අයිස් ක්‍රීම්

බන්දුල පී දයා­රත්න

වෙසක් බලන්නට ගිය ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් පාර අයිනේ බංකුවක හිඳ ගත්තේ මහන්සිය යන්නටය.

“ඇම්බන් මහත්තයාට මොකද හිතෙන්නේ වෙසක් ගැන...?” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“වෙසක් කියන්නේ එක්සත් ජාතීන් විසින් පිළිගත් අන්තර්ජාතික ආගමික වැඩසටහනක් නේ... ඒක හොඳයි මං හිතන්නේ..” කියා ඇම්බන් මහත්තයා කීවේය.

“එතකොට ඇම්බන් මහත්තයා මේ දන්සලුත් එක්සත් ජාතීන් විසින් පිළිගත් අන්තර්ජාතික ආගමික වැඩසටහනක්ද?” කියා උන්නැහේ ඇසුවේය.

ඇම්බන් මහත්තයාත් ටොම්සන් මහත්තයාත් එකිනෙකාගේ මුහුණු බැලුවේ කුමක් කියන්නටදැයි එක් වර සිතා ගත නොහැකිවය.

“හොඳ ප්‍රශ්නයක් තමයි... අපි කවුරුවත් ඒ ගැන කල්පනා කළේ නෑ නේ... අනික ආණ්ඩුවෙන් වුණත් ඒ ගැන ප්‍රකාශයක් කරලා නැහැ... දන්සල් අන්තර්ජාතික වෙසක් වැඩසටහනක්ද කියලා.. හැබැයි වෙසක් සැරසිලි එක්ක හරි හරියට දන්සලුත් තිබුණා...” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“ඒක නම් මොකක්ද ටොම්සන් මහත්තයා... අපට හම්බු වුණු දන්සල්වලින් දෙකක් ඇර අනික් ඔක්කොම අයිස් ක්‍රීම් දන්සල් නේ... බෙලි මල් දන්සල් දෙකක් තිබුණා... එච්චරයි.. ”

“හරි ඉතින් අපි අයිස් ක්‍රීම් කෑවේ නෑනේ... අපි ඔය බෙලිමල් කෝප්ප දෙකක් බිව්වා විතරයි නේ.. ඒක කොහොමත් ඇඟට හොඳයි... අර කිව්වත් වගේ උන්නැහේ කියන කතාවත් ඇත්ත තමයි. මොකද මං දැක්කා පුංචි ළමයි වාගේ ඔය වයසක සීයලා ආච්චිලා හිටං රස කර කර අයිස් ක්‍රීම් කකා පාර දිගේ යනවා... කවදාවත් අයිස් ක්‍රීම් කාලා නෑ වගේ...” කියා ඇම්බන් මහත්තයා කීවේය.

“නෑ.. එහෙම නෙවෙයි.. නිකං හම්බ වෙන එක නේ.. නිකං දෙනවා නං ඔය ඩෙංගු වුණත් හොඳයි කියලා හිතන අයනේ... ඔය ලොකු කාර්වල යන අයත් වාහන නවත්තලා අයිස් ක්‍රීම් අරන් කෑවා.. දැක්කේ නැද්ද? කාලා නැතිවාට නෙවෙයි.. නිකං හම්බු වෙන එක නේ. ඒකේ පොඩි ජොලියක් තියෙනවා... ඒකයි..‘’

“එතකොට බත් දන්සල් එච්චර තිබුණේ නැත්තේ මොකද?... ඔය කොළඹින් පිට ඉඳලා එන අයට බත් ටිකක් දෙන එකනේ ලොකුම දානය...” කියා උන්නැහේ ඇසුවේය.

“තිබුණා.. තිබුණා... නැතුවාම නෙවෙයි.. ඒ වුණාට ඒවායේ බත් බෙදුවේ ඔය පොලිතීන් කොලවලට නේ... එතකොට මේ වෙසක් දවස් ටිකට පොලිතින් කොල විතරක් කී දාහක් පරිසරයට එකතු වෙන්න ඇතිද? ඒ විතරක් නෙවෙයි ඔය බීම වර්ග දෙන්න පාවිච්චි කරපු ප්ලාස්ටික් කෝප්ප.. මොකද ඒවා ආයෙත් පාවිච්චි කරනවාද? නෑ නේ...” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“මට නං හිතෙන්නේ අපේ රටේ උදවිය හරිම පුදුම අය කියලා.. මොකද? හැම විනාසයක්ම වෙලා ඉවර වුණාට පස්සේ තමයි ඒක තේරෙන්නේ... කල් ඇතිව තේරෙන ජනයාත් නෑ... නිලධාරීනුත් නෑ.. බලධාරීනුත් නෑ... හරිම අවාසනාවක් තමයි... ’ කියා උන්නැහේ කීවේ බොහොම පශ්චාත්තාප වෙමිනි.

“ඒ මොකද උන්නැහේ එහෙම කියන්නේ...?”

“නෑ ඉතින් ටොම්සන් මහත්තයා මේකනේ... දැන් බලන්ඩ... ලවක් දෙවක් නැතිව හැම දෙනාටම අයිස් ක්‍රීම් කවනවා... එහෙන් පොලිතීන් කොළ බත් පිඟාන්වලට එලනවා.. එහෙන් ප්ලාස්ටික් කෝප්පවල බීම දීලා ඒවා විසි කරනවා... එතකොට මේවා හරි වැඩද?”

