෙළෙඳ පොළට කැඳවීමට යෝජනා කළ ව්‍යවසායන් වන හිල්ටන්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, තවත් ආයතන පිළිගන්න අපි සූදානම්. අපේ පැත්තෙන් වෙන්න තිබෙන දේ අපි කරන්න මඟ බලමින් ඉන්නේ. ලැයිස්තුගත සමාගම් ප්‍රමාණය වැඩිකර ගැනීම අපේ ඉලක්කයයි. අපි ලෑස්තියි ඉතාම ඉහළ ඉල්ලුමට, වඩාත් විනිවිදභාවයෙන් යුතුව මේ ගනුදෙනු සිදුකිරීමට. ඒ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි අරමුදල් අපි සොයාගත යුතුයි.

 

Qඅපේ රටේ තනි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර, පෞද්ගලික සමාගම් කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් බවට පත්වෙනවා මදියි නේද?

මේ තත්ත්වයෙන් අපේ රට මුදාගත යුතුයි. අපේ රටේ තනි හා හවුල් පෞද්ගලික සමාගම්වලට තමන්ගේ ව්‍යාපාරයන් දියුණු කරගන්න අවශ්‍ය අරමුදල් කොටස් වෙළෙඳ පොළ තුළින් දිනාගන්නට අවකාශ සැලැස්විය යුතුයි. ඔවුන්ට දැන් අවශ්‍ය අරමුදල් බැංකු ක්‍රමයෙන් ලබාගන්න ඕනෑතරම් ඉඩකඩ තිබෙනවා. ඒ නිසා තමයි මේ ව්‍යාපාර කොටස් වෙළෙඳ පොළට එන්න අදිමදි වෙන්නේ. අපි ඒ තැන් පිළිබඳව අපේ සමාගම්කරුවෝ ඔවුන්ට අප වෙත පැමිණීමෙන් අත්විඳිය හැකි ඉහළ ප්‍රතිලාභ ගැන දැනුවත් කළ යුතුයි.

 

Qබැංකු ක්‍රමයෙන් ණය මුදල් ලබාගෙන ව්‍යාපාර දියුණු කිරීමෙන් පෞද්ගලික සමාගම් මුදාගතහොත් ඒ අරමුදල් රටේ වෙනත් කුඩා හා මධ්‍ය පරිමාණ මැදි පරිමාණ ව්‍යවසායකයින්ට ලබාදිය හැකියි නේද?

අනිවාර්යෙන්ම ඔව්.

මේ අන්දමට බැංකුවලින් අරමුදල් ලබාගැනීම කොටස් වෙළෙඳපොළට යා නොහැකි පිරිස් වෙත හිමි කිරීමෙන්, ආර්ථිකයේ විශාල පිබිදීමක් අත්කරගත හැකියි.

කොටස් වෙළෙඳපොළට ගිය ප්‍රමාණය වැඩිකර ගැනීමත්, වැඩි ගනුදෙනු ප්‍රමාණයක් සිදුකරන පිරිසක් බවට පත්කිරීම අපේ අරමුණයි. ඒ වාගේම අලුතින් ආයෝජන දිනාගැනීමත් කළ යුතුමයි.

 

Qඅපේ රටේ පෞද්ගලික ව්‍යාපාර කොටස් වෙළෙඳපොළට පැමිණීමට මැලිවන්නේ ඇයි?

එයට බලපාන මූලිකම දේ තමයි තමන් පරම්පරාවෙන් පරම්පරාවට ගොඩනගා ගත් ව්‍යාපාරයේ හිමිකම වෙනත් පිරිස් අතර බෙදාහදා ගැනීමට ඇතැම් දෙනා දක්වන අකමැත්ත. නමුත්! ඊට වඩා ඔවුන්ට විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබාගත හැකි හොඳ ආයෝජන මඟක් ලෙස කොටස් වෙළෙඳ පොළ හඳුන්වාදීම අප කළ යුතුයි.

 

Qඒ සඳහා වන දැනුවත් කිරීම්, වැඩසටහන් පිළිබඳ ඔබ නව ආකාරයකින් සැලසුම් සකස් කරනවාද?

අපි දැනටමත් පාසල් දරු දැරියන්ගේ පටන් නව ආයෝජකයෝ දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළට ගෙන ඒමට විවිධ දැනුවත්කිරීම්, වැඩසටහන් ගම් නගර මට්ටමින් ක්‍රියාත්මක කරනවා. ඒවා සාර්ථකයි. නමුත්! ජනතාවගේ ප්‍රතිචාරය තවම ප්‍රමාණවත් තරම් ලැබී නැහැ. අපි ඒ අඩුපාඩුව නැති කිරීමටයි ඉදිරියේ සැලැසුම් කොට තිබෙන්නේ.

