කර­පිංචා කැඳ

බක් මස උණුසුම විඳදරා ගැනීම මේ සා අසීරු වනු ඇතැයි අපි අපේක්ෂා නොකළෙමු. ජීවිතය මහා සංග්‍රාමයක් කොටගත් මිනිසුන් හට අධික උණුසුම පීඩාකාරී බව අමුතුවෙන් කිව යුතු ද? ගහකොළ පවා ගල් ගැසුණ ගානය. හරියට ගලින් හෝ දැවයෙන් කළාක් මෙනි. අතු පතර සලිත කරවන හීන් සුළං පොදක් හෝ හමන්නේ නැත.

“ඉවසන්න බෑ අම්මා රස්නෙ...” දරුවන්ගේ මැසිවිලි සිනාවකින් ඉවසමි.

“වැඩිපුර වතුර බොන්න. හොඳට නාන්න”

වැඩිපුර වතුර බීම කෙසේ වෙතත් හොඳට නාන්නට නම් මේ කොල්ලෝ ඉතා හොඳින් වගබලා ගනිති.

පැණිකොමඩු වැඩි වැඩියෙන් කපා දෙන්නට මම අමතක නොකළෙමි. මැටි කළයේ වතුර ඉතා ඉක්මනින් අවසන් වෙයි. පිල්ටර් ප්‍රිය නොකරන මම මැටි කළයම ප්‍රිය කරමි. ඒ තුළ සිහිල් ජලය පවස සන්සිඳුවා සිරුරේ දැවිල්ල තුනී කර දමයි.

“හැම තිස්සෙම රස්නෙයි, රස්නෙයි කිය කියා ඒ ගැනම හිතන්න එපා...” මම මොහොතකට මනෝ වෛද්‍යවරියක වෙමි.

“අපි මෙහෙ තැම්බි තැම්බි ඉද්දි තාත්තා අරෙහෙ කලා ඔය ළඟට වෙලා කූල් එකේ ඇති” මද්දු තවම ගෙදර නොආ පියා සිහි කළේය.

“තාත්තා නැතිව පාළුයි අම්මේ...” බඩපිස්සා නහයෙන් හඬයි.

“මට නම් තාත්තා නැතිව බයයි. හොරු ආවොත් එහෙම” පුංචි පුතා දෑස අයා ගනිමින් ඇත්තම කීවේය.

“තාත්තලා විතරක් නෙමේ අම්මලත් නැති ළමයි ඉන්නවා ඕන තරම් මේ ලෝකෙ...” යි මම වැඩි තැකීමක් නොකර කීවෙමි.

“අනේ අම්මා ඔයා රට ලෝකෙ ගැනම කතා කරන්න එපා. ජාත්‍යන්තර මානවවාදියෙක් වෙන්න කලින් තමුන්ගෙ ගෙදර තමුන්ගෙ පවුල ගැන හිතන්න.”

දෙවැන්නාගේ මුවඟ සුපුරුදු සැහැල්ලු සිනාව අතුරුදන් වී ඇත්තේය.

“මම මට පුළුවන් උපරිම දේ කරනවනෙ පොඩී...” මම අසරණ බැල්මක් හෙළමි.

“නෑ... නෑ... ඔයා ගියේ නෑනේ තාත්තව බලන්න... ගිහිං වැඳලා හරි තමුන්ගෙ ‍ස්වාමිපුරුෂයාව එක්කරගෙන එන්න ඕන නේද දරුවො පස්දෙනෙක්ගෙ අම්මෙක් වුණාම...”

“පහක් නෙමේ දහයක් හිටියත් මම යන්නෙ නෑ... මම කිසිම වරදක් කරලා නෑනේ... මම මොකටද යන්නෙ...?” මම මගේ ගැටවර පුත්‍රයා සමඟ වාද කරමි.

“අයියෝ අම්මා... හොඳම සෙබළු වුණත් සමහර වෙලාවල පහු බහිනවා... ඒක ඒ සෙබළුන්ගෙ දුර්වලකමක් නෙමේ. ඒක එක්තරා සටන් උපක්‍රමයක්”

“මේක මේ යුදබිමක කරන සටනක්, යුද්ධයක් නෙමේනේ පොඩී. මේක ඇවිල්ලා පවුල් සංස්ථාව. ආයතන කොහොමත් දූෂිතයි... වංචා සහගතයි”

“අම්මලා තාත්තලා රණ්ඩු කරන්න හොඳ නෑ... ඒක ළමයින්ට කරන දරුණු අසාධාරණයක්...”

මා බලාපොරොත්තු නොවූ පරිද්දෙන් මද්දු ද කතා කළේය.

“හරි... මම ද දැන් හැමදේටම වැරදිකාරයා...?” මම කෝපයෙන් ද ශෝකයෙන් ද ප්‍රශ්න කරමි.

“අම්මා... මේ අහන්නකෝ... අම්මා ගෑනියෙක්... තාත්තා පිරිමියෙක්. ඉතිං ඔයාට සෙකන්ඩ් වෙන්නම වෙනවා” පොඩි පුතා මා ප්‍රියකරන සරදම් සිනාව සමඟ කියා සිටියේය.

“ඒක හරි කතාවක්නෙ. ඕවට කියන්නෙ බමුණු මත කියලා. ආපෝ මේ තරුණ ළමයි හරිම පසුගාමියි... සම්ප්‍රදායිකයි...” මම ඔහු නොව ඔහු දරන අදහස් හෙළා දුටුවෙමි.

“ඒ කියන්නෙ මේ අසරණ අහිංසක ළමයි පස්දෙනා වෙනුවෙන්වත් ඔයාට ඔය හිතුවක්කාරකම මුරණ්ඩුකම අතාරින්ඩ බෑ...?”

යෞවන දෙනෙත නැඟී අභියෝගාත්මක බැල්මෙන් සසල වූ මම නිහඬ වීමි.

“මොකද අම්මා වෙන්නෙ ගිහිල්ලා තාත්තට ගෙදර එන්න අඬගැහුවම...?” මද්දු ප්‍රශ්න කළේ නොරුස්නා හඬිනි.

“මම එයාට යන්ඩ කිව්වෙත් නෑනේ...” යි මම පරාජිත හඬින් කොඳුළෙමි.

“ඇති ඇති... ඔයාගොල්ලො අම්මට වද දෙන්න එපා... ආ තාත්තා ආවා” බඩපිස්සා ගෙනා ආරංචියෙන් ප්‍රමුදිත වූ කොල්ලෝ ජයඝෝෂාව සිරකර ගත්හ.

“සද්ද නැතිව ඉන්න ඕන. තාත්තාගේ මූඩ් එක කොහොමද දන්නෑනේ...” දෙවැන්නා අවවාද කළේය.

“කරපිංචා කැඳ ටිකක්වත් හදන්න අම්මා... තාත්තා ආසයිනෙ කරපිංචා කැඳ බොන්න...” මද්දුගේ යෝජනාව නරක නැතැයි මට සිතිණ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...