රුපියල් මි. 700ක වියදමින් පළාත් ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනය ඇරැඹේ | දිනමිණ

රුපියල් මි. 700ක වියදමින් පළාත් ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනය ඇරැඹේ

ප්‍රින්ස් ගුණසේකර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීමෙන් ක්‍රීඩා ඇමැති නීතීඥ දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව ඉදි කෙරෙන වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණයේ සංවර්ධන කටයුතු බිංගිරිය මහජන ක්‍රීඩාංගණයේදී පසුගියදා ආරම්භ විය.

පළමු අදියර යටතේ රුපියල් මිලියන 512ක වියදමක් දරමින් ඉදිවන මේ පළාත් ක්‍රීඩා සංකීර්ණයේ සියළු වැඩ නිම කිරීම සඳහා රුපියල් මිලියන 700 ක් පමණ වැය වනු ඇතැයි ගණන් බලා තිබේ. මෙය ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් වයඹ පළාතට ලැබෙන දැවැන්ත ව්‍යාපෘතියකි.

පළාත් මට්ටමින් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ඉදි කිරීමට යෝජිත වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණය මගින් ග්‍රාමීය දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සඳහා පුහුණු අවස්ථා උදා කිරීම අරමුණු කෙරේ.

රුපියල් මිලියන 85 ක වියදමින් ඉදිවන මීටර් 50ක් දිග, මීටර් 20 පළල පිහිණුම් තටාකය සහ නරඹන්නන් 500 කට ප්‍රමාණවත් ප්‍රේක්ෂකාගාරය, රුපියල් මිලියන 175 ක වියදමින් ඉදිවන නරඹන්නන් 1000 කට අසුන්ගත හැකි ගෘහස්ථ ක්‍රීඩාගාරය, රුපියල් මිලියන 65 ක වියදමින් ඉදිවන නරඹන්නන් 350 කට අසුන්ගත හැකි ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය, මීටර් 400 කෘත්‍රීම ධාවන පථය හා ක්‍රීඩා පිටිය (සියළුම ජවන හා පිටිය ක්‍රීඩා සඳහා), මීටර් 200 ක පුහුණු ධාවන පථය පළමු අදියරේදී නිම කෙරෙන අතර දෙවැනි අදියර යටතේ ක්‍රීඩකයන් 400කට පමණ නවාතැන් ගත හැකි නේවාසිකාගාරය හා පුහුණුකරුවන්ට වෙනම නේවාසිකාගාරයක් ඉදිකිරීමට යෝජිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර, වයඹ පළාත් ක්‍රීඩා ඇමැති සන්ධ්‍ය කුමාර රාජපක්ෂ, වයඹ පළාත් ප්‍රධාන ඇමැති ධර්මසිරි දසනායක, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක ඇතුළු වයඹ පළාතේ මැති ඇමතිතුමන්ලාගේ සහ ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ එච්.එම්.එම්.හාරිස් මහතාගේ සහභාගීත්වයෙන් මේ ක්‍රීඩා සංකීර්ණයේ කටයුතු ආරම්භය කිරීම සිදු විය. 

නව අදහස දක්වන්න