මිනිසුන් අතරට ගිහින් අලුත් වැඩකට කැමතියි | දිනමිණ

මිනිසුන් අතරට ගිහින් අලුත් වැඩකට කැමතියි

සඳමාලි හේවානායක

අරුත් සුන් වදන් දොඩමින්, ප්‍රේක්ෂකයාගේ වටිනා කාලය කා දමන සමහර රූපවාහිනී නිවේදිකාවන්ගෙන් ඇය වෙනස් වන්නේ, අරුත්බර වදන් පෙළගස්වමින්, ප්‍රේක්ෂක විඥානය අවදි කිරීමට වෙහෙසෙන නිසා ය. පාසල් වියේ සිට ම නිවේදන කලාවට ඇලුම් කළ News Station වැඩසටහන හරහා ප්‍රේක්ෂක කතාබහට ලක් වූ ඇය, රූපවාහිනී තිරය හරහා ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් ඉදිරිපත් කරමින්, ඔබේ ආලින්දයට පැමිණෙන සඳමාලි හේවානායක ය.

* ඔබේ පියා මාධ්‍යවේදියෙක්. ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයට පුවිශ්ට වීමට බලපෑවෙ ඒ පවුල් පරිසරයද?

මගේ පියා දයා විජේසේකර. දවස පුවත්පතේ මාධ්‍යවේදියෙක් විදිහට වෘත්තීය ජීවිතය ආරම්භ කළා. පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරට පත් වුණා. මගේ මව මාලනී විජේසේකර. ඇය ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළා. මගේ පියාට වගේම, මගේ මවටත් ලස්සනට ලියන්න, කතා කරන්න පුළුවන්. මගේ පියා මාධ්‍යවේදියෙක් විදිහට ඩී.බී.ධනපාල, මාර්ටින් වික්‍රමසිංහ මහත්වරු සමඟ වැඩ කරලා තියෙනවා. ඒ වගේ ම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මගේ මවගේ ගුරුවරයෙක්. මේ නිසා ම, මේ වගේ විද්වතුන්ගේ පොත පත අපේ ගෙදර බහුලව පැවතියා. ඒ නිසා ම, නිතරම පොතපත කියැවීමටත් මඟ සැකසුණා. මං පාසලේ හත, අට, නවය වගේ පංතිවල ඉඳන්ම පොත් කියවන්නට රුචියක් දැක්වූවා. ඒ අනුව මං සාහිත්‍ය රසවින්දනයට හුරු වුණා.

මගේ පියා කලාකාරයෙක් නොවුණාට කලා රසිකයෙක්. ඒ වගේ ම, මගේ පියා නිතර ඇසුරු කළ ජයලත් මනෝරත්න, වික්ටර් රත්නායක, කුලරත්න ආරියවංශ , නිශ්ශංක දිද්දෙනිය වගේ අය අපේ ගෙදර නිතර ආවා ගියා. ඒ අය ගේ නිර්මාණ වගේ ම, ඒ සොඳුරු කලාකරුවන් සමඟ පවුලේ සමීප මිතුරන් විදිහට ඇසුරු කරන්න ලැබුණා. මේ නිසා මටත් නොදැනීම මේ කලා මාධ්‍යයන්, මගේ ජීවිතයේ වැදගත් අංගයක් බවට පත් වුණා.

ඒ වගේ ම, මා උගත් පාසල වුණු සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය මගේ දිවියට පුදුමාකාර ආලෝකයක් වුණා. මට නිවේදිකාවක් විදිහට ප්‍රේක්ෂකයා අතරට එන්න මාවත විවර වුණේ මගේ පාසල නිසයි.

*ඒ ගමන් මඟ පිළිබඳ කතා කළොත්?

මං නවයෙ පන්තියෙ හිටිද්දි වගේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මට පුස්තකාල දිනයක් නිවේදනය කරන්න දුන්නා. එදා මං දක්ෂ අයුරින් එම අවස්ථාව නිවේදනය කළා කියලා ඒ අය නිගමනයකට එන්න ඇති. ඊට පස්සේ පාසලේ සෑම උත්සව අවස්ථාවක්ම නිවේදනය කරන්න ලැබුණේ මට.

මං උසස් පෙළ කරන කාලේ රූපවාහිනියෙ උදා විකාශය කියලා වැඩසටහනක් ආරම්භ කළා. ඒ කාලෙ කොළඹ ප්‍රදේශයේ පාසල්වල නිවේදනයට දක්ෂ සිසු සිසුවියන් තෝරගෙන, ඒ වැඩසටහන කරන්න තමයි තීරණය වුණේ. ඒ සඳහා බොහෝ පාසල්වලින් බොහෝ සිසු සිසුවියන් ඉල්ලුම් කර තිබුණා. ඒ අයගෙන් තිස් දෙනෙක් තෝරගෙන, අවසානයේ හය දෙනෙක් තෝර ගත්තා. එයින් එක් සිසුවියක් විදිහට මටත් එම වැඩසටහනට සම්බන්ධ වෙන්න ලැබුණා. එහිදී ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණා.

