නිවාස රැසකින් ලක්ෂ 33ක වටිනා දේපළ සොරාගත් යුවළක් තිහාරියේදී අත්අඩංගුවට | දිනමිණ

නිවාස රැසකින් ලක්ෂ 33ක වටිනා දේපළ සොරාගත් යුවළක් තිහාරියේදී අත්අඩංගුවට

නිවාස 42කින් රත්‍රං, පරිගණක. පිත්තල භාණ්ඩ ඇතුළු රු. ලක්ෂ33ක් වටිනා භාණ්ඩ සොරාගත් තරුණ යුවළක් නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මොවුන්ට දිනකට මත්ද්‍රව්‍ය සදහා රුපියල් 25000කට අධික මුදලක් වැය වෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

මේ දෙදෙනාම පෙර විවාහ වී සිට විවාහය කඩාකප්පල් කරගත් දෙදෙනෙක් වන අතර කාන්තාව 33වියේ පසුවෙන අතර තරුණයාගේ වයස අවුරුදු 29කි.මොවුන් නුවර ප්‍රදේශයේ පෙර පදිංචිකරුවන් වන අතර මේ වන විට කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කුලී නිවෙසක ජීවත්වන අතර දහවල් කාලයේ මාර්ගවල ඇවිදිමින් ගේට්ටුවට ඉබි යතුරු දමා ඇති නිවෙස්වල කිසිවෙකු නොමැති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ගෙවත්තට පැන පිටුපස දොර කඩා ඇතුළු වී මේ සොරකම් කරන බවත් එම භාණ්ඩ රැගෙන වෙළඳාමේ යන අය ලෙසට ප්‍රදේශයෙන් පිටවී යන බවත් අනාවරණය කරගෙන ඇත.

නිට්ටඹුව, ගම්පහ, යක්කල, වීරගුල, කඩවත, සපුගස්කන්ද, පූගොඩ යන පොලිස් වසම්වලට අයත් නිවාස රැසකින් මොවුන් මෙසේ භාණ්ඩ සොරාගෙන ඇත.මොවුන් පසුගියදා තිහාරිය ප්‍රදේශයට මත් ද්‍රව්‍ය ගෙන එන බවට නිට්ටඹුව පොලිසියට ලැබුණු තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අත්තනගල්ල මහේස්ත්‍රාත් ලක්මාල් පෙරේරා මහතා විසින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කර තිපේ.බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නි. පොලිස්පති බස්නාහිර උතුර කපිල ජයසේකර, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල, සහකාර පොලිස් අධිකාරී සරත් අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් අනුව නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති පො.ප. නලින් දිල්රුක් මහතා ඇතුළු අපරාධ අංශයේ ස්ථානාධිපති උ.ප. සුනිල්, පො.කො. 4033 රණසිංහ,73150 වසන්ත, 85880 කුලතිලක,50055 ධර්මසේන යන නිලධාරීන් විසින් මේ වැටලීම සිදුකරන ලදී.

ඡායාරූප-කිරිඳිවැල සමුහ 

නව අදහස දක්වන්න