උතුරු මැද බහුතරය ආණ්ඩුව එක්ක | දිනමිණ

උතුරු මැද බහුතරය ආණ්ඩුව එක්ක

උතුරු මැද පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක,පරිසර, සමාජ සුබසාධන හා පළාත්
කටයුතු අමාත්‍ය එම්. හේරත් බණ්ඩා

අමාත්‍යධූරවල වෙනස්කම් සිදුවීමත් සමඟ උතුරු මැද පළාත් සභාවේ දේශපාලනය උණුසුම් වී තිබේ. බල හුවමාරුවක් බලාපොරොත්තුවෙන් පිරිසක් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාට පෙත්සමක්ද ඉදිරිපත් කළ නමුත් එය පිළිගැනීම ආණ්ඩුකාරවරයා විසින් ප්‍රතික්ෂේප කෙරිණි. එසේම ඉන් පසුවද පළාත් සභාවේ ඇමැති තනතුරු කිහිපයක් වෙනස් වූ තත්ත්වයක් තුළ පළාතේ දේශපාලන වාතාවරණය පිළිබඳ කතා බහ කිරීමට උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය පිරිවැය හා ළමාරක්ෂක, පරිසර, සමාජ සුබසාධන සහ පළාත් කටයුතු අමාත්‍යවරයා වශයෙන් පත්වීම් ලැබ සිටින එම්. හේරත් බණ්ඩා අද මැති හමුවට එක්වේ.

උතුරු මැද පළාතේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා රක්ෂක,පරිසර, සමාජ සුබසාධන හා පළාත් කටයුතු අමාත්‍ය තනතුර ලැබීමට ඔබට සුදුසුකම් නැතැයි ඇතැමුන් ප්‍රකාශ කරනවා නේද?.

එහෙම මත දරන ඇතැමුන් ඉන්නවා. නමුත් ඒ බහුතරය නොවේ.උතුරු මැද පළාත් සභාවෙ ඉන්න මන්ත්‍රීවරුන් අතරින් උපාධිධාරී උගතුන් ඉන්නෙ තුන්දෙනයි. පේෂල මහ ඇමැතිතුමා,සේමසිංහ ඇමැතිතුමා සහ මම. රාජ්‍ය සේවයේ විධායක තනතුරු දරමින් අවුරුදු විසි හතරක් සේවය කළ මම පළාත් සභා ජන්ද තුනකින් ජයග්‍රහණය කළා. ඒ නිසා මේ තනතුර දැරීමට පළාත් සභාවේ සිටින එකම සුදුස්සා මමයි.

කිසිදු දෝෂාභියෝගයක් හෝ චෝදනාවක් නොමැතිව හිටපු අමාත්‍යවරයාගෙන් මෙම තනතුර අහෝසි කොට ඔබට ලබා දීම නීති විරෝධී බව තවත් මතයක්?

නීති විරෝධීයි යන ප්‍රකාශය වැරදියි. මෙය ආණ්ඩුකාරවරයා, ජනාධිපතිතුමා හා පක්ෂය විසින් ගනු ලැබූ තීන්දුවක්. ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවේ තනතුරු දරමින් සිටින ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එතුමන් විසින් ගන්නා තීන්දුවලට එකඟව කටයුතු නොකිරීමයි මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ.

උතුරුමැද පළාත් සභාවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ බවත්, ඉදිරියේ දී ඒකාබද්ධ විපක්ෂය උතුරුමැද පළාතේ බලය අල්ලාගන්නා බවත් ප්‍රකාශ කරනවා. මේ පිළිබඳ ඔබේ මතය කෙබඳු ද?

බහුතර මන්ත්‍රී සංඛ්‍යාව ඒකාබද්ධ විපක්ෂයේ කියන කතාවෙ යම් සත්‍යතාවක් තිබුණත් සමස්ත පළාත් සභාවේ බහුතරය ආණ්ඩුවට සහාය දක්වනවා. ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන අනුව ඔය කියන ආකාරයේ බලය අල්ලා ගැනීමකට ඉඩක් නෑ. දේශපාලනයෙන් පරාජය වන අවස්ථාවක ඔවැනි කතා කියන එක සාමාන්‍ය ස්වභාවයක්. ඒකාබද්ධ විපක්ෂය බලය අල්ල ගන්නවා යැයි කියන්නේ හිටපු මහ ඇමැති රංජිත් ට මහ ඇමැතිකම දීමටයි. ඒ අයගේ අරමුණ මහින්දවාදීන් බලයට පත් කිරීම.

