ඇලවෙන යටවෙන ඇද වැටෙන බිල්ඩින් | දිනමිණ

ඇලවෙන යටවෙන ඇද වැටෙන බිල්ඩින්

ගොඩනැගිල්ලක තත්ත්වය පිළිබඳව ඉන්ජිනේරුවරයාට, ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුට හා සමාන වගකීමක් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදෙන රාජ්‍ය ආයතන සතුය. ඒ වගකීම පැහැර හරින්නට හෝ එහෙම වගකීමක් නැතැයි අත පිහදාගන්න රාජ්‍ය ආයතනවලට පුළුවන් කමක් නැත. නමුත් කණගාටුවට කරුණ වන්නේ ලංකාවේ මෙම රාජ්‍ය යාන්ත්‍රණය තුළ බෙහෙවින් හිඩැස් පැවතීමය. මෙසේ හිඩැස් ඇති වීම හේතුවෙන් රටට බරක් වන ඉදිකිරීම් විශාල සංඛ්‍යාවක් ජනතාව අතරට පත් වෙමින් තිබේ. මෙය අනාගත ව්‍යසනයක පෙර නිමිත්තක් බව අප සිහි තබාගත යුතුය.

වැල්ලවත්ත ප්‍රදේශයෙහි පිහිටි උත්සවශාලා ගොඩනැගිල්ලක් කඩා වැටීමේ පුවතක් පසුගියදා ජනමාධ්‍ය මගින් අපට අසන්නට දකින්නට ලැබුණි. මෙලෙස ගොඩනැගිල්ලක් කඩාවැටීමේදී එහි හිමිකරුගේ පැත්තෙන් බලන කල වගකීම දැරිය යුතු ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙදෙනෙක් හඳුනාගත හැකිය. ඒ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ප්‍රමාණ නීර්ණය කළ වරලත් ඉන්ජිනේරුවරයා හා මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් භාරව කටයුතු කළ කොන්ත්‍රාත්කරුය. මේ දෙදෙනාගෙන් එක් අයකු හෝ සිය වගකීම නිසි ආකාරයෙන් සිදු නොකර පැහැරහැර ඇත්නම් ගොඩනැගිල්ලක් මෙලෙස කඩාවැටීමට හැකියාවක් ඇත.

අනෙක් අතින් තෙවන පාර්ශ්වයක් ලෙස මෙම ගොඩනැගිල්ලේ හිමිකරුට ඍජුව චෝදනා කිරීමේ හැකියාවක් ද අපට නැත. ඉදිකිරීමක් සිදුවන විට ඒ පිළිබඳව නියාමනය කිරීම සඳහා විධිමත් ක්‍රියාවලියක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින බැවිනි. ඕනෑම ඉදිකිරීමක් සිදු වන විට නගර සභාව, ප්‍රාදේශීය සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය (එම්.බී.ආර්.ඕ) විසින් එහි යෝග්‍යතාව නියාමනය කළ යුතුය. මේ එක් පාර්ශ්වයක් හෝ සිය රාජකාරී කටයුතු පැහැර හැරියහොත් ප්‍රමිතියෙන් අඩු ගොඩනැගිල්ලක් ඉදිවිය හැකි අතර, එමගින් මෙම ගොඩනැඟිල්ල භාවිතා කරන්නන්ට, ඒ අවට සිටින ජනතාවට හා වෙනත් ඉදිකිරීම්වලටද විශාල හානියක් සිදු විය හැකිය. මෙනිසා මෙම පාර්ශ්වකරුවන් සියල්ලම මෙයට වගකිව යුතුය. ඒ කෙසේද යන්න මදක් විමසා බලමු.

කෙනකුට කිසියම් ගොඩනැගිල්ලක් හෝ නිවසක් ඉදිකිරීමට අවශ්‍ය යැයි සිතමු. එනමුත් ඔහුට එය තනිව කළ නොහැකිය. ඒ සඳහා දැනුවත්කමක් ඇති වාස්තු ශිල්පියකු, වරලත් ඉන්ජිනේරුවරයකු හා කොන්ත්‍රාත්කරුවකු සොයා ගත යුතුය. ඔහුට කළ හැක්කේ මෙම ඉදිකිරීම සඳහා අවශ්‍ය භූමිය හා මූල්‍යමය දායකත්වය සැපයීම පමණි. මේ වන විට ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින තිරසර සංවර්ධන මූලධර්මයට අනුව කිසියම් ඉදිකිරීමක දී අදාළ ඉදිකිරීමට වැයවන මූල්‍ය පිරිවැය මෙන්ම එමගින් අවට පරිසරයට වියහැකි හානිය අවම කර ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. මෙහි වගකීම පැවරී ඇත්තේ වරලත් ඉන්ජීනේරුවරයා, වාස්තු විද්‍යාඥයා හා ක්‍රොන්ත්‍රාත්කරු යන පාර්ශ්ව තුනටය. මෙහිදී වස්තු විද්‍යාඥයාට වඩා එහාට ගිය පුළුල් වැඩ කොටසක් ඉන්ජීනේරුවරයාට පැවරෙන අතර ප්‍රමිතිය හා ඉදිකිරීමේ ශක්තිමත්භාවය පිළිබඳව ඔහු වඩා සැලකිලිමත් විය යුතුය.

