මුම්බායිපුර ශාන්තාරාම් | දිනමිණ

මුම්බායිපුර ශාන්තාරාම්

 ඇතැමෙකුට බන්ධනාගාරය, විශ්වවිද්‍යාලයක් බවට පත්වෙයි. එහි සිටියදීම හෝ ඉන් නිදහස්ව ආ කල එබඳු අය, තම බන්ධනාගාර ජීවිතය පිළිබඳව ලියූ පතපොත, විශේෂ සාහිත්‍ය ෂානරයක් ලෙස සැලකේ. 2003 දී පළවූ ග්‍රෙගරි ඩේවිඩ් රොබට්ස් නමැති ඔස්ට්‍රේලියානු ජාතිකයා විසින් රචනා කරනු ලැබූ ‘ශාන්තාරාම්’ නමැති චරිතාපදාන ස්වරූපී නවකතාව ද බන්ධනාගාර සාහිත්‍ය ෂානරයට අයත් වන්නකි.

පිටු 936 කින් යුත් විශාල ග්‍රන්ථයක් වන මෙහි ගලා යන්නේ ග්‍රෙගරි රොබට්ස්ගේම ජීවිතයයි. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වන රොබට්ස්, ඒ සඳහා මුදල් සොයා ගන්නේ සොරකමිනි. ඔහු කළ බැංකු කොල්ලයන් ගැන ඔස්ට්‍රේලියානු පුවත්පත්වල, මුල් පිටු සිරස්තල පළවෙයි. රොබට්ස්ගේ විශේෂ ලක්ෂණයක් වන්නේ, ඔහු කිසිවෙකු බිය නොවද්දන, මහත්මා ගුණැති කොල්ලකාරයකු වීමය. පසු කලෙක රොබට්ස් හා පැවති රූපවාහිනි වැඩසටහනකදී ඔහු මෙසේ පැවසුවේ සිනාමුසුවය.

“බැංකු සේවිකාවන්, මා පිළිබඳව පුවත්පත්වලට කතා කළේ සිනාමුසුව. මා ඔවුන් අතර කොතරම් ජනප්‍රිය වුණාද කියනවා නම්, මා නැවත වරක් බැංකුව කොල්ලකෑමට එතැයි බලාපොරොත්තු වුණා. ඉතින්, මා ඒ බලාපොරොත්තුව ඉෂ්ට කර දුන් අවස්ථා තිබෙනවා. එවිට ඔවුන් මා ඉල්ලන්නටත් පෙරම මලුවලට සල්ලි දමන්න පටන් ගත්තා.”

1978 දී දහනව වසරකට සිරගත කෙරෙන රොබට්ස් මහ දවාලක ඉන් පලා යයි. එතැන් සිට ඉදිරි දස වසර පුරා ඔහු ඔස්ට්‍රේලියාවේ පොලිසියට ‘අත්‍යවශ්‍ය අපරාධකරුවා’ (Most Wanted Criminal) බවට පත්වෙයි.

නවකතාවෙහි ප්‍රධාන චරිතය හැඳින්වෙන්නේ ලින්ඩ්සේ නමිනි. සිරගෙයින් පලාගිය පසු එනමින් ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකසා ගන්නා ඔහු නවසීලන්තය හා ජර්මනිය හරහා ඉන්දියාවට ළඟා වෙයි.

බොම්බාය (පසුව මුම්බායි) ඔහුගේ සිත්ගත් නගරය බවට පත්වෙයි. ඊට හේතු දක්වන රොබට්ස් මෙසේ කියයි.

“ලෝකයේ බොහෝ නගර පිටතින් පිරිසිදුයි. එහෙත් ඇතුළතින් අපිරිසිදුයි. බොම්බාය පිටතින් අපිරිසිදුයි. එහෙත් ඇතුළතින් පිරිසිදුයි. නිදහස කියන දේ මම අත්වින්දේ බොම්බායේ මුඩුක්කු අස්සෙදි”

එහිදී ලින්ඩ්සේට මුණගැසෙන ප්‍රභාකර් ඔහුගේ මාර්ගෝපදේශකයා හා මිතුරා බවට පත්වෙයි. ප්‍රභාකර්, තම විදේශික මිතුරා අමතන්නේ ‘ලින් බාබා’ නමිනි. එක් අවස්ථාවක දෙදෙනම, ප්‍රභාකර්ගේ මව වෙසෙන ගම්මානයට යති. එහිදී ඇය, ලින්ඩ්සේට ‘ශාන්තාරාම්’ (දිව්‍යමය නිදහස) යන නම ලබා දෙයි. ආපසු එන ගමනේදී ප්‍රභාකර් හා ලින්‍ඩ්සේ මංපහරන්නන්ට හසුවෙයි. ලින්ඩ්සේ සතු සියලු මුදල් අහිමි වෙයි.

