පාල­මක් ඕනෑ | දිනමිණ

පාල­මක් ඕනෑ

බණ්ඩි රාල

මායියාගේ නියෝග පරිදි හාල් කිලෝවකුයි, සීනි දෙසිය පනහකුයි, මිරිස් කුඩු සීයකුයි අරන් මං පාර පැන්නා. පාරෙන් එහා පැත්තේ ‘එට්කා බලෙන් පටවන්න එපා‘ කියලා පෝස්ටර් දෙක තුනක් අලවලා තිබ්බා. පාරෙන් මෙහා පැත්තට ඇවිත් පෙට්ටි කඩේ ජෙමා දැකලා හිටගත්තා.

“හරි වැඩේනෙ බණ්ඩි රාල. අර පෝස්ටර් අලවපු දෙන්නෙක් මේ දැන් පොලීසියෙන් අරන් ගියා නොවැ“ ජෙමා කීවා. “ඈහ්“ මං ආයෙම පාරෙ එහා පැත්ත බැලුවා. පොස්ටර්වල පාප්ප ටිකවත් තාම වේළිලා නැති විත්තිය ටිකක් පරික්ෂාවෙන් බැලුවම පේනවා.

“මේවා තහනම් පෝස්ටර්ද? ජෙමා අහන්නෙ බයෙන් ගැහී ගැහී. මනුස්සයා ඒ සිදුවීම දැක්කත් කියන්න කෙනෙක් නැතිව මෙච්චර වෙලා බලා හිටපු විත්තිය නම් මට තේරුම් ගියා. පොස්ටර් තහනම් වෙච්චි යුගයක්, පොස්ටර් වලින්ම ආණ්ඩුවට යුද ප්‍රකාශ කරපු යුගයක් ගැන මතකයක් ජෙමාට තිබුණා. කොටින්ම කියනවානම් ජෙමාගේ බයට සාධාරණ හේතු තිබුණා. මං ඉතිං යමක් දන්නා කියන මිනිහෙක් හැටියට වටේ ලෝකෙ ප්‍රසිද්ධ නිසාත්, ජෙමාගේ කරුණු කීමට මොකක් හරි ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් නොමනා නිසාත් මාත් එක්ක එකට විස්ස විජ්ජාලේ හිටපු පොලිස් යාළුවකුට ඇමතුමක් ගත්තා.

“ඕක ගණන් ගන්න දෙයක් නෙවෙයි. මෝදි උන්නැහේ ආවනෙ. ඕවා දැක්කම අපේකමට හරි නෑනේ. ඔය දෙන්න ටික වෙලාවක් තියාගෙන ඉඳලා නිදහස් කරාවි“ පොලිස් යාළුවා කීවා. මං ඉතිං දන්න සිංහලෙන් කරුණු කියලා ජෙමාගෙ හිතත් හදලා එන්න හැරුණත් මෝදි අගමැතිතුමාගෙ පැමිණීමත්, අපේ ඇතැමුන්ගේ විරෝධයත් ගැන නොහිතා ඉන්න බැරිවුණා.

අපි කැමති වුණත් නැතත් අපි ඉන්නේ ඉන්දියාව කියන මහා රටක මිදුලේ හූනු බිජ්ජක් තරම්වත් නැති දූපතක. වටේම මුහුද. පුංචි කාලෙ ඉඳන් අපේ හිත්වලට කාවද්දන්නේ අපි මාරයි කියලා. කොටින්ම කියනවානම් ‘ලෝකෙන් උතුම් රට ලංකාවයි‘ කියලා. ‘අපිට ස්වාධීනව නැඟී සිටින්න පුළුවන්‘ කියලා සමහර මැටි මෝල් දේශපාලුවෝ කෙප්ප ටොන් ගාණට කියලා දැම්මත්, ඒ ලණුව ගිලින හැට හුට හමාරක් උන් හිටියත් දැන් දැන් ‘අපේ‘ කියලා උස්සගෙන යන හැමදේමත් ඔය මුහුදෙන් එහායින් ආපුවා. ඒවායෙ ඉතිහාසය බැලුවම එක්කො අසල්වැසි ඉන්දියාව. නැත්නම් යුරෝපය. අපේ ජාතිය උන්ගෙ. අපේ ආගම උන්ගෙ. අපේ සංස්කෘතිය උන්ගෙ. අපි කන-බොන, අඳින - පලඳින, හැසිරෙන විදිහ උන්ගෙ. අපි කතා කරන භාෂාව උන්ගෙ. කොටින්ම කියනවනම් අපි උන්ගෙ. මට අපි පොඩි එකා කීව කතාවක් මතක් වුණා.