*ඔබ ලක්හඬ ගුවන්විදුලියේ ආරම්භක සාමාජිකාවක්. ඒ මතකය අවදි කළොත්?

ලක්හඬ ගුවන්විදුලිය ආරම්භ කළේ 1996දි. එහි ආරම්භක දිනයේ ප්‍රථමයෙන් ම නිවේදන කටයුතු කිරීමේ භාග්‍යයත් මට උදා වුණා. එදා ආරම්භක වැඩසටහන කළේ මොහාන් රාජ් මඩවල සහ මමයි. එය මගේ නිවේදන දිවියේ සුවිශේෂී මතකයක්. ඒ වගේ ම සුවිශේෂී අවස්ථාවක්.

* ඔබ නිවේදනයට දක්ෂ වුණත්, එය ඔබේ වෘත්තිය නෙමෙයි.

මං මේ කටයුත්තේ යෙදෙන්නේ වෙනත් වෘත්තියක යෙදෙන අතරතුරේදියි. මං ලක්හඬ වැඩසටහන් ඉදිරිපත් කළෙත් වෙනත් වෘත්තියක යෙදෙන ගමන්, අමතර සේවයක් විදිහටයි. ඒ කාලෙ මං බැංකු නිලධාරිනියක් විදිහට සේවය කළා. උදෙන්ම වැඩසටහන් කරලා බැංකුවට දුවගෙන එන්න බලාගෙන තමයි ඒ කටයුත්තේ යෙදුණේ.

* ඔබ බැංකු ක්ෂේත්‍රයට යොමු වුණේ, අධ්‍යයනය කළ විෂය ධාරාව ඒ ක්ෂේත්‍රය හා සමීප නිසාද?

මං ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ එංගලන්තයේ වේල්ස් සරසවියේ පශ්චාත් උපාධිධාරිනියක්. එය මගේ වෘත්තීය ජීවිතයට රුකුලක්.

* එහෙම වෙන්න පවුල් පරිසරයත් බලපෑවා කියලා ඔබ හිතනවද?

ඔව්. මගේ මව ඒ ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඒ වගේ ම, නැගණියත් බැංකු ක්ෂේත්‍රය හා සම්බන්ධවයි කටයුතු කරන්නේ. මගේ සැමියා අචින්ත. එයත් බැංකු ක්ෂේත්‍රයේ. ඒත් මං දැන් බැංකු ක්ෂේත්‍රයේ නෑ. මං දැන් සේවය කරන්නේ ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් ආයතනයත් සමඟයි.

* ‘News Station’ කියන්නේ, ඔබ මේ ක්ෂේත්‍රය තුළ ප්‍රකට කළා වගේ ම, විවිධාකාර කතාබහට ලක්වූ වැඩසටහනක්?

මේ වැඩසටහන ප්‍රවෘත්ති හා කාලීන දේ දායාද කළ සජීවී වැඩසටහනක්. සති අන්තයේ රාත්‍රී හත අට අතර මේ වැඩසටහන කළා. ඒ වැඩසටහන ඒ කාලෙ රූපවාහිනී සභාපතිතුමා වුණු මහාචාර්ය ධම්මික ගංගානාත් මහත්මයාගේ සංකල්පයක්. ප්‍රවෘත්ති ආකර්ෂණීයව ඉදිරිපත් කරන්නේ කොහොමද කියන අදහසින් තමයි ඒ වැඩසටහන කළේ. ටෙලි නාට්‍යවලට වඩා ප්‍රේක්ෂකයන් නරඹපු වැඩසටහනක් විදිහට එය ඒ කාලෙ ජනප්‍රිය වුණා. ඒ වැඩසටහන ඉතාමත්ම මහන්සිවෙලා, කැපකිරීම් කරලා කළ වැඩසටහනක්. මා මිනිසුන් අතර ජනප්‍රිය කළ වැ‍ඩසටහනක් විදිහටත් එය හඳුන්වන්න පුළුවන්.

* රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීම ඔබේ විනෝදාංශයද?

විනෝදාංශය කියලා කියන්නම බැහැ. මේ කටයුත්ත ඉතාම විශාල කැපවීමකින් කරන දෙයක්. අපි කරන්නේ රඟපෑමක් නෙමෙයි. මං පුංචි කාලෙ ඉඳන්ම වැඩක් කරනවා නම්, ඒ කරන වැඩය මොකක් වුණත්, කැපවෙලා, දැනුම්වත් වෙලා,බොහොම මහන්සියෙන් කරනවා. වැඩසටහනේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ ඒ තුළයි. මට ගුවන් කාලය කියන්නේ, නරඹන්නන්ට වැඩක් වන දෙයක් කරන්න හිතන කාලයක්. ඒ අයගේ කාලය මං අරගෙන, නිකරුණේ කියවන්න කොයිම වෙලාවකවත් හිතන්නේ නෑ. ඔවුන්ට ප්‍රයෝජනවත් දෙයක් කරන එක තමයි මගේ වගකීම. ගුවන් කාලය ජීවිතය තරම් බරපතළ දෙයක්.