වාස්තු විද්‍යාඥයාගේ සිතෙහි පවතින නිර්මාණය යථාර්ථයක් බවට පත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ සිවිල් ඉන්ජිනේරුවරයාටය. එහිදී ඔහු එම ගොඩනැගිල්ල ඉදිකරීමේදී මූලිකවන සියලු බලරටාවන්, එනම් ඊට සිදුවිය හැකි බාහිර හා අභ්‍යන්තර බලපෑම් පිළිබඳව උපරීමයට ගණනය කර එය තවත් ප්‍රමාණයකින් වැඩි කර ඒ එන බලවලට අදාළව නිවැරදිව එය ඉදිකිරීමට කටයුතු කළ යුතුය. එනම් බීම් එක හෝ, කොලම් එක හෝ, පාදම හෝ, සැලැබ් එක වෙන්න පුළුවන්. මේ එක් එක් අවයවයන් නිවැරදිව ගණනය කර මේ සඳහා අවශ්‍ය ප්‍රමිතිය කුමක්ද යන්න තක්සේරු කළ යුතුය. එහිදී යොදාගන්නා අමුද්‍රව්‍යවල ප්‍රමිතිය කුමක්ද, කොන්ක්‍රීට් එක කොපමණ සවිමත් විය යුතුද, ඒ සඳහා කෙතරම් කම්බි ප්‍රමාණයක් යෙදිය යුතුද, ඒ කම්බි බැඳිය යුතු අකාරය කුමක් ද...ආදී වශයෙන් මේ සෑම කරුණක්ම ඉටුවන ආකාරයට නිර්මාණය කළ යුතුය.

එසේම ඔහු විසින් ගණනය කරන ගොඩනැගිල්ල නිසි ආකරයෙන් ඉදිවනවාද යන්න සොයා බැලීමත් ඔහුගේ කාර්යයකි. කිසියම් විදියකින් ඔහු යොදාගැනීමට යෝජනා කරන කම්බි ප්‍රමාණය ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යොදා ගන්නවද, ඔවුන් කම්බි බඳින ආකාරය නිවැරදිද යනාදී වශයෙන් ගුණත්මක බව පිරික්සීමේ වගකීම පැවරෙන්නේ ගොඩනැගිල්ල නිර්මාණය කර, එම සැලැස්මේ අනුමැතිය ලබාදෙන වරලත් සිවිල් ඉන්ජිනේරුවරයාටය. ඒ අනුව කිසියම් ගොඩනැගිල්ලක් වරලත් සිවිල් ඉන්ජිනේරුවරයකුගේ මුද්‍රාව යටතේ සිදුවනවා නම් එම නිර්මාණය සිදු කිරීමට වගේම එය නිවැරදිව සිදුවනවාද යන්න සොයා බැලීම ඉන්ජිනේරුවරයාගේ වගකීමකි.

වෛද්‍යවරයකුට යම් අතපසුවීමක් සිදු වුවහොත් එහි බලපෑම ඇතිවන්නේ එක් රෝගියකුට පමණි. නමුත් ඉන්ජිනේරුවරයකු අතින් කිසියම් වරදක් සිදු වුවහොත් එහි බලපෑම දහස් සංඛ්‍යාත ජනතාවකට බලපෑ හැකිය. එය එ්නිසා තමන්ගේ සමාජ වගකීම ඉන්ජිනේරුවරයා නිවැරැදිව තේරුම් ගෙන සිටීද යන්න බරපතළ කාරණයකි. වෛද්‍යවරයා තරම් පිළිගැනීමට ඔහු ලක් නොවූවත් වරලත් සිවිල් ඉන්ජිනේරුවරයකු අතින් වරදක් සිදු වුවහොත් එමගින් ඇති වන විනාශය සුළුවෙන් තක්සේරු කළ නොහැකිය. එය ඇතැම් විට එක කම්බි කෑල්ලක් ගැටගැසීමේ දෝෂය නිසා ඇති වූ වරදක් විය හැකිය. නමුත් එම වරදෙහි බලපෑම දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවිත අඳුරු කර දැමීමට බලපෑ හැකිය. රෝහලක වෛද්‍යවරයකු වෙදකම් කරන්නේ අසනීපයෙන් පසුවන පුද්ගලයකුට වන අතර, ගොඩනැගිල්ලකට පිවිසෙන්නේ නිරෝගී මිනිසුන්ය. ඒ නිසා තමන්ගේ සුළු අතපසවීමක් නිරෝගී මිනිසුන් දහස් ගණනකගේ ජීවිත කෙරෙහි ඇති කරන බලපෑම කෙතරම්දැයි වටහා ගැනීම වගකිවයුතු ඉන්ජිනේරුවරයකුගේ යුතුකම වන්නේය.

