පඹ ගාලක කඹ ඇදීම

කමල් පෙරේරා

ශ්‍රී ලංකාවේ දේශපාලකයන් වැඩි දෙනෙක් රටට වඩා තමන්ගේ බඩගෝස්තරය ගැන විතරක් හිතන උදවිය බව නැවත නැවතත් මතක් කරන්න සිද්ධ වී තිබෙනවා. ඊට දිය හැකි අලුත්ම නිදර්ශනය තමා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ ලංකා සංචාරය පිළිබඳව විපක්ෂයේ උදවිය පහුගිය දවස්වල හැසුරුණු ආකාරය. ආණ්ඩුව නිල වශයෙන් කළ ප්‍රකාශවලට අනුව මැයි මාසේ 11වෙනිදා මෝදි ලංකාවට පැමිණියේ ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා හැටියටයි. මෝදිගේ මේ චාරිකාව ගැන ආරංචි වුණ මොහොතේ පටන් විපක්ෂයේ සමහර දේශපාලනඥයන් හැසිරෙන්නට පටන් ගත්තේ භූමිතෙල් තැවරුණු ගැරඬියන් විදිහට බව නම් අපූරුවට පෙනුණා. මේකට ප්‍රධාන හේතුව වුණේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ආශ්‍රිතව මතු වුණ විරෝධතාව බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මෝදිට විරුද්ධව කළුකොඩි ඔසවන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කරපු ප්‍රකාශය විපක්ෂයේ වෛරක්කාරි හා බඩගෝස්තරවාදී දේශපාලනය මූර්තිමත් කර පෙන් වූ අවස්ථාව හැටියට සලකන්න පුළුවන්. විපක්ෂය කියන විදිහට ජාත්‍යන්තර වෙසක් උත්සවයට මුවා වෙලා මෝදි ලංකාවට ආවේ තෙල් ටැංකි ගනුදෙනුුව අහවරක් කර ගන්නයි.

මෝදි ලංකාවේ ගත කළ පැය 24කටත් අඩු කාලය ඇතුළත තෙල් ටැංකි ගිවිසුම අත්සන් කළාද නැද්ද කියා මේ ලිපිය ලියන මොහොත වන තුරු අපට වාර්තා වී නැහැ. හැබැයි මෝදිගේ කෙටි ලංකා චාරිකාවේ න්‍යාය පත්තරේට ඇතුළත් නොවී තිබුණු විශේෂාංගයක් නම් සිද්ධ වුණු බව දැන් මුළු ලෝකෙම දන්නවා. එනම් මෝදි - මහින්ද හමුවත් ජනාධිපති මැඳුරේ පැවැති රාත්‍රී භෝජනයෙන් පස්සේ 11දා රාත්‍රියේම පැවැත්වුණ බවයි. මාධ්‍ය වාර්තා කර තිබුණ අන්දමට එහිදී මහින්ද මෝදිට කළ ස්තුතියක් ගැනත් තොරතුරු හෙළි වී තිබුණා. මහා කොමසාරිස් තරංජිත් සිං සන්දු කියා තිබුණේ ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු හා තවදුරටත් ලබා දෙන සහාය පිළිබඳව මහින්ද මෝදිට ස්තූතිවන්ත වූ බවයි.