“අප්පච්චි, ඉන්දියන්කාරයෙක් මේ ඊයෙ පෙරේදා ඔය එක එක විදිහට ප්‍රදර්ශනය කරනවයි කියපු ධාතු බලන්න ගිහින්. මිනිහට කියලා තියෙනවා ධාතු පෙන්නන්න සල්ලි දීලා ටිකට් එකක් ගන්න ඕන කියලා. මිනිහා අනික් පැත්ත හැරිලා හයියෙන්ම කැඩිච්චි සිංහලෙන් මෙහෙම කීවලු. ‘යකෝ බුදුන් කියන්නෙ අපේ මිනිහා. තොපිලා ඒ මනුස්සයගේ කෑලි විකුණගෙන කනවා මදිවට අපේ මිනිහ බලන්න අපි ආවම අපෙනුත් සල්ලි ඉල්ලනවා“ කියලා.

මේ කතාවට එක හෙළාම හැමෝටම හිනා ගිහින්. ඒත් ඉතිං පස්සෙ ටිකක් කල්පනා කරලා බැලුවම ඒ මනුස්සයා කියලා තියෙන දේ ලේසියෙන් අහක දාන්නත් බෑ. තමන්ගේ ම කලාපයේ හූනු බිජ්ජක් වත් තරම් නැති මේ දූපතේ මිනිස්සු තමන්ගෙ තරමට වඩා ඉදිමෙන්න ගියාම ඉන්දියාවට කේන්ති යන එක අහන්නත් දෙයක්ද? දේශප්‍රේමිත්වය, දේශාභිමානය තියෙන්න ඕන. ඒත් ඕනම මිනිහකුට තමන් කවුද කියන ගැන නියම තක්සේරුවක් තියෙන්න ඕන. එහෙම නොතිබුණොත් වෙන්නේ ඕනවට වඩා පිම්බෙන්න ගිහින් පිපිරිලා මැරුණු ගෙම්බට වෙච්චි දේමයි.

“දැන් අර ගිය අවුරුද්දෙ ඉන්දියාවේ ඇම්බියුලන්ස් ගේන කොට සද්දෙ දාපු කට්ටිය කීවේ මෙහේ අයට රස්සා නැති වෙනවා. අපේ ටැක්සි සේවය අඩපණ වෙනවා කියලා. නිකන් දෙන දෙයක්වත් ගන්න පිං නැති උන්. දැන් මොකද වෙලා තියෙන්නෙ ඔය දුප්පත් මිනිහකුට තමන්ගෙ ලෙඩා ඉස්පිරිතාලෙට ගෙනියන්න හදිසියකට කතා කරන්න තියෙන්නෙ 1990 විතරයි නේද? දවසක් වැලි අමරේ කඩේ ළඟදි කීවා. ඇත්තම කියනවානම් ඌටත් උගෙ බිරියට අමාරු වෙච්චි වෙලාවෙ එයාව කොළඹ මහ ඉස්පිරිතාලෙට ගෙනියන්න උදව්වට ඇවිත් තිබ්බෙ ඉන්දියාවෙ ඇම්බියුලන්ස් එකක්.

“මෝදි කීවෙ අර ඇම්බියුලන්ස් සේවය රට පුරාම ක්‍රියාත්මක කරනවා කියලා“ ගෙදරට ගොඩවෙද්දි මායියා එහෙම කීවේ රේඩියෝ එකේ හවස ප්‍රවෘත්තිවලට කීව දෙයක්.

“ඇයි අර වතුකරයේ හදනවා කීව ගෙවල් දෙදාහ වෙනුවට තමන්ගෙ රටේ වියදමෙන් ගෙවල් දහ දාහක් හදලා දෙනවා කියලත් කීවා“ මායියා කියනවා. ‘අපි ඉතිං හොඳ දේ හොඳයි කියන්න එපායැ“ මගෙන් පිළිතුරක් නැති තැන එයා ආයෙමත් කියනවා. මං ඉතිං ඔළුව වනලා එකඟතාව පළ කෙරුවා. දූපත්වල ඉන්නකොට ඔහොම තමයි. වටේම වතුර මිසක් මිනිස්සු නෑ නොවැ. මිනිස්සු හිටියනම් ආශ්‍රය කරන්න තිබ්බා. එහෙම වුණානම් ටිකක්වත් වෙනස් වෙන්න තිබ්බා. මට ‘හනුමා පාලම‘ මතක් වුණා.

“හනුමා නෙවෙයි බන් හැලිවඳුරා වුණත් කමක් නෑ. පාලමක් බැරි නම් ඒදණ්ඩක් දාලා හරි මේ දූපත මිනිස් වාසයකට සම්බන්ධ කරනවා නම් ලෝකෙත් එක්ක මීට වඩා සම්බන්ධයක් හැදෙයි“ මං මායියට කීවා. මායියා හිනාවෙලා ඔළුව වැනුවා. ඉතිං මේ අදහසේ අපි දෙන්නා විතරක් හිටියට වැඩක් තියෙනවයැ. එහෙම හිතුණම මං ආයෙම පරල වුණා. 

නව අදහස දක්වන්න