සංහිඳියා සාහිත්‍යයකට අත දෙන්න | දිනමිණ

සංහිඳියා සාහිත්‍යයකට අත දෙන්න

 සංහිඳියාව ගැන බොහෝ දෙනෙක් කතා කරනු ඇසුණත් ප්‍රායෝගික තලයේ සංහිඳියාව ක්‍රියාවට නැඟීමට ඉදිරිපත් වෙන්නේ ඉතාමත් සීමිත පිරිසක්. තම ක්‍රියාකාරීත්වය තුළින් සැබෑ සංහිඳියාවක් ගොඩනැඟීමට කැප වී සිටින අතළොස්සක් ශ්‍රී ලාංකිකයන් අතර ලේඛකයන්ට ප්‍රමුඛස්ථානයක් හිමිවන බව පැවසිය යුතුයි. වාර්ගික සුහදත්වය වෙනුවෙන් එකට එක්වී වැඩ කරන සංවිධානයක් ගොඩනඟාගෙන තිබෙන්නේ මා දන්නා තරමින් ලේඛකයන් කණ්ඩායමක් පමණයි. ලේඛකයන්ට අමතරව සිංහල, දෙමළ හා මුස්ලිම් ජනවර්ග තුනට අයත් වෙනත් කලාකරුවන් එක් වී ජාතික මට්ටමේ සංවිධානයක් ගොඩනඟාගෙන ඇත්නම් අප දැනුවත් කරන මෙන් ද කාරුණිකව ඉල්ලා සිටිනවා.

ලේඛක ක්ෂේත්‍රයේ සමඟිසම්පන්නව සිටින කණ්ඩායමක් එක් වී පවත්වපු උත්සවයකට සහභාගි වීමේ අවස්ථාවක් මට පසුගියදා උදා වුණා. උත්සවය පැවැත්වුණේ වැල්ලවත්තේ රුද්‍රා මාවතේ පිහිටි දෙමළ සංගම් ශාලාවේ. මේ ශාලාවටත් දිගු ඉතිහාසයක් තිබෙනවා. වසර සියයක පමණ ඈතට දිවෙන ඒ ඉතිහාසය පුරාම දෙමළ සංගම් ශාලාව දෙමළ භාෂාව කතා කරන ජනයාගේ සංස්කෘතික මධ්‍යස්ථානයක්ව පැවතුණා. නමින් දෙමළ සංගමය ලෙස පෙනී සිටියත් දෙමළ හා මුස්ලිම් යන ජනකොටස් දෙකටම මෙම ශාලාව සෙවණක් වූ බව රහසක් නොවේ.

පසුගියදා එනම් මැයි 06 වැනිදා මා එහි ගියේ මේමන් කවී නම් ලේඛකයා වෙනුවෙන් පැවැති උපහාර උළෙලකට සහභාගි වීමටයි. මාත් එක්ක සිංහල, දෙමළ ලේඛන එකමුතුවේ සාමාජිකයන් වන දේ. වි. ගාල්ලගේ, එච්. ඩී. ජයසූරිය හා හේමචන්ද්‍ර පතිරණ ඇතුළු සිංහල ලේඛක ප්‍රජාව නියෝජනය කරන තවත් කිහිප දෙනෙක් ඒ අවස්ථාවට සහභාගි වුණා. මේ උත්සවයේ කටයුතු මෙහෙයවීමට සිංහල ලේඛකයකුට පැවරී තිබීමත් සංහිඳියාවේ ජයග්‍රාහී පියවරක් ලෙස සටහන් කිරීම වටිනවා. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනම මැනවින් හැසිරවීමට සමත්කමක් ඇති හේමචන්ද්‍ර පතිරණ වෙතයි මේ කාරණය පැවරී තිබුණේ.

මේමන් කවී ලේඛකයා දෙමළ හා මුස්ලිම් ජනකොටස් දෙකටම පරිබාහිර සුළුජන කණ්ඩායමක් වන බායි ජන කණ්ඩායමේ සාමාජිකයෙක් බවත්, මෙහිදී සිහිපත් කළ යුතුයි. බායිවරු භාවිත කරන්නෙත් දෙමළ භාෂාව නිසා දෙමළ සංගම් ශාලාවේ දොර කවුළු ඔවුන් වෙනුවෙනුත් විවෘත වී තිබෙනවා. මේමන්ගේ ජීවන ගම‍ෙන් 60 වන සැතපුම් කණුවට පා තැබීම පදනම් කරගෙන පැවැත්වූ මෙම උපහාර උත්සවය වෙනුවෙන් නිකුත් කර තිබූ සමරු කළඹේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ලිපි ඇතුළත්ව තිබීමත් අගය කළ යුතුයි.