* ඔබ, නිවේදන ක්ෂේත්‍රය තුළ සම්මානයට පවා පාත්‍රවුණු කෙනෙක්?

මම සුමති රූපවාහිනී සම්මාන උළෙලේ හොඳ ම ප්‍රවෘත්ති නිවේදිකාව විදිහට සම්මාන ලබා තිබෙනවා. ඒ වගේ ම රයිගම් ටෙලීස්වල අද වෙනකම්ම හොඳ ම නිවේදිකාව වෙනුවෙන් යෝජනා වී තිබෙනවා. රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳ ම පූරක ලෙසත් සම්මාන ලැබුවා.

* වර්තමාන බොහෝ මාධ්‍ය මඟින් හරවත් වැඩසටහන් ඉදිරිපත් නොකරන බවට චෝදනා නැ‍ඟෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

සමස්තයක් විදිහට කලාවේ පිරිහීම පිළිබඳ කතා කරනවා.වේදිකාව, සිනමාව වගේ ම රූපවාහිනී ක්ෂේත්‍රයත් එහෙමයි. මේ වෙනකොට කිසි ම තැනක, කිසිම දේක ගුණාත්මක බවක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒත්, ජාතික මාධ්‍ය, තවමත් ගුණාත්මක බව රැකගෙන වැඩසටහන් කරනවා.

* මාධ්‍ය ක්ෂේත්‍රයට එන කෙනෙක්ට යම් තරමක හෝ මාධ්‍ය පිළිබඳ හැදෑරීමක නිරතවීම අවශ්‍යයි කියා ඔබ හිතනවද?

ක්ෂේත්‍රය පිළිබඳ දැනුම්වත් වීම අත්‍යවශ්‍යයි. හැදෑරීම අවශ්‍යයි. ඒ වගේ ම, භාෂාව පිළිබඳ දැනුමත් අත්‍යවශ්‍යයි.

* මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඔබ ලද හද සසල කරවන අත්දැකීම මොකක්ද?

News Station කරන කාලෙ, රාගම ප්‍රදේශයේ අකුණක් වැදිලා ඒ පවුලේ අම්මා, තාත්තා දෙදෙනාම නැතිවෙලා. වයස අවුරුදු හතේ සහ අවුරුදු තුනක දරු දෙදෙනා බේරුණා. මේ අවස්ථාවේ දරු දෙදෙනා මැදිරියට එක්කගෙන ඇවිත්, අවුරුදු තුනේ බබා උකුලෙ තියාගෙන වැඩසටහන ඉදිරිපත් කළේ. මේ වනවිට මගෙ පුතාට අවුරුදු එකහමාරයි. මේ කුඩා ම දරුවා ඒ වෙලාවෙ කිව්ව දේකට මට කඳුළු නවතා ගන්න බැරි වුණා. ඒ අවස්ථාව තමයි වැඩසටහනක් ඉදිරිපත් කිරීමේදී ලැබූ සංවේදීම අත්දැකීම.

* මෙතෙක් නොලද, ඉදිරියේදී කරන්න කැමැති හිතේ ඇඳුණු වැඩසටහන් එහෙම තියෙනවද?

හිසේ කෙස් ගාණට සජීවී වැඩසටහන් කරලා තියෙනවා. ඒ හැම වැඩසටහනක්ම ඉතාමත් ම වගකීමෙන් කළා.

කැමැත්තෙන් බලාපොරොත්තු වුණු අවස්ථා ලැබුණා. රට නියෝජනය කරන්න ඕන වෙලාවේදී වගේ ම රට ඇතුළෙ කළ යුතු දේ වගකීමෙන් කළා. ජාතික මට්ටමෙන් සුවිශේෂී අවස්ථා රාශියකට සම්බන්ධ වුණා. ‍පොත පත, වේදිකාව, සංගීතය, සිනමාව වැනි මාධ්‍ය පිළිබඳ කතාකර තිබෙනවා. දේශපාලන වැඩසටහන් කරන්න කොහෙත්ම කැමැති නෑ. මිනිසුන් අතරට ගිහින්, ඔවුන් සමඟ එකතුවෙලා ලස්සන වැඩසටහනක් කරන්න කැමැතියි. ලැබුණු අවස්ථා ගැන අතිශයින් ම තෘප්තිමත්.

 

ඉරෝෂිණී දීපිකා
ඡායාරූප ගයාන් පුෂ්පික

අදහස් 1ක් ඇත

sandamali kelle,oyaage baduwe mayil,kihiliwala mayil,puke mayil,thawa hemathenama ethi mayil mata photokorala evanna honde.

නව අදහස දක්වන්න