ඒ නිසා ඉදිකරන ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගන්නේ කවර කාරණාවක් උදෙසාද යන්න ඉන්ජිනේරුවරයා දැනුවත් විය යුතුය. ඒ අනුව එම ගොඩනැගිල්ලට යෙදිය යුතු බල මූලයන් පිළිබඳව නිවැරදි ගණනයක් සිදු කිරීම වඩාත්ම උචිතය. කිසියම් පිපිරීමක් සිදුවුවද, ගින්නෙන් හානි පැමිණියද, නැතිනම් රිය අනතුරක් මගින් ගොඩනැගිල්ල දරා සිටින කණුවකට හානි සිදුවුද එම ගොඩනැගිල්ල බිමට සමතලා නොවන ලෙස එය ශක්තිමත්ව පැවතීමට නම් ඊට අවශ්‍ය බල රටාවන් ගණනය කිරීමේදී ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කළ යුතුය. එවිට අවම හානියකින් එම ගැටලුව නිරාකරණය කරගත හැකිය.

උදාහරණයකට අපි මුහුද ආශ්‍රිතව යම් ඉදිකිරීමක් සුදු කිරීමට අවශ්‍යව ඇතැයි සිතමු. එවිට මුහුද අාශ්‍රිතව සිදුවිය හැකි සියලු උපද්‍රව හා පාරිසරික සාධක පිළිබඳ නිවැරැදි අධ්‍යයනයක් කළ යුතුය. අරණායක වැනි නිතර නාය යෑම්වලට ලක්වන ප්‍රදේශයක කිසියම් ඉදිකිරීමක් සිදු කර එය කඩා වැටුණ විට එය නාය යෑම නිසා සිදු වූවක් යැයි කෙනකු කීවද එය එසේ යැයි කියමින් ඉංජිනේරුවරයකුට කරඇරිය නොහැකිය. මන්ද ඔහු එම ඉදිකිරීම කළ යුතු වන්නේ ඒ අවදානම පිළිබඳව පෙර සූදානමක් සහිතවය. එනම් එය ඔහු විසින් බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. මෙය නාය යෑමට ලක්වන ප්‍රදේශයක් බව ඔහු කල්තියා දැනුවත්ව ඊට අදළව එම ඉදිකිරීම කළ යුතුය. අපි වාහන අංගණයක් නිර්මාණය කරන විට, උඩින් එන බලය මත පදනම්ව එහි ආධාරක (කණු) ඉදිකර ඇත්නම්, එවිට එහි එක කණුවක් අනතුරකට ලක්වීමෙන් මුළු ගොඩනැගිල්ලම බිමට පතිත විය හැකිය. එහි තේරුම වන්නේ, ඉන්ජිනේරුවරයා ඔහුගේ කාර්ය නිසියාකාරව සිදුකර නැති බවය. ඒ නිසා ඉන්ජිනේරු වෘත්තිකයකුගේ කාර්ය භාර්ය හා වගකීම විය යුත්තේ අදාළ ඉදිකිරීම සඳහා අවශ්‍ය උපරිම බලය තේරුම් ගෙන ඒ අවශ්‍යතාවන්ට උචිත වන පරිදි ඉදිකිරීම් කටයුතු සිදු කිරීමය.

