උඩින් පටන් ගත් පරිසර රැකීම

වර්තමානයේ අප සොබාදහමට එරෙහි වීම තුළ උද්ගත වී ඇති පාරිසරික ගැටලුවලට අප විසින්ම වගකිව යුතුව ඇත. පසුගියදා මීතොටමුල්ල ප්‍රදේශයේ ජනතාව අත්වින්ඳේද එවැනි පාරිසරික ව්‍යසනයකි.

පසුගියදා ලෝක කම්කරු දිනය සමස්ත ලෝකවාසීන්ම සමරන ලදී. අප රටේද සුපුරුදු ලෙස මැයි දිනය කම්කරු පන්තිය ඇතුළු සියලු සංවිධාන විසින් සමරන ලදී.

මෙහිදී නෙත ගැටුණු සුවිශේෂී කරුණු කීපයක් ඔබ වෙනුවෙන් ගෙන හැර දැක්වීම කාලෝචිත යැයි සිතමි.

මැයි දිනය හෝ සාම්ප්‍රදායික උත්සවවලින් පසුව උදාවන පශ්චාත් අවදිය ඉතා කනගාටුදායක ස්වරූපයක් ගන්නේ එතුළින් පරිසරයට කරන මහා විනාශයයි. සෑම පොදු මහජන කටයුත්තකින් පසු පරිසරයට මුදාහැරෙන පොලිතින්, ප්ලාස්ටික් සහ වෙනත් අපද්‍රව්‍යයන් ප්‍රමාණය සුළුපටු නොවේ.

අතීතයේ සිට අප දැක ඇත්තේ මෙවන් මහජන උත්සවවලින් පසු පරිසරය පිරිසුදු කිරීමේ සම්ප්‍රදායක් නොමැතිකමයි. එහෙත් මෙවර පැවති මැයි දින රැලිවලදී ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් පරිසර හිතකාමී වැඩපිළිවෙළ අතිශයින්ම අගය කළ යුතුය.

අප මාධ්‍ය මඟින් දුටුවේ ජනාධිපතිතුමන් මුල්වී නායකත්වය ගෙන ගැටඹේ ක්‍රීඩාංගණය තුළ ඒකරාශී වී ඇති සියලු අපද්‍රව්‍යයන් ඉවත් කිරීමට ගන්නා උත්සාහයයි. එසේම අග්‍රාමාත්‍යතුමා ද මැයි දින රැලි ආරම්භ වීමට පෙරම එම සංවිධානවලට දැනුම් දී තිබුණේ උත්සව සඳහා පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය අවම ලෙස යොදාගන්නා ලෙසය.

අප බොහෝවිට දකින්නේ දේශපාලන නායකයින් පරිසරය විනාශ කරමින් තම ඡන්ද ව්‍යාපාර කටයුතු සිදුකරන ස්වභාවයකි. එවන් අවධියක රටේ මුල් පුටු හොබවන පුරවැසි දෙපළගේ පරිසර හිතකාමී ක්‍රියා අප හට ආදර්ශයකි.

 

චන්දන වන්නිආරච්චි
දෙහිඅත්තකණ්ඩිය


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...