එතැන් සිට ඔහුට ජීවත්වීමට සිදුවනුයේ මුඩුක්කු පෙදෙසකය. ඔහු එහි ගිය දිනයේම විශාල ගින්නකින් පැල්පත් රැසක් දැවී විනාශ වෙයි. කිසිදු හව්හරණක් නැති දිළිඳු ජීවිත ගැන කම්පාවට පත්වන ලින්ඩ්සේ, නොමිලේ බෙහෙත් කිරීම සඳහා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් අරඹයි. කොලරාව හා ලාදුරු වැනි රෝගයන්ගෙන් පීඩාවිඳින අසරණුන් සුවපත් කිරීම සඳහා ඔහු වෙහෙසෙයි.

මරාති භාෂාව ද හොඳින් ඉගෙන ගන්නා ලින්ඩ්සේ නොහොත් ශාන්තාරාම් ක්‍රම ක්‍රමයෙන් ඉන්දියානු ගතිපැවතුම් මනාව දත්, ඉන්දියානුවෙකුම බවට පත්වෙයි.

බොලිවුඩ් සිනමා ශිල්පීන් ද හඳුනාගන්නා ලින්ඩ්සේ ඒ මාර්ගයෙන්, චිත්‍රපට කීපයක අතිරේක නළුවකු ලෙස රඟපායි. ස්විස් - අමෙරිකානු කාන්තාවක වන කාර්ලා සමඟ ප්‍රේම සබඳතාවක් ද ඇතිකර ගනී.

කෙසේ වෙතත් මේ අතරතුර ඔහු පාතාල ලෝකය සමඟ ද ගනුදෙනු කරන්නට පටන් ගනී. මත්ද්‍රව්‍ය හා ආයුද වෙළඳාමෙහි යෙදෙයි. එහි ප්‍රතිඵලයක් ‍වශයෙන් මුම්බායි හි සිරගතවීමට ඔහුට සිදුවෙයි. එහිදී ඔහුට ජීවත්වන්නට සිදුවන්නේ විවිධ කායික හා මානසික පීඩාවන් මධ්‍යයෙහිය.

ඇෆ්ගන් මාෆියා නායකයකු වන අබ්දුල් කාඩර් ඛාන්ගේ උපකාරයෙන්, සිරගෙයින් නිදහස් වීමට ලින්ඩ්සේට හැකි වෙයි. එතැන් සිට ඔහු කළු සල්ලි හා ව්‍යාජ ගමන් බලපත් ‘වෙළඳාමට’ බසී. ඇෆ්ගනිස්ථානයට යන ඔහු මුජාහිදීන් සටන්කාමීන්ට ආයුද සැපයීමෙහි යෙදෙයි.

ලින්ඩ්සේගේ ‘ගෝඩ් ෆාදර්’ බවට පත්වී සිටි අබ්දුල් ඛාන් මිය යන්නේ මේ අතරතුරය. ඉන්පසු සියල්ල කෙරෙහි කළකිරෙන ලින්ඩ්සේ වැරදි අතහැර යහපත් ජීවිතයක් ගතකිරීමට ඉටා ගනී. ඉන්දියාව අතහැර ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කරයි. ‘ශාන්තාරාම්’ නවකතාව නිමාවන්නේ එතැනිනි.

