යුද්ධය සහ ගැහැ­නිය

හිමාලි එන්. ලියනගේ

ශ්‍රී ලංකාවේ වසර විසි පහක් ඉක්මවා පැවැති යුද්ධයේ හිංසාව මට පළමුවරට දැනෙද්දී මගේ වයස කීයක්දැයි මම නොදනිමි. නමුත් එවිට මා ළදැරියක් බවත්, මගේ ඥාතී සොයුරිය සමඟ උඩුකය වැසීමටවත් නොවෙහෙසී තැන තැන දුවමින්, බත් කූරන් අල්ලන්නට වැර දරමින්, නිදි කුම්බා කොළ නිදා වැටෙණු නැවත නැඟිටිනු වරු ගණන් මුර කරමින්, මේ දැන් ඇමදූ වැලි මිදුල් වැහෙන තෙක් කකුළේ මහපට ඇඟිල්ලත් විළුඹත් මානයට ගනිමින් හරි රවුම් අඳිමින් දවසක් ගෙවා කෙළවර, කොටුව නගරයට ගිය මගේ ලොකු අම්මා අපේක්ෂිත වේලාවට ගෙදර නොපැමිණි දාක මට යුද්ධය, දුක, බිය, සාංකාව ගෙනෙන බව ගැන පළවෙනි වතාවට දැනුණි.

ආණ්ඩුවේ රස්සාවලින් දිගු නිවාඩු ගෙන මැද පෙරදිග රැකියාවකට ගිය ඇගේ සැමියා එවූ චෙක්පත මුදල් කරන්නට ගිය මගේ ලොකු අම්මා එදින ගෙදර එන්නට පමා වෙද්දී, අප බලා ගත් ආච්චී අසල්වැසියන් සමඟ කළ කතා බහට සවන් දීමෙන් එදා කොටි, යුද්දේ, ආර්මි, කපනවා, කොටනවා, දෙමළු, ආණ්ඩුව වැනි නොයෙකුත් වචන මගේ මනසේ තැන්පත් විය. බියෙන් තැති ගැන් වී ඈ එදා බොහෝ පමා වී ගෙදර පැමිණියේ 1983 ජූලි කලබල නිසාවෙන්ද නො එසේ නම් කොටුව බස් නැවැතුම් පොළේ පිපුරූ බෝම්බය නිසා ද නැතිනම් වෙනත් සිද්ධියක් නිසාද යන්න මට හරියටම මතක නැත. නමුත් පමා වී හෝ පැමිණි ඈ මා විවාහපත්වන තුරුත්, මගේ දරුවන් දැකීමට තරම් කල් ජීවත් වූ බව මම සතුටින් සිහි කරමි.

එදා කුඩා දැරියක වූ මම, මගේ ජීවිතයේ මා සොයා ගත යුතු කාලය යුද්ධය ගැනම අසමින් සාංකාවෙන් ගෙවා දැමුවෙමි. කිසි දිනෙක නිම නොවෙතැයි සිතූ යුද්ධය නිමා වෙද්දී වඩා යහපත් දිවි පෙවෙතක් වෙනුවෙන් පිටරටකට සංක්‍රමණය වූ දෙදරු මවක් වීමී. ඔබට මා අහිමි නොවෙන්නට ඇත. නමුත් අවංකවම මට මා අහිමි විය. ශ්‍රී ලංකාවේ ඒ කාලයේ වූ අස්ථාවරය උඩ කිසි දිනෙක රටින් පිට නොවුණු/වුණු නමුත් තමන්ට තමන් අහිමි වූ ගැහැනු කෙතරම් වේ ද/ වී ද? ඔබ මඳක් නැවතී සිතා බලා ඇති ද? කම්කරු දිනයත්, අම්මාවරුන්ගේ දිනයත්, වෙසක් මංගල්‍යත්, බිහිසුණු දිගු යුද්ධයක නිමාවත් සිහි කෙරෙන මැයි මස මට ඒ ගැන ඔබෙන් විමසන්නට සිතේ.

දෙස, බස, රැස සුරැකීම පරම යුතුකම ලෙස සැලකි පවුල් පසුබිමකින් එන මා මාපිය දෙපසින්ම අධික කුල මානයකින් ඇති දඩි වූ කෙනෙකි. නමුත් මගේ පියාට පින් සිදු වෙන්නට මනුෂ්‍යත්වය මේ යැයි වටහා ගන්නට මට අවස්ථාවක් ලැබුණි. යුද්ධයෙන් පීඩා විඳි තාත්තා දෙමළ මිනිසුන්ගේ සිතුම් පැතුම් ගැන ලියැවුණු දේ කියවන්නට මා පෙළඹවීය. බුද්ධිමත් වීම, දැනුම, දක්ෂතාව නිසා පැහැර ගැනීමට ලක් වූ දෙමළ දොස්තර, ඉංජිනේරු සහ අනෙක් වෘත්තිකයන් ගැන ලියවුණු පළ නොවුණු, සුදු කඩදාසි මත යතුරු ලියනය වූ කෙටිකතා, කවි තාත්තා කොහෙන් සොයා ගත්තාදැයි මම නොදනිමි. ළමා සොල්දාදුවන් කරවනු පිණිස ඇකයෙන් දරුවන් උදුරා ගියේ යැයි විළාප නඟමින් දෙමළ අම්මාවරුන් නඟනා විලාපය ගැන ලියවුණු කවි, කතා ඒවා අතර විය. යුද්ධයට එරෙහි යුද්ධයක් මිස වෙන යුද්ධයක් මිහිපිට නොවිය යුතු බව මම තේරුම් ගතිමි.

