මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයෙන් විදෙස් ක්‍රිකට් කණ්ඩායම් කැළඹෙයි | දිනමිණ

මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයෙන් විදෙස් ක්‍රිකට් කණ්ඩායම් කැළඹෙයි

 එංගලන්තයේ දී ලබන මස ආරම්භ වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගි වන විදෙස් කණ්ඩායම් මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයෙන් දැඩි කැළඹීමකට පත්වී සිටිති.

අට හැවිරිදි කුඩා දැරියක් ඇතුළුව පුද්ගලයන් 22දෙදෙනකුට මරු කැඳවමින් ද, තවත් පුද්ගලයන් 60කට අධික පිරිසකට තුවාල සිදුකරමින් ද එංගලන්ත වේලාවෙන් සඳුදා රාත්‍රී මැන්චෙස්ටර් නුවර මැන්චෙස්ටර් අරීනා ගෘහස්ත ක්‍රීඩාංගණයේ මේ මරාගෙන මැරෙන බෝම්බය ප්‍රහාරයෙන් පසුව ආරක්ෂාව පිළිබඳ එංගලන්තය පුරා දැඩි අවිනිශ්චිතභාවයක් ඇතිවී තිබේ. අයි.එස්.ත්‍රස්තවාදින් විසින් සිදුකරනු ලැබූ බව කියන මේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව එංගලන්තයේ සෑම නගරයකම ආරක්ෂාව දැඩි කිරීමට එරට රජය පියවර ගෙන තිබුණත් සිය කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳ නැවතත් තහවුරු කරගැනීමට සෑම කණ්ඩායමකටම සිදුවී තිබේ.

මේ මාරක පිපිරෙන මොහොතේදිත් අයි.සී.සී.චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවිමට ශ්‍රී ලංකා පිල ඇතුළු විදෙස් කණ්ඩායම් කිහිපයක්ම එංගලන්තය බලා ගොස් සිටි අතර ශ්‍රී ලංකා පිල සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර එක්දින තරගාවලිය මැන්චෙස්ටර් නුවරට කිලෝමීටර් 275ක් දුරින් පිහිටි බෙකන්හැම් නගරයේදී පැවැත්වෙමින් තිබිණි. එමෙන්ම එංගලන්ත කණ්ඩායම සමග එක්දින තරගාවලියකට සහභාගිවෙමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු තරගයට ක්‍රීඩා කිරීමට ඊයේ නියමිතව තිබුණේ මැන්චෙස්ටර් නුවරට කිලෝමීටර් 69ක් දුරින් පිහිටි ලීඩ්ස් නුවරදීය.

මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයෙන් පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරක්ෂාව පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් උදාවී තිබූ අතර ආරක්ෂාව වැඩි කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේය. එසේ වුවත් තම කණ්ඩායමේ ක්‍රීඩකයන් මේ ප්‍රහාරයෙන් දැඩි භීතියට පත්ව සිටින බව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කළමනාකරු මාධ්‍ය වෙත පැවැසීය. දෙපිල අතර සිවුවැනි හා අවසන් ටෙස්ට් තරගය පැවැත්විමට නියමිතව ඇත්තේ ද මැන්චෙස්ටර් නුවරදිය. අගෝස්තු පළමු සතියේදී එම තරගයට යාමට නියමිත දකුණු අප්‍රිකානු පිලට නවාතැන් ගැනීමට වෙන් කොට තිබු මැන්චෙස්ටර් නුවර හෝටලයේ සිට මේ බෝම්බය පිපිරි ගිය ක්‍රීඩාංගණයට ඇවිද යන දුරක් පමණක් බැවින් එම තරගයට සහභාගිවීමට පෙර සිය කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳ නිශ්චිතවම සහතික කරගත යුතුව ඇතැයි ද කළමනාකරු පවසයි.

මේ අතර එංගලන්තයේ ඇතිවූ තත්ත්වය සැළකිල්ලට ගනිමින් අයි.සී.සී.චැම්පියන්ස් කුසලාන තරගාවලියට සිය කණ්ඩායම සහභාගි කරවීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ පියවර ගත්තේය. සිය කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳ ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අයි.සී.සී.යෙන් විමසීමක් කරනු ලැබූ අතර දැඩි ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය කිරීමට කටයුතු යොදා ඇතැයි අයි.සී.සී. ය ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කොට තිබිණි.

මේ බෝම්බ පිපිරීමෙන් පසු දින එරට අගැමැතිනි තෙරේසා මේ මහත්මිය ජාතිය ඇමතු අතර එරට ආරක්ෂාව තහවුරු කිරීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවට සහතික වූවාය. එමෙන්ම අයි.සී.සී.චැම්පියන්ස් කුසලාන තරගාවලිය පැවැත්වෙන නගර සහ ක්‍රීඩා ඉසව් පැවැත්වෙන වෙනත් නගරවල ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන ඇතැයි ඇය කීවාය.

මේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව චැම්පියන්ස් කුසලාන තරගාවලියට ලබා දි ඇති ආරක්ෂාව යළි නිරීක්ෂණය කිරීමට අයි.සී.සී.ය පියවර ගෙන තිබේ.

- ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න