ඇඳුම් මසා ඉසුරු සොයන තලවතුගොඩ ශ්‍රියානි | දිනමිණ

ඇඳුම් මසා ඉසුරු සොයන තලවතුගොඩ ශ්‍රියානි

තරුණ අවධියේ සිට ම ඇයට අවැසි වූයේ, තම සිතේ ඇති දැඩි ආත්ම ශක්තිය අනුව යමින්, අනාගතයේ ස්ථාවර ආර්ථිකයක් ගොඩනගා ගැනීමට ය. ඉන් පසු ඇය තම හැකියා, දක්ෂතා මොනවාද යන්න හඳුනාගෙන, ඒවා තව තවත් වර්ධනය කර ගැනීමට උනන්දු වූවා ය. එසේ කටයුතු කළ ඇය, තලවතුගොඩ පදිංචි ශ්‍රියානි පුෂ්පලතා ය.

“මට පොඩි කාලේ ඉඳලම ඇඳුම් මහන්න ටිකක් පුළුවන්. ඒ නිසා ම මම නුගේගොඩ පැවැත්වු ඇඳුම් නිර්මාණ ඩිප්ලෝමාව හැදෑරුවා. ඒකෙන් පස්සේ මම හිතුවා මට තනියම ඇදුම් නිර්මාණ කරන්න පුළුවන් කියලා. මම ඇඳුම් මහන්න පටන් අරගෙන දැන් වසර 20ක් විතර වෙනවා. කාටවත් අතපාන්නේ නැතුව, තමන්ගෙම උත්සාහයෙන් සමාජයට දෙයක් කරන්න පුළුවන් රස්සාවක් තමයි මං කරන්නේ. කිසිම කෙනකුට යටත් වෙන්නේ නැතුව, මගේ නිර්මාණශිලී හැකියාව තව තවත් වර්ධනය කර ගන්න දැන් මට පුළුවන්. මගේ මහත්තයයි, පුතයි මගේ සෑම කටයුත්තකදීම මට සහය වෙනවා. මේ ක්ෂේත්‍රයට ඒ අයගේ කැමැත්තක් නැතිනම්, මට සිතේ තෘප්තියෙන් මේ ඇඳුම් නිර්මාණය කරන්න බැහැ. ඒ අතින් මම බොහෝ ම වාසනාවන්තයි.”

තම පවුලෙහි සමඟිය රදවා ගනිමින්, තම ස්වයං රැකියාවේ දියුණුව නිරතුරු අපේක්ෂා කරන ඇය, තමන් වැනිම තවත් කාන්තාවන් හය දෙනකුට ජීවනෝපාය මාර්ග සලසා දීමට ද කටයුතු කරමින් ඇත.

“මම මගේ ඇදුම් නිර්මාණ කාර්යයේදී සහයට ගන්නේ නිවෙස්වලට වී රැකියා විරහිතව සිටින කාන්තාවන්. ඔවුන්ට නිසි රැකියාවක් නැති නිසාත්, මම ඔවුන්ගේ මහන්සියට සාධාරණත්වයක් ඉෂ්ට කරන නිසාත්, ඒ සෑම කෙනෙක් ම සතුටින් වැඩ කරනවා.”

වර්තමාන සමාජයේ පවතින විරැකියාවට උත්තරයක් සපයමින්, දැයට, සමාජ සේවයක් සිදු කරන ශ්‍රියානි, සැබැවින් ම දිරිය මවකි. දිරියෙන් නැගී සිටින ශක්තිමත් ගැහැනියකි. නිවෙස්වලට වී කාලය නාස්ති කරමින් ළතැවෙන කාන්තාවන්ගේ මනස අවදි කරමින්, ඔවුන් ද දිරිය කතුන් බවට පත් කිරීමට ඇය නිරතුරුවම වෙහෙසෙන්නී ය.

“සෑම ඇඳුමකම පතරොම් කපන්නේ මමයි. ඒක මම වෙන කාටවත් කරන්න දෙන්නේ නෑ. ඇඳුම් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය අනෙක් සියලු ම වැඩ අනෙක් කාන්තාවන් සිදු කරනවා. මම සෑම ඇඳුමක්ම, ප්‍රාථමික මට්ටමෙන් ජීවත් වන කෙනකුට වුණත් අතේ තිබෙන මුදලට ගන්න පුළුවන් විදිහටයි විකුණන්නේ. මම මහන සෑම ඇඳුමක් ම රු. 200, 250, 300, 350 වගේ මිල ගණන්වලට තමයි දෙන්නේ. කාන්තා ඇඳුම් ලෙස ගවුම්, සාය , ටී ෂර්ට්, රාත්‍රි ඇඳුම් වැනි දෑ තමයි මහන්නේ.”

ඇය පවසන ආකාරයට, ඇය දවසේ කිසි ම වේලාවක කාලය නිකරුණේ ගෙවා දමන්නේ නැත. අතේ ඇති මුදලට ඇඳුම් මිලදී ගැනීමට පැමිණෙනපාරිභෝගිකයන් සමඟ ද මිත්‍රශිලී අයුරින් කටයුතු කරන ඇය, සැබැවින් ම ව්‍යවසායක ගුණ කැටිවූ කාන්තාවකි.

“ඇඟලුම් ක්ෂේත්‍රයේ තරගකාරීත්වය බොහොම වැඩියි. පාරිභෝගිකයාගේ කැමැත්ත පරිදි ඇඳුම් නිර්මාණය කරන්න අපි දැනගන්න ඕනෑ. අපේ ඇඳුම් මිල ගණන් අඩු වුණාට, ඒවා තුළ යම් පැවැත්මක් සහ ප්‍රමිතියක් තිබිය යුතුමයි. නැත්නම් මේ ව්‍යාපාරය දීර්ඝ කාලීනව කරගෙන යන්න වෙන්නේ නෑ. මම මේ තරම් කාලයක් ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ, පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි, ඔවුන් තෘප්තිමත් කර ඇඳුම් නිර්මාණය කළ නිසයි.”

හිත කැමැති මේ රැකියාව, දියුණුවේ හිනිපෙත්ත කරා රැගෙන යාම, ඇගේ අනාගත බලාපොරොත්තුව ය.

 

මදාරා

නව අදහස දක්වන්න