හිමාලය උඩ විවාහය

 ජීවිතයේ සොඳුරුතම පැතුම මල් ඵල ගන්වමින් ප්‍රේමයේ කිරුළ අහස් ගංඟාවේ මෙන්ම සයුරු දියේ කිමිදීද පැළැඳු භාග්‍යවත් ආදරවන්තයෝ සිටිති. හිමාලය කඳු ශිඛර මතදී එවන් වූ රන් කිරුළ පළඳින්න ඇත්නම්... යන සිහිනය කොපමණ පෙම්වතුන් දකින්නට ඇතිද? ඒ සිහිනය යථාවත් කරමින් කැලිෆෝනියාවේ යුවළක් හිමාලය කන්දේදී අතිනතගත් පුවත පසුගියදා අසන්නට ලැබිණි. එම ඡායාරූප එකතුව මංගල ඡායාරූපකරණයේ අයස්කාන්ත දසුන් පෙළකි.

හිමාලය කන්දේ පිහිටි කඳවුරු භූමියේදී යුගදිවි ගමන් ඇරැඹූ මේ යුවතිපති යුවළ ඈෂ්ලි සහ ජේම්ස් වෙති. මනාල ඇඳුමෙන්ම සැරසී එය අමරණීය මතකයක් කිරීමට ඔවුනට හැකිවීම ඇත්තටම වාසනාවකි.

සුන්දරත්වය පමණක්ම නොව ත්‍රාසයද වීරත්වයද සිතුවම් වූ මේ අපූරු විවාහ මංගල්‍යයේ වැඩි ගෞරවයක් ඡායාරූප ශිල්පි චාල්ටන් චර්චිල්ටද ලැබිය යුතුය.

“මං මේ වගේම 2015 දීත් මෙතැන විවාහ මංගල්‍යක් කරන්න වෑයම් කළා. ඒත් නේපාලයට බලපෑ දරුණු භූමි කම්පාව එය වැළැක්වූවා. බේස් කෑම්ප් එකේ සිටි අපි හැමෝටම ආපහු හැරෙන්න සිදුවුණා...”

එම උත්සාහය ව්‍යර්ථ වූ පසු මේ තරම් ඉක්මනින් යළි අවස්ථාවක් ලැබෙනු ඇතැයි චාල්ටන්වත් කල්පනා කළේ නැත. ඔහු ඊට සුදුසු නව යුවළක් සොයමින් පසුවන අතරතුර අවදානම් සහගත ක්‍රියා ඡායාරූපයට නැඟීමේ යෙදෙන තවත් ඡායාරූප ශිල්පියකුගෙන් ඔහුට පණිවිඩයක් ලැබිණි. ඒ තරුණියකට වික්‍රමාන්විත මංගල්‍යයක් ගැනීමට වුවමනා වී ඇති බවයි. අනාගත මනමාලයාගේද කැමැත්ත ඊට ලැබී තිබුණත් ස්ථානය ගැන ඔවුන් තීරණය කර තිබු‍ණේ නැත.

චාල්ටන් හිමාලය යෝජනා කළේය. නව යුවළ අභියෝගය භාරගත්හ. “ඇත්තටම ජේම්ස් සහ ඈෂ්ලි දෙදෙනාම හොඳ කඳු තරණ සාමාජිකයන්. අපි එක පවුලක් වගේ වැඩ කළේ. ඈෂ්ලිට පුදුම තරමේ ධෛර්යයක් ශක්තියක් තිබුණා. ජේම්ස් ශ්‍රේෂ්ට මනුෂ්‍යයෙක්. ඔහු ඇයව ඉතාමත් හොඳින් බලා ගත්තා. ඇයගේ අවශ්‍යතා පිරිමැසුවා. ඒ විතරකුත් නෙවෙයි ඔහු විහිළු තහළුවලට රුසියෙක්. දීර්ඝ කඳුතරණයකදී දැනෙන පීඩනයත් එක්ක සිනහවකට ඉඩක් නෑ. ඒත් ඔහු අපිව හිනැස්සුවා. විශාල සැහැල්ලුවක් ගෙනාවා...”

ගමන පහසු වූ බවක් ඉන් අදහස් නොවේ. ලොව උස්ම කඳු ශිඛරය තරණය කිරීම සෑමවිටම බිහිසුණු අත්දැකීමකි.

“උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක ඍණ 8 – 10 අතර වුණා. ඒ කියන්නේ අත්වැසුම් ඉවත් කළොත් ඒ මොහොතේම අත් ගල්ගැසෙන තරම් ශීතලක්. පිංතූර ගනිද්දි මං ඒ කටුක අත්දැකීම වින්ඳා. ශීතලට මගේ අත් පිච්චුනා...”

චර්චිල් පවසන පරිදි නවයුවළගේ විවාහය සිදුවූයේ ෆැරන්හයිට් අංශක ඍණ 5 -5 අතර පරාසයේදීය.” මනාලිය සිටියේ මනාලියකගේ ඇඳුමෙන්මයි. අපි ඇයව උණුසුම් කරන්න සුප්, උණුසුම් පාන වර්ග, චොක්ලට් වගේ දේවල් දුන්නා. එක තැන නොතියා එහා මෙහා යන්න සැළැස්සුවා...”

මනාලයා ජේම්ස්ට නරක කැස්සක්ද තිබිණි. එහෙත්, සති ගණනකට පෙර සූදානමකින් පසු සිහිනය යථාර්ථයක් කිරීමට ඔවුන්ට හැකිවිණි. හිමාලය කඳු ශිඛර මතදී විවාහ දිවියට එළැඹි පළමු මනාල යුවළ වූයේ ඔවුන්ය.

“බේස් කෑම්ප් එකට එන්න කලින්දා රාත්‍රියේ අපි හිටියේ ගොරැක් ෂෙප්වල. ඒ කියන්නෙ අඩි 16942ක් උසින්. ජේම්ස් එක පාරටම නැඟිට්ටෙ හුස්ම හිර කරනවා වගෙයි කියාගෙන... අපි අපේ ගයිඩ්ව කූද්දගන්න බැලුවා. මිනිහා කාමරේ හොඳට වහගෙන තද නින්දේ. ජනෙල්වලට ගල් ගහලාවත් මිනිහා ඇහැරවන්න බැරි වුණා. අන්තිමේ යන්තම් කුස්සිය පැත්තෙන් ඇතුල්වෙලා , මිනිහා ඇහැරව ගත්තා. තවත් කෙනෙක්වත් එකතු කරගෙන අපේ ගයිඩ් ඔක්සිජන් ටැංකියක් උස්සගෙන ආවා. ජේම්ස් ඉතුරු ටික නිදාගන්නෙ ඒකෙ පිහිටෙන්...”

එය ජේම්ස්ට පමණක් බලපෑ තත්ත්වයක් නොවේ. කඳු නඟින්නන් එවැනි උසකදී නිතර මුහුණපාන අත්දැකීමකි. මනාල යුවළ එහි ළඟාවීමට සතියකට පෙර බේස් කෑම්ප් එකේදී ඔස්ට්‍රේලියානු කඳු නඟින්නකු මියගොස් තිබිණි. මේ පසුබිම යටතේ තවත් ඉහළට නැඟිය යුතු නැති බව ඔවුන්ගේ තීරණය විය. විවාහ මංගල්‍ය බේස් කෑම්ප් එක ආශ්‍රිතව ගැනීමට එකඟතාවක් ඇතිවිය. වාසනාවකට ගොරැක්වල සිට එතැනට යාමට තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක ජේම්ස් පසුවිය. ඔවුන් කවුරුත් ඒ දුර තරණය කළේ ඔක්සිජන් ටැංකිද සමඟය. මංගල උත්සවයේ කටයුතු විනාඩි 90ක් තුළ නිම කෙරිණි. ඔවුන් පහළට පැමිණියේ හෙලිකොප්ටරයෙනි. විවාහ මංගල්‍යයේ දසුන් අතිශයින්ම විචිත්‍රවත් විය. සාමාන්‍යයෙන් එවැනි ස්වභාවික පසුතලයක් ගැන සිතීම පවා අපහසු වුවද අතිශය මනරම් රූපරාමු තෝරාගැනීමට හැකිවිය. ඇත්තටම එය තවත් එක් විවාහ මංගල්‍යයක් නොවේ. වීර කාව්‍යක් බඳු මංගල්‍යකි. මංගල ඡායාරූපකරණ ඉතිහාසයට වෙනස්ම අත්දැකීමක් මෙන්ම රමණීය සේයාරූ පෙළක් තිළිණ කළ මංගල්‍යයකි.

සී.බී.එස්.නිව්ස් ඇසුරිනි
ධම්මික සෙනෙවිරත්න


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...