පසුගිය පළාත් සභා මැතිවරණයේ දී ප්‍රථම ස්ථානය තිබියදී වෙනත් අයකුට මහ ඇමැතිකම ලබා දුන්නා යැයි චෝදනාවකුත් තියනවා නේද?එය දේශපාලනික වරදක් බව ඔබ සිතන්නේ නැද්ද?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටිය දී පවා පළාතෙ වැඩිම මනාප ගත් කෙනාට මහ ඇමැතිකම ලැබුණෙ නෑ. මනාප මගින් සුදුසු මන්ත්‍රීවරු තෝරාගන ඒ අතුරින් ඇමැතිකමක් ලබා දීමට සුදුස්සා අධ්‍යාපනය, පළපුරුද්ද වැනි සුදුසුකම් මතයි තෝරා ගනු ලබන්නෙ. එනිසා එය වැඩිම මනාප ගත්ත කෙනාට අහිමි වෙන්න පුළුවන්. ඒ වගේම මෙතෙක් ඉතිහාසයේ ඇමැතිකම් ලබාදීම යන කාරණය සාධාරණ වෙලා නෑ. රටේ දේශපාලනය දූෂිත වෙන්න 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රබලව බලපෑ බවයි මගේ පුද්ගලික මතය.

ඔබ කියන දේශපාලන දුර්භාග්‍යය ජය ගැනීමට විකල්පයක් ඔබ යෝජනා කරනවා ද?

දැනටමත් ආණ්ඩුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මනාප ක්‍රමය වෙනුවට කේවල ජන්ද ක්‍රමය යෝජනා කොට තිබෙනවා. එම ක්‍රමය පළාත් සභා ජන්දය පැවැත් වීමේදීත් භාවිතා කරන්නේ නම් එය මේ ගැටලුවට හොඳ පිළිතුරක් වේවි. මනාප ජන්ද ක්‍රමයේ දී මනාප හා මුදල් වියදම් කිරීම අතර අනුලෝම සම්බන්ධතාවක් පවතිනවා. මෙහිදී මුදල ඉදිරියට එනවා. සුදුස්සාට උගතාට නිසි තැන අහිමි වනවා . නමුත් කේවල ක්‍රමයේදී සුදුස්සාට පමණයි හිමි තැන ලැබෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ සංවිධායකයින් ඉවත් කිරීම ඉදිරියේදී පක්ෂයේ පරාජය වීමට හේතුවක් බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

පරණ ද අලුත් ද කියල ප්‍රශ්නයක් නෑ. සිරිමාවෝ මැතිනියගෙ කාලෙ එතුමිය පක්ෂයේ නායිකාව හැටියටත් චන්ද්‍රිකා මැතිනියගෙ කාලෙ එතුමිය පක්ෂයේ නායිකාව හැටියටත් මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාලෙ එතුමා පක්ෂයේ නායකයා හැටියටත් අපි පිළිගත්ත. දැන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂයේ නායකත්වය දරනවා.

යහපාලන ආණ්ඩුවත් එක්ක ගමන් කරද්දි අඩු පාඩු හදාගෙන එක මතයකට එන්න මෛත්‍රිපාල ජනාධිපතිතුමා ආණ්ඩුවේ සියලු දෙනාට අවස්ථාව දුන්නා. දිගින් දිගටම පක්ෂ නායකත්වය සමග ගැටෙනව නම් තීන්දුවලට එකගතාවක් නැත්නම් මෙවැනි තීරණයක් එතුමා ගත්ත එක වැරැද්දක් නොවේ. මම නම් හිතන්නෙ එතුමා එම තීරණය ගන්න පරක්කු වුණා වැඩියි කියලයි.

පළාත් සභා මැතිවරණය ළඟ ළඟ එන නිසා ලැබුණු අමාත්‍ය ධූරය හෙබවීමට ඔබට ලොකු කාලයක් ලැබෙන්නේ නෑ නේද?

මගේ ජීවිතයේ ස්වභාවය වැඩ කරන එක දවස හරි උපරිමයෙන් වැඩ කිරීමයි. ඒ නිසා මැතිවරණය අදද හෙටද කියන එක මට වැදගත් නෑ ලැබෙන කාලයෙන් ජනතාවට උපරිම සේවයක් කරනවා.

ඒක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා මහ ඇමැතිවරයාට විරුද්ධව දිවුරුම් ප්‍රකාශයක් උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයාට ලබා දුන්නත් ආණ්ඩුකාරවරයා එය ප්‍රතික්ෂේප කළා. දිවුරුම් ප්‍රකාශයක් ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධි බව ඇතැමුන් පවසනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

දිවුරුම් ප්‍රකාශය බාර නොගැනීම එතුමාගෙ තීරණයක්. එය නීති විරෝධී බව යම් කෙනෙක් ප්‍රකාශ කරනවා නම් ඊට විරුද්ධව නීතිමය පියවර ගන්න පුළුවන්

පසුගියදා හිටපු පළාත් සභා ඇමැතිවරු තුන්දෙනෙක්ගේ ඇමැති ධුර අහෝසි කරල අලුත් ඇමැතිවරු පත් කළා. ඇමැති ධූරයන්ට පත්කළ නව ඇමැතිවරු වත්මන් මහ ඇමැතිවරයා ඉවත් කරන්නැයි දිවුරුම් පෙත්සමට අත්සන් කළ අය. එවැනි තත්ත්වයදී මහඇමැතිවරයාට අකමැති කණ්ඩායමේ තිදෙනකුට ඇමැතිකම් දීම පිළිබඳ කතා කළොත්?