මහින්ද, මෝදි හමුවේ කළ මේ ප්‍රකාශනය විමල්ගේ කළුකොඩි කතාවට ගහපු කණේ පාරක් බව දේශපාලනයේ අයන්න කියවපු අයකුට වුණත් තේරෙනවා. විමල් කරපු කළුකොඩි කතාව ගැන මාධ්‍යවේදීන් පහුගිය දවසක මහින්දගෙන් ප්‍රශ්න කරපු වෙලාවේ මහින්ද ප්‍රශ්නෙන් ලිස්සලා ගිය හැටි හොඳටම පෙනුණා.‘ඒක වැරදි විදිහට අර්ථකථනය කරලා’ කියලයි මහින්ද ගොඩින් බේරුණේ. බාගෙ වෙලාවට විමල්ගේ කතාව ගැන ඉන්දියානු අගමැතිගෙන් සමාව භජනය කරගන්නත් මහින්ද මේ හදිසි හමුව අවස්ථාවක් කරගත්තා වෙන්න පුළුවන්. ‘අනේ සැර් ඔය කජුකිරි කොල්ලෝ කියන ඒවා ගණන් ගන්න එපා’ කියලා මහින්ද පරණ යාළු මිත්‍රකම් එහෙමත් අලුත් කර ගන්න ඇති. කොහොම වුණත් ලංකාවේ ආණ්ඩු කරපු හා අනාගතයේ නැවතත් ආණ්ඩු කරන්න බලන් ඉන්න කිසිම දේශපාලන නායකයකුට ඉන්දියාව තරහා කරගෙන රට පාලනය කරන්න බැරි බව විමල්ලාට ගම්මන්පිලලාට නොතේරුණාට මහින්දට හොඳට වැටහෙනවා. ඒක හංදා තව වෙසක් පෝය දෙකකින් ආණ්ඩුවක් පිහිටුවන්න හිතාගෙන ඉන්න මහින්ද කොහොමටවත් මෝදිලාව අමනාප කරගන්නේ නැහැ.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල ඇත්ත කතාව ජනතාවට තේරෙන භාෂාවකින් කියා දෙන්න පුළුවන් දක්ෂ කථිකයෙක් ආණ්ඩු පක්ෂය පැත්තෙන් ඉදිරිපත් නොවීමත් විමල්ලා වගේ උදවියට කටට එන ඕනාම මුසාවක් ජනගත කිරීමට ලොකු රුකුලක් වෙලා තියෙන බවත් මතක් කර දෙන්න ඕනා. මේ ගැන හොඳින් කරුණු කාරන දන්න මැති ඇමතිවරු ආණ්ඩුව ඇතුළේ හිටියත් යථා තත්ත්වය පැහැදිලි කර දෙන්න ඒ අය ඉදිරිපත් නොවන්නේ මන්ද කියන එකත් ප්‍රශ්නයක්. මේ නිහඬත්වයත් අර මුලින් කියපු විපක්ෂ දේශපාලනඥයන්ට වැළඳී තිබෙන බඩගෝස්තරවාදී දේශපාලනයේම තවත් පැතිකඩක්ද කියා සොයා බලන්න වටිනවා.

පළවෙනි ලෝක යුද්දෙ කාලේ බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකෙරුණු ටැංකි 101කින් යුත් මේ සංකීර්ණය සැලකෙන්නේ ආසියාවේ ලොකුම තෙල් පර්යන්තය හැටියටයි.

බණ්ඩාරනායක අගමැතිවරයා මේක ලංකාවට පවරා ගත්තේ සුද්දන්ට ලොකු වන්දියක් ගෙවලයි. 1987දී ජනාධිපති ජේ. ආර්. රජීව් එක්ක ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ වෙලාවේ ‘ඉන්දියාව හැර වෙනත් කිසිම රටක් සමඟ මේ ටැංකි සංකීර්ණය පිළිබඳව ගනුදෙනුවක් නොකරන’ බවට සහතික වී තිබෙන බව විපක්ෂයේ මෙන්ම ආණ්ඩුවේ දේශපාලනඥයන් බොහෝ දෙනෙක් දන්නවා. ඊට පස්සේ 2003දී සටන් විරාම ගිවිසුමේදී මේ ටැංකි සමූහය වසර 37කට ඉන්දියන් තෙල් සමාගමට බදු දී තිබෙන එකත් රහසක් නෙවේ.

එමගින් හැම වසරකම ඩොලර් ලක්ෂයක් ලංකාවට බදු ආදායමක් වශයෙන් ලැබෙනවා. විමල් වීරවංශ අමාත්‍ය ධුරයක් හොබවපු ආණ්ඩුව පැවැති කාලයෙත් මේ ආදායම නොකඩවා රජයට ලැබී තිබෙන බවත් මෙහිදී මතක් කරන්න වටිනවා. ටැංකි ඔක්කොම බදු අරන් 14ක් විතරක් පාවිච්චි කළත් ඒ සමාගම හැම ආණ්ඩුවකටම වසරකට ඩොලර් ලක්ෂය බැගින් ගෙවා තිබෙන බවත් අමතක කරන්න නරකයි. ඒ අනුව ඉතිරි ටැංකි දවසින් දවස විනාශ මුඛයට පත් වෙමින් තිබෙන පසුබිමක තමා දැන් අලුත් ගිවිසුමක් ගැන කතාබහක් කරළියට ඇවිත් තිබෙන්නේ.