මේමන් කවී උපහාර උළෙලේ මා දුටු අපූරුම දර්ශනය තමා උත්සවය වෙනුවෙන් ඇරැයුම් ලැබ පැමිණ සිටි පුමුඛ පෙ‍ෙළ් මුස්ලිම් දේශපාලන නායකයන් දෙදෙනකු වන රාවුෆ් හකීම් හා ඒ. එච්. එම්. අස්වර් දෙපළම ප්‍රේක්ෂකාගාරයේ අසුන් දරා සිටීම. දෙමළ සංගම් ශාලාවේ වේදිකාව වෙන්කර තිබුණේ සාහිත්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් පිරිසකට පමණයි. මහාචාර්ය චන්ද්‍රසේකරන් ප්‍රමුඛ දෙමළ, මුස්ලිම් හා සිංහල ලේඛකයන්ට අමතරව ප්‍රකාශන ක්ෂේත්‍රයට සම්බන්ධ සිරිසුමන ගොඩගේ මහතා හා නන්දා ගොඩගේ මහත්මියත් දෙමළ පොත් ප්‍රකාශකයන් නියෝජනය කරමින් විශ්වනාදන් මහතා ද වේදිකාවේ අසුන් දරා සිටිනු දකින්න ලැබුණා. ‍

මේමන්වරුන්ට අවුරුදු 200 ක පමණ ඉතිහාසයක් ලංකාව තුළ පැවතියත් වෙළෙඳ ප්‍රජාවක් වූ ඔවුන් පිළිබඳව ලාංකීය සමාජය දැන හැඳින ගත්තේ මේමන් කවී නිසා බවයි එහිදී ඇති වූ හැම කතාබහකින්ම පාහේ කියවුණේ. මේමන් පරපුරෙන් බිහිවූ එකම ලේඛකයා හේතුකො‍ටගෙන ඔවුන්ට විශාල සමාජ පිළිගැනීමක් අත්වූ බව මේමන්වරුන් ද පිළිගත්තා. ලේඛකයෙක් යනු රාජ්‍යයක් තුළ පවතින තවත් රාජ්‍යයක් යයි වරෙක රුසියානු ලේඛක ඇලෙක්සැන්ඩර් සොලිෂිනිට්ස් කර තිබූ ප්‍රකාශය ඒ කතාබහ අසද්දී මගේ මතකයට නැඟුණා.

අසල්වැසි තමිල්නාඩුවේ සිට පැමිණ සිටි අරුණා සුන්දරරාජන් ලේඛකයා හා ‍එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ලේඛකයකු වන එන්. සෙල්වරාජාත් දැන හැඳින ගැනීමට අවස්ථාවක් ලැබීම සිංහල ලේඛකයන් වශයෙන් අපට ලොකු සතුටක් දනවන සිද්ධියක් වුණා. සිංහල, දෙමළ හා මුස්ලිම් ඇතුළු සියලුම ජනකොටස්වලට අයත් ලේඛකයන් මෙසේ එකමුතු වී සිටීම පිළිබඳව ඔවුන් කතාබහ කළේ ලොකු සතුටකින්. ඒ සතුට බෙදාගන්න ඔවුන් අපට කළ විශේෂ ඇරියුමක් අනුව පහුගිය අඟහරුවාදා කොළඹ ජාතික ‍පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පරිශ්‍රයේදී අපි මුණගැසී හෝරා දෙක තුනක් පුරා ජාතික සංහිඳියාව වෙනුවෙන් ලේඛකයන්ට ඉටු කළ හැකි මෙහෙවර ගැන කතාබහ කළා.

රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනවල අනුග්‍රහයකින් තොරව පසුගිය කාලය තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් ලේඛකයන් එක්ව ජාතික එකමුතුව හා සංහිඳියාව වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් ඉටුකර තිබෙනවා. ඒත් වාර්ගික සුහදත්වය ගැන කතා කරන දේශපාලනඥයන් හා වෙනත් සමාජ නායකයන්, ලේඛකයන් විසින් රෝපණය කරනු ලැබ ඇති ජාතික එකමුතුකමේ පුංචි පැළෑටියට වතුර බිඳකින් හෝ සාත්තු නොකිරීම හේතුවෙන් එය දිනෙන් දින කනාටු වෙමින් පවතින බව මතක් කර සිටින්නේ බොහොම කනගාටුවෙන්.

කමල් පෙරේරා
[email protected]

නව අදහස දක්වන්න