මේ අය එම දිවුරුම් පෙත්සමට අස්සන් කොට තිබුණේ එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරමු යන යෝජනාව මතයි. ආණ්ඩු පක්ෂයෙ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් වත්මන් ජනාධිපතිතුමන්ට අනුකූලයි. තවත් කොටසක් අනුකූලත්වයක් දක්වන්නේ නෑ. කණ්ඩායමක් විදියට කටයුතු කළත් මහ ඇමැතිවරයා ඉවත් කිරීමේ අරමුණ මෙම මන්ත්‍රීවරු දැනගෙන ඇත්තේ පසුවයි. ඔවුන් පවසන්නේ මෙතෙක් මහ ඇමැතිධූර දැරූවන් අතරින් වත්මන් මහ ඇමැතිවරයා කොන්ද කෙලින් තියාගෙන මන්ත්‍රීවරුන් වෙනුවෙන් කටයුතු කරන අයෙක් බව හා ඔහුට විරුද්ධව නොයන බවයි.

මේ ආකාරයෙන් ඇමාත්‍යවවරුන් වෙනස් කරමින් පළාත් සභාවේ බල පෙරළියක් කිරීමේ අරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ශක්තියට පහර ගැසීම ද?

මෛත්‍රිපාල සිරිසේන මහත්තය ජනාධිපති ධූරය බාරගත් දා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට පත් වූදා සිට දිගින් දිගටම මේ ඇමැතිවරුන්ගේ ක්‍රියා කලාපය බලාගෙන හිටියා. ජනාධිපතිවරයා හෑල්ලුවට ලක් කිරීම, ආණ්ඩුවෙ ඇමැතිවරු හැටියට හිඳිමින් ආණ්ඩුවට විරුද්ධව යම් යම් අවස්ථාවලදී කටයුතු කිරීම ඒ අතර තිබුණ. උතුරු මැද පළාතේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා රක්ෂක,පරිසර, සමාජ සුබසාධන හා පළාත් කටයුතු පිළිබඳ හිටපු ඇමැති නන්දසේන මහත්තයා දැවැන්ත ව්‍යාපෘතියක් වන මල්වතු ඔය ව්‍යාපෘතියට එරෙහිව තුන් හාර දහසක් එක්ක පාරට බහින බව පවසමින් විරුද්ධව කටයුතු කළා.

නමුත් වත්මන් ජනාධිපතිතුමා පක්ෂයක් හැටියට එක්කාසු වෙලා වැඩ කරගෙන යන්න අවස්ථාව ලබා දුන්නා.පක්ෂයේ මැයි රැලිය නුවර පවත්වද්දි ඇතැමුන් ගෝල්ෆේස් ගියා. මැයි රැලි දෙක තුන එහෙම අවස්ථාව දුන්නා. ජනාධිපතිතුමාගෙ අනුකම්පාවත් අවස්ථාව දීමේ සංකල්පයත් මේ අය දැක්කෙ එතුමාට තීරණ ගන්න බෑ කියලයි. අද ඔවුන්ට අත්වෙලා තියෙන ඉරණම ඔවුන්ගේම කල්ක්‍රියාව නිසා සිදු වූ දෙයක්.

උතුරුමැද පළාතෙ දැවෙන වකුගඩු ප්‍රශ්නය මර්දනය කරන්න ඔබ ගන්නා පියවර කවරේ ද?

පැවැති රජයත් මේ රජයත් වකුගඩු ප්‍රශ්නයට පියවර ගෙන තිබුණත් ඇතැම් රෝහල්වලට සම්පත් බෙදීයාමේ විෂමතාවක් පවතිනවා. මේ තත්ත්වය වැඩිදුර අධයනය කරමින් අවශ්‍ය පියවර මා කඩිනමින් ගන්නවා.

දේශීය ආයුර්වේදයට අවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් ගැටලු පවතිනවා. මේ පිළිබඳ කතා කළොත්?

පැහැදිලිවම මේ කාරණයේ දී සෘජු මැදිහත් වීමක් කිරීමට මා බලාපොරොත්තු වනවා. දැනට ආයුර්වේද වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ බොහොමයක් ඉන්දියාවෙන් ගෙන්වනවා. ඉදිරියේ දී මෙම ඖෂධ වගී ප්‍රදේශයේ ගොවිජනතාවගේ මැදිහත් වීමෙන් වගා කිරීමට බලාපොරොත්තු වෙනවා.

සටහන හා ජායා
නිලූකා ඩී තිලකරත්න


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...