කතුවර රොබට්ස්ට අනුව ඔහුට අවශ්‍ය වූයේ සත්‍යයක් සේ දිස්වන ප්‍රබන්ධයක් ලිවීමය. එහි එන බොහෝ චරිත මනඃකල්පිතය. රොබට්ස්, ඔස්ට්‍රේලියානු සිරගෙදරින් පලා ඒම සත්‍ය බවට සනාථ කළ හැකි වාර්තා වෙතත්, ‘ශාන්තාරාම්’ නවකතාවේ එන සෙසු සිදුවීම් සත්‍ය යැයි කීමට අපහසු බව ඇතැම්හු පවසති. එහෙත් ‘මුම්බායි මිරර්’ පුවත්පතේ ලිපියකින් හෙළි කෙරුණේ ලින්ඩ්සේගේ පොතේ එන ඇතැම් චරිත, තවමත් මුම්බායි හි දිවිගෙවන බවය.

අපරාධකරුවා තුළ පවා අනෙකෙකු ජීවත් වෙයි. ඒ අනෙකා තුළ ගුණ යහපත්කම් පවතී. ‘හොර දොස්තරෙකු’ වී හෝ දිළිඳුන්ට ප්‍රතිකාර කිරීමට පෙළඹෙන්නේ ලින්ඩ්සේ තුළ වෙසෙන ඒ අනෙකාය.

මුම්බායි නමැති විශාල නගරය, ලින්ඩ්සේට සැඟව සිටීමට උපකාරී වෙයි. එහි මුඩුක්කු පෙදෙසක් තුළ ඔහු නිදහස් ජීවිතයක සුවය විඳියි. එහි වෙසෙන අපිරිසිදු මිනිසුන්ගේ හදවත් තුළ ඇති පිරිසිදු බවින්, ඔහු මහත් ආස්වාදයක් ලබයි. සැබැවින්ම එය දිව්‍යමය ශාන්තියකි.

‘ශාන්තාරාම්’ නවකතාව, රොබට්ස් නමැති කොල්ලකරුවා, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා හා සිරකරුවා ප්‍රසිද්ධ ලේඛකයෙකු බවට පත් කළේය. ඒ තුළින් ඔහුට භෝජන සංග්‍රහ, රූපවාහිනී සාකච්ඡා, පුවත්පත් සංවාද, දේශන හා විවිධ උත්සව ආදි‍ෙයන් සැදුම්ලත් සමාජ ජීවිතයක් හිමිවුණි.

2014 ජනවාරියේදී තම වෙබ් අඩවියට පණිවිඩයක් එක්කරන රොබට්ස් එයින් පසු ඔහු සමාජ ජීවිතයෙන් විශ්‍රාම ගන්නා බව දැන්වීය. ඊ-මේල් හෝ දුරකථන මාර්ගයෙන්වත් ඔහු සම්බන්ධ කර ගත නොහැකි වනු ඇත. “එහෙත් මා ජීවිතයෙන් පලා යනවා නොවේ. එතැන් සිට මගේ පවුලේ ආදරණීයන් සමඟ කාලය ගතකරනවා. එසේම අලුත් නිර්මාණ කටයුතුවල යෙදෙනවා.”

‘ශාන්තාරාම්’ කෘතිය චිත්‍රපට ගතකිරීමට ගත් බොහෝ උත්සාහයන් අතරමඟදී ව්‍යාර්ථ වුණි. එහෙත් වෝනර් බ්‍රදර්ස් නිෂ්පාදනයක් වශයෙන් එය 2018 දී තිරගත වීමට නියමිත බව ප්‍රකාශ වී ඇත.

වසර දහයක කාලයක් තුළ ‘ශාන්තාරාම්’ නවකතාවේ පිටපත් මිලියන හතරක් අලෙවි වුණි. එය කියැවූ බොහෝ දෙනාගේ ජීවන දැක්ම අලුත් විය. වෙනස් විය. රොබට්ස් පවසන අන්දමට ඔබ බලාපොරොත්තු අත නොහරින්නේ නම්, ජීවිතය නැවත ඇරැඹිය හැකිය.

‘ශාන්තාරාම්’ ලද ජනප්‍රියත්වය එහි දෙවෙනි කොටසක් ලිවීමට රොබට්ස් පෙළඹවීය. ‘The Mountain shadow’ එහි ප්‍රතිඵලයයි. එහිදී ද රොබට්ස් කරන්නේ ඇතුළතින් පිරිසිදු මුම්බායි හි තව තවත් ඇතුළට අප ගෙන යාමයි.

කපිල කුමාර කාලිංග
[email protected]

නව අදහස දක්වන්න