විශේෂයෙන් සිවිල් ඉන්ජිනේරුවරයකු පොතපතින් ලබන අධ්‍යාපනය මත පමණක් පදනම් නොවී ඉන් එහාට ගොස් පරිසරය හා සමාජය පිළිබඳව අවබෝධයක් සහිතව කටයුතු කිරීම අතිශය වැදගත්වේ. නමුත් බොහෝවිට සිදුවන්නේ අධ්‍යාපනික විෂය කරුණු තුළට පමණක් සීමා වී බලය යෙදීම ගණනය කිරීම මිස, අදාළ අවශ්‍යතාවය හා පාරිසරික සාධක හඳුනා නොගෙන කටයුතු කිරීමය. සුනාමියකින්, ගංවතුරකින්, සුළි සුළඟකින්, නාය යෑමකින් වැනි ස්වාභාවික අාපදාවකින් තොරව ගොඩනැගිල්ලක් මේ ලෙස කඩා වැටෙන්නේ නම් එය සිදුවිය හැකි ආකාරය කාරණා දෙකක් යටතේ සාකච්ඡා කළ හැකිය.

එනම්, පොළොව මට්ටමින් පහළ සිදු කරන ඉදිකිරීම් හා පොළොව මට්ටමින් ඉහළට කෙරෙන ඉදිකිරීම් වශයෙනි. මේ දෙක සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ඉදිකිරීම්ය. භාවිතා කරන අමුද්‍රව්‍ය, එය ගණනය කරන ආකාරය හා ඉදිකරන ආකාරය පොළොව මට්ටමින් උඩ කරන ඉදිකිරීම්වලට වඩා ඉන් පහළට කරන ඉදිකිරීම් මුළුමනින්ම වෙනස්ය. මේ දෙක නියමාකාරයෙන් තේරුම් නොගෙන කෙනෙක් ඉදිකිරීමක් සිදු කළ හොත් එය අනතුරකට පත්වීමේ සම්භාවිතාව වැඩිය. එනම් ගොඩානැගිල්ලේ පාදම (foundation failure ) යෙදීමේදී සිදු වූ දෝෂයක් නිසා ගොඩනැගිල්ලක් පහළට කඩා වැටීම සිදු වේ.

එලෙස කඩා වැටිමේ දී එය දෙයාකරයකට සිදු විය හැකිය. එනම් පාදම සමාන්තරව ගිලා බසිනවා වෙනුවට තැනින් තැන ගිලා බැසීම(definition settlement). මෙය ගොඩනැගිල්ලකට සිදුවිය හැකි බරපතළම අනතුරය. වත්තල තෙත් බිම් ආශ්‍රිත ප්‍රදේශයකට ඔබ පිවිසිය හොත් එම ප්‍රදේශයේ ඉදිකරන ලද ගොඩනැගිලි මුළුමනින්ම ගිලා බැස ඇති අයුරු ඔබට දැකගැනීමට හැකිවේ. සමහර ගොඩනැගිලි අඩි දහය පහළොව ගිලා බැස ඇත.

නමුත් මෙවැනි ගිලා බැසීම්වලදී ගොඩනැගිල්ලේ ඉරිතැලීමක් හෝ ඒ තුළ රැඳී සිටි පිරිසට හානියක් සිදු වූ බවට ලැබෙන තෙරතුරු අවමය. එසේ වන්නේ ගොඩනැගිල්ලක් එක හා සමානව ගිලා බැසීමකදී සිදුවිය හැකි හානිය ඉතා අවම වන හෙයිනි. නමුත් ගොඩනැගිල්ලක කොටසක් පමණක් ගිලාබැසීම අතිශයින්ම අනතුරුදයකය. මන්ද යත් එවැනි අවස්ථාවක පොළොව මට්ටමෙන් පහළ පාදමෙහි සහ පොළොවෙන් ඉහළ ඉදිකිරීම අතර බලය මාරුවීමක් සිදුවන බැවිනි. ඒ තුළින් සමස්ත ගොඩනැගිල්ලම බිමට පතිත වනු ඇත.

එසේම කෙනකුට පොළොව උඩ පිහිටි ගොඩනැගිල්ලෙහි තත්ත්වය ඕනෑම මොහොතක පරික්ෂා කර බැලිය හැකිය. එනම්, කම්බි මළ බැඳී ඇතිද, ජලය කාන්දු වනවාද, ඉරිතැලීමක් සිදුවී ඇතිද, ස්ලැබ් එක හෝ බීම් එක පහතට පැමිණ ඇතිද...ආදී වශයෙන් සොයා බලා ඉන්ජිනේරුවකු නොවන අයකුට වුවත් කිසියම් නිගමනයකට එළඹිය හැකිය. නමුත් මෙහි පාදම කවර ආකාරයකට පවතීදැයි කිසි ලෙසකින්වත් එලෙස නිශ්චය කළ නොහැකිය. එනම් කම්බි මළ බැඳී ඇතිද, පාදම ඉරි තලා ඇත්ද, පාදම යටින් තිබෙන කොයිල් එකට කුමක් සිදුවී ඇතිද යන්න අපට තේරුම් ගැනීමේ හැකියාවක් නැත. එය කෙතරම් හොඳ ඉන්ජිනේරු ඥානයක් පැවතියද වටහාගත නොහැකිය. ඒ නිසා පාදමක් නිමැවීමේදී ඒ සඳහා වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය සාධකයකි.

