ගහන තරමට ආදරේ | දිනමිණ

ගහන තරමට ආදරේ

‘අනේ මට ඇති තරම් පහර දෙන්න.’ ප්‍රේමයෙන් මුසපත් වුණු දැරියන් හඬ නඟා තමන් ඉදිරියෙන් සිටින හැඩිදැඩි පිරිමියාගෙන් අයදින්නෙ කස පහරයි. කාල වර්ණ තරුණයාද අත දිග හැර, ලේ එනතුරු පහර දෙයි. ශිෂ්ට සමාජයට බෙහෙවින් කුරිරු යැයි හැ‍ඟෙන මේ චාරිත්‍රය සිදුවන්නේ ඉතියෝපියාවේ හමාර් ගෝත්‍රික ජනතාව අතරය.

හමාර් ගෝත්‍රිකයන් විශ්වාසකරන්නේ කසෙන් තැලූ කැළැල් වැඩිවන තරමට එම කාන්තාව විසින් පිරිමියාට කරන ආදරය, කැපවීම, වැඩි බවය. පසු කාලීනව හමාර් කාන්තාවට කැළැල් ජීවිත රක්ෂණයක් බඳු වටිනාකමක් ලබාදේ. ජීවිතයේ පීඩාවන්ට ලක්වන අවස්ථාවන්හිදී කස පහර දුන් පිරිමියාට කැළැල් පෙන්වා තමන් කළ කැපවීමේ තරම පෙන්වීමට ද අවස්ථාවක් ඒ නිසාම ඔවුන්ට හිමිවේ. කාන්තාවන්ට පහර දීමේ උත්සවයට ගෝත්‍රික සමාජික සාමාජිකාවන් දෙසිය දෙනකු පමණ සහභාගීවේ.

කාන්තාවන්ට පහරදීම පිරිමින් වෙනුවෙන් පැවැත්වෙන උත්සවයක එක් කොටසක් පමණි. පහර දීමට ලක්වන තරුණියන්ගේ පවුලේ සාමාජිකයන්ගේ මනාපය කස පහර දෙන හිරිමල් තරුණයා කෙරෙහි යොමුවී තිබීම ඉතා වැදගත්ය.

උත්සවයෙන් පසු තරුණයා අංග සම්පූර්ණ පිරිමියකු ලෙස ගෝත්‍රික සමාජයෙන් පිළිගනු ලබන අතර විවාහයක් කරගැනීමට අවසර පත්‍රය ද ඒ සමඟ හිමිවේ.මේ දරුණු සම්ප්‍රදාය ඉතියෝපියානු හමාර් ‍ගෝත්‍රය හඳුන්වන්නේ උකුලි බුලා ලෙසිනි. ඕමෝ ගං නිම්නයේ පැවැත්වෙන උත්සවය නරඹන්නන්ට තරුණියන් පහර අයදින ආකාරය සැබෑම අභිමානයකි.

පසු කලක කස පහරට ලක්වුණු කාන්තාවක වැන්දඹුවක වුවහොත් ඇයට තමනට කස පහර ලබාදුන් පිරිමියකුගෙන් පිහිටක් අයැදීමට පුළුවන. එනම් ඔහු සැමියා කර ගැනීමට හැකියාව ලැබේ. ඒ අයිතිය ලැබෙන්නේ මරණය තෙක් සිරුරේ පවතින කැළැල්වල අනුහසිනි. එතරම් කැපවීමක් කළ කාන්තාවකගේ ඉල්ලීම කිසිදු පිරිමියකුට කිසිසේත්ම පැහැර හැරීමට නුපුළුවන. එසේම පරිපූර්ණ පිරිමියකු වීමට හමාර් තරුණයකු අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු කරුණු දෙකක් ද තිබේ. එක් කරුණක් වන්නේ චර්ම ඡේදනයයි. අනෙක් කරුණ ගවයන් මතින් යාමයි.

හිරිමල් තරුණයා නිරුවත් ගමනින් ගවයන් පිටින් යන ආකාරය ගෝත්‍රයේ වැඩිහිටි විවාහ සාමාජිකයන් විසින් නරඹනු ලැබේ. තරුණයා ගවයන් පහළොස් දෙනකු මතින් වුවත් යා යුතුය. එසේ ගිය පසු ඔහු පූර්ණ පිරිමියකු බවට පත්වන අතර විවාහයට සුදුසුවේ.

