පළමු කාර්තුවේ දී සෙලාන් බැංකුව ප්‍රශං­ස­නීය වර්ධ­න­යක් වාර්තා කරයි | දිනමිණ

පළමු කාර්තුවේ දී සෙලාන් බැංකුව ප්‍රශං­ස­නීය වර්ධ­න­යක් වාර්තා කරයි

සෙලාන් බැංකුව 2017 වසර සඳහා ස්ථාවර ආරම්භයක් සනිටුහන් කරමින් පළමු කාර්තුවේ දී රුපියල් මිලියන 866 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. අවිනිශ්චිත වෙළෙඳපොළ තත්ත්වයන් යටතේ පවා මේ වර්ධනය අත්පත් කර ගැනීම කැපී පෙනෙන කරුණකි. බැංකුවේ ශුද්ධ පොළී ආදායම මේ වකවානුව තුළ දී 20.97% ක ශක්තිමත් වර්ධනයක් ලබා තිබෙන අතර අරමුදල් සඳහා පිරිවැය ඉහළ යන වාතාවරණයක දී මේ ආදායම ඉහළ නංවා ගැනීමට හැකිවීම සුවිශේෂි තත්ත්වයකි. කෙසේ වෙතත් ශුද්ධ පොළී ආන්තිකය 2016 දී අගය වූ 4.19% සිට 2017 පළමු කාර්තුවේ දී 3.92% ක අගය දක්වා අඩු වීම ණය යළි මිලකරණයට සාපේක්ෂව වඩා වේගයකින් තැන්පතු පිරිවැය ඉහළ යාම නිසා සිදුවූවකි.

ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 2017 පළමු කාර්තුවේ දී රුපියල් මිලියන 869 ක් ලෙසින් වාර්තා වන අතර, පසුගිය වර්ෂයේ මේ කාලපරිච්ඡේදයේ අදාළ අගය වූ රුපියල් මිලියන 695 හා සැසඳීමේ දී එය 24.94% ක වර්ධනයකි. මේ කාර්තුවේ දී ශක්තිමත් වර්ධනයකට සාක්ෂි දරන මේ වටිනාකම කාඩ් සම්බන්ධ ආදායම්, වෙළෙඳ මූල්‍ය ආශ්‍රිත ගාස්තු ආදායම්, ඇප පත්‍රවලින් ලද ආදායම් හා ප්‍රේෂණ ආදායම් ආදියෙන් සමන්විත වේ. මේ අතර බැංකුව තවදුරටත් සිය ගාස්තු පදනම් කරගත් ආදායම් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙහි දී හර (Debit) හා ණය (Credit) කාඩ්පත් සහ වෙළෙඳ ආශ්‍රිත සේවාවන් වැඩි දියුණු කිරීමට පියවර ගැනේ.

බැංකුව වාර්තා කළ වෙනත් මෙහෙයුම් ආදායම් වෙළෙඳ කටයුතුවලින් ලද ලාභ, මූල්‍ය ආයෝජනවලින් ලද ලාභ, විදේශ විනිමයවලින් ලද ලාභ හා අනෙකුත් ආදායම්වලින් වාර්තා වූ අතර 2016 පළමු කාර්තුවේ දී මේවා තුළින් වාර්තා වූ රුපියල් මිලියන 68ක අලාභය හා සැසඳීමේ දී 2017 පළමු කාර්තුවේ දී රුපියල් මිලියන 299 ක ශුද්ධ ආදායමක් එමඟින් අත්පත් කර ගැනීමට බැංකුව සමත් වී තිබේ.

නව අදහස දක්වන්න