ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් දෙන්න කාලයක් අවශ්‍යයි | දිනමිණ

ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් දෙන්න කාලයක් අවශ්‍යයි

චමීර ඇල්ලදෙණිය

ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ලබාදීමට සාධාරණය කාලයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට අවශ්‍ය බව නියෝජ්‍ය පාලක (පුරවැසි) චාමික එච්. ගමගේ මහතා දිනමිණට ඊයේ (19) පැවැසීය.

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් හෙළ කරන ලෙස ෆැපරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි මහතා පමණක් මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇතැයිද ගමගේ මහතා හෙළි කෙළේය.

එම නාම ලේඛනයට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමයක් මුලකුරු සමඟ පවතින නිසා එය සෙවීමේදී සාධාරණ කාලයක් ගත වන බවත් හෙතෙම සඳහන් කෙළේය.

1987 වසරේ සිට ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ලිඛිත දත්ත ඇති බවත් එය 2004 වසරේ සිට පරිගණක ගත කැර ඇති බවත් ඒ අනුව පරිගණක ගත කළ දත්ත හා පොත්වල සටහන් පවා බලා මෙයට පිළිතුරු ලබාදිය යුතු බවද නියෝජ්‍ය පාලකවරයා පෙන්වා දුන්නේය.

රෝහණ හෙට්ටිආරච්චි මහතා ලබාදි ඇති මන්ත්‍රී නාම ලේඛනය මුල් අකුරු සමඟ ඇති හෙයින් එවැනි නම් විශාල ප්‍රමාණයක් තිබෙන බවත් එම නම් අතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බව සනාථ කැර ගැනීමට කාලයක් ගත වන බවත් පෙන්වා දුන් ගමගේ මහතා මෙම නාම ලේඛනයේ මන්ත්‍රීවරුන්ගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත හා උපන් දිනය ලබාදුන්නේ නම් මීට වඩා වේගවත්ව මෙම තොරතුරු ලබාදිය හැකි බවද හෙතෙම කීය.

සාක්ෂි නීතිය අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව ලබාදෙන දත්ත අධිකරණය එනයින්ම පිළිගන්නා නිසා එය ඉතා වගකීමකින් ලබාදිය යුතු බවත් ඒ නිසා ද්විත්ව පුරවැසිභාය පිළිබඳ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ලබාදීමට සාධාරණ කාලයක් ගතවනු ඇතැයිද නියෝජ්‍ය පාලකවරයා කීවේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉතා නිරවුල්ව හා ඉතා වගකීමකින් කටයුතු කරන බවත් සපයා ඇති දත්තවල ප්‍රමාණවත් භාවය මදකම නිසා වේගයේ අඩුවක් පවතින බවත් නියෝජ්‍ය පාලක චාමික ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

නව අදහස දක්වන්න