 

Qඒ නව වැඩපිළිවෙළට ජනමාධ්‍යවේදීන් හවුල්කර ගන්නවාද?

එය අනිවාර්යෙන්ම කළ යුත්තක්. අපි කොළඹ කොටස් වෙළෙඳපොළ පිළිබඳව මුද්‍රිත වාගේම විද්‍යුත් මාධ්‍යවේදීන්ටත් දැනුම ලබාදෙනවා. කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදුකරන ආකාරය පරිගණක ගේම් මඟින් පවා දැනුවත් කිරීමට ඉදිරියේදී අප සූදානම්.

 

Qරට අභ්‍යන්තරයේ එසේ වැඩසටහන් වැඩමුළු කරනවාට අමතරව ලෝකය ඉදිරියට යෑමට සූදානම් නැතිද?

ඒ සඳහාත් අපි සූදානම්. දැනටමත් විශාල වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කොට තිබෙනවා. අපේ හිටපු සභාපති වජිර කුලතිලක මහතා හා පිරිස ක්‍රියාත්මක කළ වඩාත් යෝග්‍ය දේ එලෙසින්ම අපි ක්‍රියාවට නංවනවා.

ඉදිරි මාස 12 දී සිංගප්පූරුව, ලන්ඩන්, නිව්යෝර්ක් හිදි අපේ කොටස් වෙළෙඳ පොළ පිළිබඳව ආයෝජකයින්ට දැනුවත් කිරීම් සිදුකරනවා. ඊට අමතරව චීනය, ජපානය හා මැදපෙරදිග රටවල් කරා ද අපි යෑමට සූදානම්.

 

Qකොළඹ කොටස් වෙළෙඳ පොළ වත්මන් තත්ත්වය කෙබඳුද?

අපේ කොටස් වෙළෙඳ පොළේ දිනක පිරිවැටුම දැනට ‍අමෙරිකානු ඩොලර් මිලියන 07ක්. වියට්නාමයේ ඩොලර් මිලියන 88ක්. මැලේසියාවේ ඩොලර් මිලියන 230ක්. සිංගප්පූරුවේ මේ ප්‍රමාණය මිලියන 800ක්. අපි හැකි ඉක්මනින් අපේ දිනක පිරිවැටුම ඩොලර් මිලියන 07න් එහාට ගෙනයෑමට කටයුතු කළ යුතුමයි.

 

Qඅපේ රටේ ස්ථාවර තැන්පතු ආයෝජන සඳහා බැංකු ක්‍රමය හරහා වැඩි පොළියක් ලැබීම කොටස් වෙළෙඳපොළට ආයෝජන ඒමට බාධාවක් නේද?

බැංකු ක්‍රමය හරහා සියයට 13.5 වාගේ පොළියක් ලැබෙනවිට අප වෙත ආයෝජන එන්න ටිකක් මැලිවෙනවා. අපි මේ පොළිය පමණක් නොව අප සමඟ ගනුදෙනු කිරීමෙන් ආයෝජකයින්ට ගනුදෙනුකාර ප්‍රජාවට ලැබෙන ඉහළ ප්‍රතිලාභ ගැන දැනුවත් කළ යුතුයි. ඒවාගේම අප වෙත පැමිණීමට තිබෙන නීතිමය බාධා ලිහිල් කළ යුතුයි. ඒ කාර්යයන් දෙකම අපි මේ වනවිට ඉටුකරමින් ඉන්නේ.

 

Qඔබ සිතන ප්‍රාර්ථනා කරන පරිදි මේ සියලු දේ ඉටුවෙයිද?

අප එසේ ඉටුවේවායි ප්‍රාර්ථනා කළ යුතුයි. සියලුදෙනා එකට එක්ව මේ ප්‍රාර්ථනා ජයගන්නට කටයුතු කළොත් වරදින්නේ නැහැ. මෙය තනි තනිව ජයගත යුතු කාර්යයක් නොව, සාමුහිකව, කණ්ඩායමක් ලෙස වගකීමෙන් ක්‍රියා කළ යුතු දිනාගත යුතු ලබාගත යුතු, ගමන් කළ යුතු ජයග්‍රාහී ගමනක් බව කිව යුතුයි. ඒ සඳහා අප සූදානම්.

ජනතාව සූදානම් කිරීමට මාධ්‍යයට විශාල වගකීමක් පැවැරෙනවා. ඔබත් ඊට සූදානම්. නම් වරදින්නේ නැහැ.!

 

 

 

නව අදහස දක්වන්න