නුවරඑළිය රෝහලේ වාට්ටු කීපයක ඇඳන් හිඟයි | දිනමිණ

නුවරඑළිය රෝහලේ වාට්ටු කීපයක ඇඳන් හිඟයි

නුවරඑළිය මහ රෝහලේ වාට්ටු කීපයක දැඩි රෝගී තදබදයක් පවතින බව වාර්තා වෙයි. මෙයින් අංක 1 වාට්ටුව ප්‍රධාන තැනක් ගන්නා අතර ගිලන් ඇඳන් 34කින් සමන්විත එම වාට්ටුවේ ඇතැම් දිනවල රෝගීන් 150 ඉක්මවා නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව ද හෙළිවෙයි.

එවන් අවස්ථාවලදී ඇඳන් දෙක බැගින් එකට එකතුකොට ඒ තුළ රෝගීන් තුන්දෙනා බැගින් හෝ අවශ්‍යතාව පරිදි හතර පස්දෙනා බැගින් දැමීමට සිදුවන බවත් මේ නිසා අසාධ්‍ය රෝගීන් දැඩි අසීරුතාවන්ට ලක්වෙනවා සේම ඔවුනට ප්‍රතිකාර ලබාදීමේදී වෛද්‍යවරුන් ද අපහසුතාවන්ට ලක්වෙන බව ද රෝහල් ප්‍රකාශකයෙක් හෙළි කළේය.

වෙනත් ප්‍රදේශයකදී මෙන් නොව මෙම සීතල පරිසරයේ බිමට ඇතිරිල්ලක් හෝ මෙට්ටයක් දමා රෝගියකුට බිම නිදාගැනීමට දීමෙන් තවත් ගැටලු ඇතිවිය හැකි නිසා ඇඳන් දෙකක් එකතුකොට මෙසේ රෝගීන් දැමීමට සිදුව ඇතැයිද එම දුක විඳ දරාගත නොහැකි ඇතැම් රෝගීන් සිය කැමැත්තෙන්ම ඇඳන් යටටවී ප්‍රතිකාර ලබන බව ද කියැවේ.

මෙම වාට්ටුව තුළ හදවත් රෝගීන්, වස ශරීර ගතවූ අය මෙන්ම බෝවෙන රෝග සහිත උණ, ක්ෂය රෝගය වැළඳුන අය ද ප්‍රතිකාර ලබන බැවින් එවැනි රෝගීන් එකම ඇඳන් මත එකට තබාගෙන සිටීමෙන් එම රෝගීන්ට ද භයානක තත්ත්වයනට මුහුණදීමට සිදුව ඇතැයි කියති.

නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර මහතා- මෙය දිගින් දිගටම වර්ධනය වෙන ප්‍රශ්නයක්. දිස්ත්‍රික් රෝහලක් වන මෙහි නේවාසික රෝගී තදබදයට පිළියමක් ලෙස නෙදර්ලන්ත ණය ආධාර යටතේ රුපියල් දස ලක්ෂ 7000ක් වැයකර රෝගී ඇඳන් 600කින් සමන්විත මහල් 6ක ගොඩනැගිල්ලක් ඉදිකර ඇතැත් 2015 වසරේදී වැඩ නිමකොට භාරදීමට නියමිතව තිබූ එය මේ වනතෙක්ම භාර නොදීම ගැටලුකාරී තත්ත්වයක්.

නව අදහස දක්වන්න