ඒත් තවමත් යුද්ධයෙන් දරුවන් අහිමි වූ අම්මාවරුන්, බිරියන් සොයුරියන්ගේ විලාපය මැද වැඩුණු මට ශ්‍රී ලාංකික ගැහැනියට යුද්ධය නිසා වූ බලපෑම තේරුම් ගැනීමට බැරි තරම් බලවත්ය. දරු ගැබට මාස කිහිපයක් පිරෙද්දී ජීවිතය අහිමි වූ සොල්දාදුවකුගේ බිරියකට දරුවා උස් මහත් කරගැනීමට උදව්වක් ලෙස මා ආධාරයක් කරන්නේ හැඟීම යටපත් කරමින්ය. මට ඔවුන්ගේ ශක්තිය වටහා ගැනීමට ශක්තියක් නැත. තමන්ගේ රටක් වෙනුවෙන් යුද්ධයට එකතු වූ දෙමළ ත්‍රස්තවාදියකුගේ පවුලක මවක්, දරුවෙක්, බිරියක් හෝ සටන්කාමී ගැහැනු සෙබළියකගේ ශක්තිය පවා තේරුම් ගැනීමට මට නොහැකිය.

පසු කලෙක හුදෙක් විනෝදය පිණිස අමෙරිකානු සහ යුරෝපීය ඉතිහාසය ගැන අධ්‍යයනයක යෙදුණු මට දෙවන ලෝක යුද්ධයේ දී අමෙරිකානු සහ අනෙක් යුරෝපීය ගැහැනුන්ට වූ බලපෑම තේරුම් ගැනීම වෙනුවට ඒ ගැහැනුන් විසින් දෙවන ලෝක යුද්ධය මත කළ බලපෑම මම පිටස්තරයකු ලෙස තදින් වටහා ගන්න උත්සාහ කළෙමි.

ඒ අධ්‍යයනයේ දී, ඒ ගැහැනු නොමැති වී නම් කිසි දිනෙක දෙවන ලෝක යුද්ධයේදි හිට්ලර් නමැති මිනීමරුවා පැරදවීමට කිසි කෙනකුට නොහැකි වෙනු ඇති බව මම තදින් අවබෝධ කර ගතිමි. ඒ හැම මොහොතකම මට මගේ ශ්‍රී ලාංකික ගැහැනු සිහිවීම වළක්වාගනු නොහැකි වීමද සැබෑවකි.

අවුරුදු විසි පහකට වඩා කාලයක් රටක් යුද වදිද්දී අප ගෙවල සුරැකූ අම්මවරුන්ගෙන් පටන්ගෙන, රටේ නොයෙකුත් වෘත්තීන්වලට නොබියව එළඹි කාන්තාවන් සේම, ජාතියක් ජන්මයක් නොබලා මුළු රටටම කන්නට අඳින්නට දුන් ඇඟළුම් කම්හල් සේවිකාවන්, මැද පෙරදිග ගෘහ සේවිකාවන් නිසා අප සුරැකුණු බව අපට අමතක කළ හැකිද? යුද්ධය වටා වූ ජීවිතවල, සිංහල, දෙමළ, මුස්ලිම් ගැහැනියට කීමට ඇති කතාවේ නම්, ගම්, ආගම් යම් යම් සිද්ධීන් වෙනස් වෙන්නට ඉඩ ඇත. නමුත් සත්‍ය නම් එකම හඬකින් ඉදිරිපත් වීමය. ඒ අහිමි වීමේ හඬය.

මම දෙමළ ත්‍රස්තවාදී සටන්කාමිණියක වූ තමිළිනි ජෙයක්කුමාරන්ගේ ‘තියුණු අසිපතක සෙවණ යට’ කතාව කියවමින් නැවත කියවමින් යුද්ධය හා කෙළින්ම බැඳි දෙමළ ගැහැනියකගේ අධ්‍යාත්මය වටහාගන්නට උත්සාහ කළෙමි. ඇගේ කතාව කියවන්නැයි කී, මගේ තාත්තා ට පසු මට මනුස්සකම හඳුනා ගැනීමට යොමු කළ මා දැන සිටි කෙනකුට ඉත සිතින් කෘතඥ පූර්වක වෙමි.

සිංහල රණවිරුවන් විසින් රචිත යුද්ධය හා සබැඳි කතාවල ශ්‍රී ලාංකික ගැහැනිය හා බටහිර ගැහැනියක අතර කිසිම වෙනසක් මා දකින්නේ නැත. ඔවුන් එක ලෙස ප්‍රේමයන් සහ ශක්තියෙන් අපිරිමිතය. නැවත යුද නොවැදී ඔවුන් සිත නොරිදවීම ඔබ සතුය. යුද්ධය නිමා වී වසර අටකට එළඹීම අසිරිමත්ය. සාමයේ කතාව, පණිවිඩය එකිනෙකා ගෙන් එකිනෙකාට වෙනස් වෙන්නට ඉඩ ඇත. නමුත් අපට ජාතියක්, ජම්මයක්, ආගමක් වෙනුවෙන් යුද වැදීමට තවත් ඕනෑද?


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...