මුලින් ටැංකි 101ක් තිබුණත් I වන ලෝක යුද්දෙදි ටැංකි 2ක් විනාශ වුණාට පස්සේ වැඩකට ගතහැකි තත්ත්වයේ පැවතුණේ ටැංකි 99ක් පමණයි. දැන් ඒවා අතරිනුත් ටැංක් 85ක් දිගු කාලයක් තිස්සේ භාවිත නොකර තිබීම හේතුවෙන් පූර්ණ අලුත්වැඩියාවක් කළ යුතුව තිබෙනවා. මේ ගැටලුවට විසඳුමක් වශයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන වැඩපිළිවෙළ පුළුල් සාකච්ඡාවකට ලක් කළ හොත් රටේ බහුතරයක් ජනයා ඊට කැමැත්ත පළ කරනු ඇතැයි කියා මධ්‍යස්ථ මතධාරින් විශ්වාසය පළ කරනවා. මොකද මේ වෙලාවේ හැටියට ගත හැකි ප්‍රායෝගික විසඳුම එය බවයි ඔවුන් පවසන්නේ.

වාර්තා වන හැටියට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන යෝජනාව වන්නේ දැනට ඉන්දියන් තෙල් සමාගමට බදු දී තිබෙන ටැංකි එසේම තිබියදී තව ටැංකි 10ක් ඛනිජ තෙල් සංස්ථාවටත් ඉතිරි ටැංකි 74 ඉන්දු ලංකා හවුල් ව්‍යාපාරයක් වශයෙනුත් පවත්වාගෙන යාමයි. ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක වන සෙසු ජාත්‍යන්තර ගිවිසුම් එක්ක සසඳා බලන කල මෙහි රටට අහිතකර බරපතළ කොන්දේසි දකින්න නොලැබෙන බවයි අර කලින් කී මතධාරීන්ගේ අදහස වී තිබෙන්නේ.

ඉන්දියාව හා චීනය කියන දැවැන්තයන් දෙදෙනාම අපි වගේ පුංචි රටක ඉදිරි ගමනට අත්‍යාවශ්‍ය සාධක දෙකක් නිසා ජාත්‍යන්තර ගනුදෙනුවලදී මේ දෙදෙනාගේම හොඳ හිත රැකගැනීම මෛත්‍රී හෝ මහින්ද හෝ වෙනත් නායකයෙක් හෝ ආණ්ඩු බලය දැරුවත් නොතකා හැරිය නොහැකි කොන්දේසියක් වෙනවා. ඉන්දියාව සමස්ත කලාපයටම ප්‍රයෝජන ගත හැකි ‘මංගල්යාන්’ චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කරන විට චීනය එහි මෙතෙක් නිෂ්පාදනය කළ විශාලතම මගී ගුවන් යානයේ මංගල ගුවන් චාරිකාව සාර්ථකව නිමා කළා. කලාපීය බලවතුන් වශයෙන් ඉන්දියාව හා චීනය ඉදිරි දශකය තුළ ආර්ථික විද්‍යා හා තාක්ෂණ ඇතුළු හැම ක්ෂේ‍ත්‍රයකම දිගු ගමනක් යාම කිසිවකුටත් වළක්වන්න බැහැ. එහෙව් පසුබිමක් මත ආර්ථික අර්බුදයේ ප්‍රපාතය කරා ගමන් කරමින් සිටින අපි වගේ පුංචි රටක් කළ යුත්තේ කුමක්ද? අපේ ඉතිහාසයේ පරණ පම්පෝරිය නැවත් නැවතත් වාදනය කරමින් ‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’ තියරියම ක්‍රියාවට නැඟීමද?

තව ටික කලක් රටේ දැවෙන ප්‍රශ්න ගැන මේ විදිහට දේශපාලන පඹගාලක පැටලී දෙපැත්තට කඹ ඇද ඇද ඉන්න ගියොත් සිද්ධ වෙන්නේ ‘ආසියාවේ ලොකුම තෙල් ටැංකි සංකීර්ණයේ උරුමක්කරුවෝ අපි වෙමු’ කියා බෝඩ් ලෑල්ලක් ගසා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ඒ ටික පැවරීම පමණක් විය හැකියි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...