වැල්ලවත්තේ දී අප මුහුණ දුන් ඛේදවාචකයට හේතුව එම ගොඩනැගිල්ල ආසන්නයේ ඇළ මාර්ගයක් ගමන් කිරීම නම්, බොහෝවිට එය පාදමෙහි දෝෂයක් (foundation failure) ) නිසා ඇති වූවක් වීමට තිබෙන ඉඩකඩ වැඩිය. ඇළ මාර්ගයක ආසන්නව පිහිටන පස් තට්ටුවෙහි දරාගැනීමේ හැකියාව බෙහෙවින් අඩුය. එහි සෝදාපාලුවක් වුව සිදු විය හැකිය. එසේම ඇළ මාර්ගය අසන්නයේ පස් තට්ටුවේ ජල මට්ටම වැඩි විය හැකිය. ඒ අනුව එම පොළොවේ කිසියම් බරක් දරාගැනීමේ ශක්තිය සීමිත වේ. එවිට දරාගැනීමේ හැකියාව ඇති තැන්වල ඉදිකිරීම් ඒ ආකාරයෙන්ම තිබියදී අනෙක් පසින් ගිලා බැසීම සිදුවේ.

එවිට මෙවැනි ව්‍යසනයන් ඇති වීමේ සම්භාවිතාව බෙහෙවින් වැඩිය. ඒනිසා වාස්තු නිර්මාණයක් කිරීමෙදී ඒ තුළ පවතින විවිධාකර බව තේරුම් ගෙන කටයුතු කිරීම වඩාත් උචිත වේ. පෙර සඳහන් කළ අාකාරයට කිසියම් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී එහි පාරිසරික තත්ත්වය හා අවශ්‍යතාව පිළිබඳව වඩා සැලකිලිමත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍යය.

ගොඩනැගිල්ලක තත්ත්වය පිළිබඳව ඉන්ජිනේරුවරයාට, ගොඩනැගිලි කොන්තාත්කරුට හා සමාන වගකීමක් මෙම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදෙන රාජ්‍ය ආයතන සතුය. ඒ වගකීම පැහැර හරින්නට හෝ එහෙම වගකීමක් නැතැයි අත පිහදාගන්න රාජ්‍ය ආයතනවලට පුළුවන් කමක් නැත. නමුත් කණගාටුවට කරුණ වන්නේ ලංකාවේ මෙම රාජ්‍ය යාන්ත්‍රණය තුළ බෙහෙවින් හිඩැස් පැවතීමය. මෙසේ හිඩැස් ඇති වීම හේතුවෙන් රටට බරක් වන ඉදිකිරීම් විශාල සංඛ්‍යාවක් ජනතාව අතරට පත් වෙමින් තිබේ. මෙය අනාගත ව්‍යසනයක පෙර නිමිත්තක් බව අප සිහි තබාගත යුතුය.

ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී එය නිවැරැදි ප්‍රමිතියට අනුකූලදැයි නියාමනය කිරීම අදාළ බලධරීන් සතු රාජකාරියකි. එය කිසිවකු විසින් පැහැර හැර ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමර්ග ගැනීම අතිශය වැදගත්ය. එමගින් ආනකුත් නිලධාරීන්ටද සිය වෘත්තියේ වගකීම පිළිබඳව වගකීම් සහගතව කටයුතු කිරීමට පූර්වාදර්ශයක් සැපයේ. මෙගා පොලිස් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කොල්ලුපිටිය හා වැල්ලවත්ත අතර මෙවැනි අනවසර ඉදිකිරීම් 1800ක් පමණ පවතින බවය. එසේ නම් මේවා ඉදිවූයේ කෙසේද? ඒවා නියාමනය කළේ කවුරුන්ද යන්න සෙයා බලා මේ වෙනුවෙන් වගකිවයුතු සියලු පාර්ශ්වයන්ට තරාතිරම නොබලා නීත්‍යානුකූලව දඬුවම් ලබාදීම ජනතාව වෙනුවෙන් වගකියන ආණ්ඩුවක යුතුකම වන්නේය.

රසික කොටුදුරගේ

නව අදහස දක්වන්න