ගණන් නොගන්නා ළමා අපයෝජන

වේයන්ගොඩ ප්‍රදේශයේ දහම් පාසලේ මව්පියන් පිරිසක්, පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් දෙපාර්තමේන්තුවට හා බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුවට මෙන්ම පළාතේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී වෙත ද යොමුකරනු ලද ලිපියක් (මා නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා හේතුවාදී සංගමයටද දැනුම්දෙනු ලැබූ සිදුවීමක්) පිළිබඳ විමසා බැලීමක් අද රචනාවේ නිමිත්ත කරගනිමි. මෙවැනි ක්ෂුද්‍ර සිදුවීම්වල සම්ප්‍රයුක්තය/සමස්ත ප්‍රතිවිපාකය, අපේ සමාජ දේහයේ හා සදාචාරාත්මක දේහයේ තිබිය යුතු නිරෝගී පැවැත්මට හානිකර බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

උක්ත සිදුවීම සිදු වුයේ එවැනි සමාජ අවබෝධයක් නැති දහම් පාසල් ගුරුවරියක් අතිනි. 5 වන ශ්‍රේණියේ පන්තියක් භාරව සිටින ඇය දිනක් තම සිසු සිසුවියන්ගෙන් ඉල්ලා ඇත්තේ මත්පැන් පානය කරන පියවරුන් සිටින ළමුන්හට අත් ඔසවා ඒ බව ප්‍රකාශ කරන ලෙසයි.

ඇය හෝ එවැනි තවත් අය මෙවැනි වූ ආචාරධාර්මික නොවන තවත් දේවල් (සමහරවිට පාසල්වලදී පවා..) මීට‍ පෙර හා මින් අනතුරුවත් ළමුන්ගෙන් මෙලෙස ප්‍රශ්න කරනවා විය හැකිය. එවැනි වැරදි හැඟවුම් ළමුන්ට සන්නිවේදනය කරනවා විය හැකිය.

මත්පැන් පානය අපරාධයක් හෝ අපචාරයක් ම ලෙස සලකන ගෝත්‍රික (හෝ ආගමික අන්තවාදී) සමාජයක වුවත් ඒ අරබයා ඔවුන්ගේ දරුවන් ප්‍රසිද්ධියේ අපහසුතාවයකට පත්කරනු අප අසා නැත. මෙම දහම් පාසල් ගුරුවරිය ඇත්තෙන්ම සිදු කොට ඇත්තේ ළමා අපයෝජනයකි. (බාල වයස්කාර දරුවකුට අඩම්තේට්ටම් කිරීම, අවමානයට ලක්කිරීම, බරපතළ ලෙස තර්ජනය කිරීම ආදි පැහැදිලි භෞතික හිරිහැර පමණක් නොව ළමයෙකු මානසිකව වියවුල් සහගත තත්වයකට බඳුන් කිරීමද මෙම අපයෝජන වර්ගීකරණයට ඇතුළත්වේ....) ඊට‍ අමතරව මෙවැනි දේ, තම පියවරුන් කෙරෙහි වන පීතෘ හැගීම/ආදරය පලුදු වන ආකාරයේ කටයුත්තකි; ව්‍යාජ නිර්නායකයක් යොදා ගනිමින්, මත්පැන් බොන (“නරක”) පියවරුන්ගේ දරුවන් සහ එසේ නොවන (“යහපත්”) පියවරුන්ගේ දරුවන් ලෙස පන්ති කාමරය තුළ දරුවන් බෙදා වෙන්කිරීමකි. (හිට්ලර් මත්පැන් නොබිවූ හා වෙජිටරියන් කෙනෙකු වූ පමණින් යහපත් පුද්ගලයෙකු නොවුවාසේ ...) ළමා මනසට එය ක්ෂතිමය අත්දැකීමක් විය හැකිය. සාමාන්‍ය විචාර බුද්ධියක් නැති මෙවැනි අයගෙන් ළමා-මනෝවිද්‍යානුකූල ඉගැන්වීමක් අපේක්ෂා කළ නොහැක.

මීට‍ අමතරව එම ලිපිය ඉදිරිපත් කළ මාපිය පිරිස අතර සිටින අයෙකු ඔහුගේ ළාබාල වියේදී දහම් පාසලකදී විඳින්නට සිදුවූ වේදනාකාරී අත්දැකීමක්ද ඊට‍ එකතුකොට ඇත. එයද, මා මතුකිරීමට අදහස් කළේ මෙම කාරණය මුවහත් කිරීමට එය ඌනපූරණයක් වන බැවිනි. එනිසා එකී කොටසද මෙහි උපුටා දක්වන්නෙමි.

“මගේ ආරම්භක දහම් පාසල් ජීවිතයේ දෙවැනි දිනයේම ලද අත්දැකීමක් ද මීට එකතු කිරීමට අදහස් කළේ එවකට (පාසල්වල මෙන්ම) දහම් පාසල්වල ද සිදු වූ තවත් ආකාරයක ප්‍රචණ්ඩත්වයක් මතුකොට දැක්වීමටයි. මෙම සිදුවීම මීට අවුරුදු 39 කට පමණ එපිට දී පානදුර ප්‍රදේශයේ දහම් පාසලක වූ සිදුවීමකි. එහි විදුහල්පති මෙම සිදුවීම වූ දිනළමුන්ගෙන් ප්‍රශ්න විචාරමින් සිසු සිසුවියන් වෙත පැමිණියේය. දෙවන පන්තියේ සිටි මගෙන් විමසු පැනයට නිවැරදි පිළිතුර ලබා දීමට නොහැකි වීම නිසා මට වේවැලින් වේගවත් පහරක් එල්ල කළේය. යම් කරුණක් නොදැන සිටීම (විශේෂයෙන් කුඩා දරුවකු වූ මා) දඬුවම් ලැබිය යුතු වරදක් නොවේ. නමුත් මේ පරපීඩකයා ඒ මූලික දේවත් නොදැන සිටි දහම් පාසල් විදුහල්පතිවරයෙකි. කුඩා මා බලවත් වේදනාවටත්, ලැජ්ජාවටත් පත්වුණු අතර ඉන් අනතුරුව මා එම දහම් පාසලට ආයුබෝවන් කීවෙමි.

දහම් පාසල ආගමික පසුබිමක ක්‍රියාත්මක වන බැවින් මෙවැනි සිදුවීම් කෙරෙහි සමාජයේ අවධානය යොමු නොවන තරම් වෙයි.”

මීට‍ දශක තුන හතරකට පෙර වුවා සේ (පාසල් අධ්‍යාපනයේ විනය සම්බන්ධ සාමාන්‍ය චර්යාවක් ලෙස පවතී) ළමුන්ට වේවැලින් පහරදීම් අද දවසේ සිදු නොවන තරම්ය. ලෝක මට්ටමට සමාන්තරව අපි එවැනි දේවලින් ගුණාත්මකව ඉදිරියට ගොස් ඇත. එහෙත් අචාර ධාර්මිකව සිදු නොවිය යුතු දේවල් ඉදිරියේදී වලක්වා ගැනීමට අපි මේ දේවල් සංවාදයට බඳුන් කළ යුතුය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...