“උන්නැහේ කියන කතාව ඇත්ත තමයි.. මේ එකක්වත් හරි වැඩ නෙවෙයිනේ.. ඒ වුණාට ඒවා කරන්නේ හරි වැඩ කියලා හිතා ගෙන..” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“මට නං හිතෙන්නේ ටොම්සන් මහත්තයා... ඔය දන්සල් ලියා පදිංචි කරන ක්‍රමයක් තියෙන්න ඕනෑ.. මොනවාද දන්සල්වල දෙන්නේ කියලා තීරණය කරන්න ඕනෑ සෞඛ්‍ය බලධාරීන්... මේවා තනිකරම සෞඛ්‍ය ප්‍රශ්න... කවුරු හරි කියනවා නම් අපි දෙන්නේ අයිස් ක්‍රීම්.. අපිට මඤ්ඤොක්කා දෙන්න බෑ කියලා... එහෙනං දන්සල් නොදී නිකං ඉන්න එකයි ඇත්තේ... එච්චරයි... දන්සල් දෙන්න කැමති අය අයදුම් කරලා බලපත්‍රයක් ගන්න ඕනෑ කියලා ක්‍රමයක් දාන්න බැරිද? මේක අමාරු දෙයක් නෙවෙයි... මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයදුම් පතක් ඉදිරිපත් කරලා බලපත්‍රයක් ගන්න එකයි තියෙන්නේ. එතකොට ඒකේ නියම කරන්න පුළුවන්.. පොලිතින් කොළ පාවිච්චි කරන්න බෑ... ප්ලාස්ටික් කෝප්ප පාවිච්චි කරන්න බෑ... ආදි වශයෙන්.. එතකොට මේවා නියාමනය වෙනවා... ”

“මට මෙතන ප්‍රශ්නයක් පැන නඟිනවා ටොම්සන් මහත්තයා.. දැන් බලන්ඩ ඉස්කෝලවල බෝඩ් ගහනවා සුදුසු සංවරශීලී ඇඳුමක් ඇඳ ගෙන එන්න කියලා... දැන් සමහර පන්සල්වලත් එහෙම බෝඩ් ගහලා තියෙනවා... එතකොට ඔය වාහනවල යනකොට ජංගම දුරකථන පාවිච්චි කරන්න එපා කියලා හැම තැනම බෝඩ් ගහලා තියෙනවා.. මත්පැන් පානය කරලා වාහන පදවන්න එපා කියලත් බෝඩ් ගහලා තියෙනවා.. එතකොට දැන් මේ දන්සල් දෙන එක ගැනත් බලපත්‍ර ගන්න සිද්ද වෙනවා.. මේකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතෙනවා..”

“මේකේ තියෙන ප්‍රශ්නේ තමයි උන්නැහේ.. මේ රටේ ජනයාට තමන්ගේ යුතුකම් හා වගකීම් ගැන දැනුමක්, අවබෝධයක්, චර්යාවක් නැතිකම... ඒ වුණාට මාධ්‍ය පිරිලා... වැහි වැහැලැ... මේ සැරේ මාධ්‍යවල ප්‍රධාන වෙළෙඳ භාණ්ඩය තමයි වෙසක්... දැන් බලන්ඩ සමහර වෙසක් කලාපවල ලොකු බැනර් දාලා තිබුණේ රූපවාහිනී නාලිකාවල... තවත් සමහර තැන්වල වෙසක් සංකල්පයම තමන්ගේ වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කර ගෙන.. තව සමහර මාධ්‍ය උදේ ඉඳන් මර ළතෝනි දෙනවා අර පන්සලට එන්න.. මේ පන්සලට එන්න කියලා.. කිසිම ලැජ්ජාවක්.. හිරිකිතයක් නෑ.. වෙළෙඳ ව්‍යාපාරවලට මාධ්‍ය අනුග්‍රහය දක්වන එකෙත් ආගමික වැඩසටහන්වලට මාධ්‍ය අනුග්‍රහය දක්වන එකෙත් වෙනසක් නෑ.... ඉතින් මේවාටත් ඉදිරියේදී යම් නියාමනයක් කරන්න වෙයි.. මේවා ඔක්කොම වෙන මොකක්වත් නෙවෙයි.. සමාජ අඥානකමේ ප්‍රතිඵල...

“ඒ කියන්නේ සාමාන්‍ය මහජනතාව ගැනද?” කියා උන්නැහේ ඇසුවේය.

“නෑ... හැමෝම ගැන.. මේවාට දායක වෙන.. උපදෙස් දෙන.. සම්මාදම් වෙන.. හසුරුවන.. හැමෝම ගැන.. ඒ වුණාට වැඩක් නෑ නේ...” කියා ටොම්සන් මහත්තයා හුන් තැනින් නැඟිට්ටේය.

“ඒ මොකද ටොම්සන් මහත්තයා වැඩක් නැත්තේ..” කියමින් උන්නැහේද නැඟිට්ටේය.

“නෑ.. ඉතින් මේ ඔක්කොම තව දවස් දෙක තුනකින් අමතකයි නේ.. ආයෙත් පොසොන් පෝයටත් වෙන්නේ ඔය ටිකම තමයි.. හැම දෙයක්ම ඉක්මනට අමතක වෙනවා.. එහෙම වුණාද? මෙහෙම වුණාද? කියලා කාටවත් මතක නෑ.. අපි යමු...” කියමින් ටොම්සන් මහත්තයා නැවතත් ගමන් ආරම්භ කළේය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...