අසරණ යාචකයකුගේ හිසට ගල් ප්‍රහාරයක් | දිනමිණ

අසරණ යාචකයකුගේ හිසට ගල් ප්‍රහාරයක්

හිසට කලූගල් කුට්ටියකින් ප‍්‍රහාරයක් එල්ලවීම නිසා බරපතල තුවාල ලැබූ යාචකයකු අද(22)උදෑසන මීරිගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වතුපිටිවල මූලික රෝහලට මාරු කර යවා ඇතැයි මීරිගම පොලිසිය පවසයි.

මෙම යාචකයා ඊයේ(21)රාති‍්‍ර මීරිගම දුම්රිය ස්ථානය අසල පිහිටි වලව්වත්ත ග‍්‍රාම නිලධාරි කාර්යාලය පිහිටි තට්ටු ගොඩනැගිල්ලේ ඉදිරිපස කොරිඩෝවේ නිදාගෙන සිටියදී මෙම ගල් ප‍්‍රහාරයට ගොදුරුවී ඇත.

කිසිවෙකු තරමක් විශාල ගල් කුට්ටියක් ඔහුගේ හිස මතට දමා ඇතැයි පොලිසිය සැකකරයි.

මෙසේ තුවාල ලබා ඇති අය වයස අවුරුදු 45 පමන වන බොරු කකුලක් පැලද සිටින පුද්ගලයෙකි.

යාචකයා නිදා සිටියදී ඊයේ රාති‍්‍ර හෝ අද අලූයම මෙම ප‍්‍රහාරයට ලක්ව ඇති අතර වලව්වත්ත ග‍්‍රාම නිලධාරි සුමිත් ජයවර්ධන මහතා අද උදෑසන රාජකාරි සදහා කාර්යාලය විවෘත කරන අවස්ථාවේ මෙම තුවාලකරු දැක මීරිගම පොලිසියට දන්වා රෝහල් ගත කිරීීමට පියවර ගෙන තිබේ.

දුම්රියේ ගමන් කරමින් යාචක වෘත්තියේ යෙදෙන මෙම තැනැත්තා නිදා ගැනීමට පැමිනි අවස්ථාවේදී ඔහු හා අමනාප යාචකයකු මෙම ප‍්‍රහාරය එල්ල කරන්නට හෝ ඔහු සතුව තිබූ මුදල් පැහැර ගැනීමට ආ අයකු මෙසේ පහරදෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරින් විසින් සිද්ධීයවූ ස්ථානය පරීක්ෂා කිරිමට පියවර ගෙන තිබිණි.

මීරිගම වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීකෂක පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ සුලූ පැමිනිලි අංශයේ උප පොලිස් පරීක්ෂක එදිරිසිංහ පොලිස් සැරයන් ආනන්ද ඇතුලූ නිලධාරීහු පරීක්ෂන පවත්වති.

නව අදහස දක්වන්න