පසුගිය පාලන සමයේ වරායේ සිදු වූ වංචා ගැන කඩිනමින් පරීක්ෂණ ඕනෑ | දිනමිණ

පසුගිය පාලන සමයේ වරායේ සිදු වූ වංචා ගැන කඩිනමින් පරීක්ෂණ ඕනෑ

චන්ද්‍රිකා පෙරේරා

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන මහා පරිමාණ සොරකම් සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවන ලෙස අල්ලස් හා දූෂණ කොමිසම හා මූල්‍ය අපරාධ කොට්ඨාශය බලගන්වන ලෙස වරාය සේවක සංසදයේ ලේකම් එස්. ඩබ්ලිව් .ජී .චන්ද්‍රවංශ මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

වරායේ මහා පරිමාණ සොරකම් සිදු කළ නිලධාරීන් සම්බන්ධයෙන් වරාය සේවක සංසදය කළ පැමිණිළි පිළිබඳ මෙතෙක් නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා එම සංසදය ඊයේ (19) කොළඹ කොටුව තරුණ කතෝලික සංගම් ශාලාවේ පැවැත් වූ හමුවේදී චන්ද්‍රවංශ මහතා එම අදහස් පළ කෙළේය.

එහිදී චන්ද්‍රවංශ මහතා මෙසේ ද පැවසීය.පසුගිය කෙළේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහා පරිමාණ සොරකම් සිදු කළ නිලධාරීන්ට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිසමටත් මූල්‍ය අපරාධ කොට්ඨාශයටත් පැමිණිළි කැර දැනට වසරකට වැඩි කාලයක් ගතව තිබෙනවා. නමුත් ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් තවම සිදුවන බවක් දකින්න නැහැ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් නැහැ. මේ අය කියනවා ඒ සම්බන්ධයෙන් පොලිස්පතිට යොමු කළා කියලා. පසුගිය කාලේ වූ සොරකම් සම්බන්ධයෙන් වරාය හා නාවික ඇමැති අර්ජුණ රණතුංග මහතාටත් ලිඛිතව පැමිණිළි කළත් තවමත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගෙන නැහැ.

වරාය අධිකාරියේ මුල්‍ය ගාස්තුවලින් මේ අය විශාල ලෙස වංචාකර තිබෙන බවට තොරතුරු සොයා ගෙන තිබෙනවා. , මුළුතැන් ගෙයි ගාස්තු මඟිනුත් සොරකම් කර තිබෙන අතර බැඳුම්කර ගුදම් ගාස්තුවලින් පමණක් රුපියල් කෝටි 12ක් වංචා කළ අය සිටිනවා.

මේ අයට කිසිම දඬුවමක් නැහැ. සමහරු උසස්වීම් ලබලා තවමත් සේවයේ නිරතව සිටිනවා. තවත් අය විශ්‍රාම ගිහින්. මේ ගැන නිසි ලෙස කඩිනම් පරීක්ෂණයක් පවත්වන්න කියා අදාළ අංශවලට අපි බල කරනවා. ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් කඩිනම් විසැඳුමක් නොගත්තොත් ඔහුටත් විරුද්ධව වරාය සේවක සංසදය ක්‍රියාත්මක වීමට සූදානම්.

මේ සොරකම් පිළිබඳ උදාහරණයක් ලෙස 2005දි අන්නාසි ගෙඩියක් ගෙන තිබෙන්නේ රුපියල් 300 - 350 වැනි මිලකට. 2017 මේ වසරෙදි රුපියල් 150ක් වැනි මිලක් වෙලා .මේ වසර ගණනෙදි මිල වෙනස මෙය නම් 2005 සිට 2017 අතර කාලයේදී කොරතම් මුදලක් වංචනිකව ලබා ගන්න ඇතිද කියා සොයා බැලිය යුතුයි. මේ ගසාකෑම්වලට නිසි දඬුවම් ලබාදෙන්න කියා අපේ ඉල්ලීම.

මෙවැනි සොරකම් පිළිබඳ පරීක්ෂණ පවත්වා නීතිය හමුවට ගෙන ඒමට හැකිවන ලෙස අල්ලස් හා දූෂණ කොමිසම් සභාවට හා මූල්‍ය අපරාධ කොට්ඨාසයට නිසි බලය ලබාදෙන ලෙස අප ජනාධිපතිවරයා හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ඉදිරියේදී අප කළ පැමිණිළි සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත්තොත් වෘත්තීය සමිතියක් ලෙස දැඩි ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබෙන අතර වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීමට නොහැකි ආණ්ඩුකින් ජනතාවට ප්‍රයෝජනයක් නැති බවත් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් වැඩිදුරටත් කීවේය.

මේ අවස්ථාවට වරාය සේවක සංසදයේ උප සභාපති පී. බී. දසනායක, උප ලේකම් පී. එම්. එස්. සේනානායක, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අනුරාධ සමරවීර එක් වුහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...