තරුණයාගේ කස පහරේ දරුණු බව අඩුකර ගැනීමට තරුණියෝ බටර් ගල්වා ගනිති. සමහරුන්ට එතරම් තදින් කස පහර නොලැබේ. ඉතියෝපියාවේ ඉතා හොඳින් අඳින පලඳින පිරිසක් ලෙස හමාර් ගෝත්‍රිකයන් ප්‍රචලිතය. කාන්තාවෝ එළු සමෙන් සකසා ගත් සාය පාට පාට වීදුරු පබළු එල්ලා හැඩ කරගනිති. ග්‍රීස් හා රතු කබොක් මිශ්‍රණයෙන් හිසකෙස් හැඩකර ගනිති. සමහරු කෙස් හැඩ කරගන්නේ පබළුවලිනි. සිරුර හැඩ වැඩ කිරීමද හමාර් චාරිත්‍රයකි. පබළු, සිප්පිකටු, ලෝහ අබරණ මේ සාම්ප්‍රදායික ගෝත්‍රික සමාජයේ සුලබව පලඳිනු ලැබේ.

කස පහර දීමේ චාරිත්‍රය එක් කාලයකට සීමා නොවේ. තමන්ගේ ශක්තිය පෙන්වීමට කාන්තාවකට ඕනෑම දිනයක අයිතිය තිබේ. එම චාරිත්‍රයෙන් බේරීමට නම් ගැහැනියක අඩු වශයෙන් දරුවන් දෙදෙනකුව බිහිකර සිටිය යුතුය. කස පහර ලැබීම වගේම උත්සවේදි නළා පිඹීමෙනුත් ගී ගැයීමෙනුත් තරුණියක සිය ආදරය, කැපවීම පෙන්වයි.

පිරිමින් රුව හැඩකරගන්නේ මුහුණේ ආලේප ගැල්වීමෙනි. ආලේපනයේ ස්වභාවය ගෝත්‍රික පිරිමියාගේ සමාජ තත්ත්වය අනුව වෙනස්වේ. අවිවාහක තරුණයා ගල්වන්නේ විවාහක පිරිමියකු ගල්වන ආලේපන නොවේ.

ශිෂ්ට සමාජයේ තරුණියකට කැළැලක් යනු අවමානයක් වුවත් හමාර් ගෝත්‍රයේ තරුණියකට, ගැහැනියකට කැළල අභිමානයකි. ධෛර්යයට සාක්ෂියයි.

ඉතියෝපියාවේ අගනුවර අඩිස් අබාබා ආසන්නව ගෝත්‍රික කොලනි දක්නට ලැබේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබූ කාලයේ මේ කොලනි හැඳින්වූවේ ‍ලේක් රුඩොල්ෆ් ලෙසිනි. එරට ප්‍රධාන ගෝත්‍ර අටක්වත් මෙහි ජීවත් වන අතර ජනගහනය දෙලක්ෂයකි.

දියුණු සමාජයේ බලපෑම ගෝත්‍රික සමාජයට එල්ලවී නැතත් ඔවුන්ද දියුණු සමාජයට එක්වීමේ පෙරනිමිති පෙන්වා අවසන්ය. දුරකථන තාක්ෂණයද ඔවුන් අත ළඟය.

ඕමෝ ගඟ ගෝත්‍රිකයන්ගේ වාසනාවේ උල්පතය. සියවස් ගණනක් පුරා වසරකට කිහිපවරක් ඇතිවන ගංවතුර, සාර බඩ ඉරිඟු වගාවකට සරු බිම ක් සපයයි. නමුත් එයටද දියුණු සමාජය නිසා කණ කොකා හඩා අවසන්ය. 2006 වසරේදී ජනාධිපති මලිස් සෙනාවිගේ රජයෙන් ඉදි කළ අප්‍රිකාවේ උසම ජල - විදුලි වේල්ල නිසා ගෝත්‍රිකයන් ජීවත් වූ පරිසරය විනාශ වී තිබේ. ගඟට මෙන්ම ගංවතුරට ද වේල්ල බලපා ඇත. මේ නිසාම කෙන්යාවට, දකුණු සුඩානයට, බටහිර ඉතියෝපියාවට අඩිස් අබාබාවලට යන ගෝත්‍රික ජන ගහනය දිනෙන් දින වැඩිවෙමින් පවතී.

චම්පිකා දීපානි රණසිංහ
අන්තර් ජාලයෙනි

 

නව අදහස දක්වන්න