වෙසක් මිහිර

 මහා­නාම දුනු­මාල

මෙවර වෙසක් පුන් පොහෝදා මම කොහේවත් නොගොස් ගෙදරට ම වී සිටියෙමි. සාමාන්‍යයෙන් වෙසක් දවස මිනිසුන් ගෙදරට වී සිටින දවසක් නො වේ. උහු එදාට ඇවිදින්න යති. මෝටර් රථ, වෑන්රථ, ත්‍රිරෝද රථ පමණක් නොව ලොරි රථ හා අත් ට්‍රැක්ටර්වල ද නැඟී වෙසක් දින දහවලේ ම මිනිස්සු රංචු පිටින් ඇවිදින්න යති. වෙසක් පොහොය දින රාත්‍රියේ වෙසක් තොරණ නරඹන්නට යන පිරිස අඩු ය.

(ඒ ගමන් යෙදෙන්නේ පෝය දිනට පසු දිනවල ය.) වෙසක් දින දහවලේ පිරිස් රංචු ගැසී ගමන් කරන්නේ දන්සල් වඳින්නට ය. කොටින් ම කීවොත් බැතිමත් ජනයා පින්තකා පිරිනමන ආහාරපාන කා බී, ඒ බැතිමතුන් රැස් කරන කුසල් සඳහා දායකවන්නට ය. (සමහර මිනිසුන් ගමන් කරන ලොරි තට්ටු, අත් ට්‍රැක්ටර් ආදියේ නිවෙසේ සුරතලයට ඇති කරන පපියා, ටොමියා, ජිමියා වැනි නම්වලින් හැඳින්වෙන සුනඛ සුරතලුන් ද ගමන් කරනු මා දැක ඇත.) වෙසක් දින මා නිවෙසට වී සිටියත් අලුත් පරපුර නියෝජනය කරන මගේ හා මගේ සහෝදරියගේ පුතුන් ඔවුන්ගේ යහළුවන් සමඟ මෝටර් රථවලින් ගොස් දහවලේ සිට දන්සල් වැඳගෙන රෑ බෝවන විට ආපසු පැමිණියහ.

වෙසක් දින නිවසට වී සිටියත් මම පසුදා අපට ආසන්න නගරයට ගියෙමි. කිට්ටුම නගරයට අපේ ගෙදර සිට දුර කිලෝමීටර 8 කි. (සැතපුම් 5 කි.) වෙසක් පෝය දිනට පසු දින වුවත් ඒ දුර ප්‍රමාණයට බත් දන්සල් පහක් තිබිණි. නගරයේ පොලිසිය අසල ම පොලිසිය මගින් සංවිධානය කළ විශාල බත් දන්සලකි. (පොලිසිය මෙවන් කටයුතු මඟින් මහජන සම්බන්ධතාව ඇති කර ගැනීම පැසසුම් කටයුතු ය.) ඒ ඉදිරිපසින් අනෙක් පැත්තේ හිම කිරම (Ice Cream) දන්සලකි. අතරමඟ එක් පන්සලක තිබුණේ සාමාන්‍ය දන්සලක් නො වේ. දන්සල් කලාපයකි. (මා එහි නොගියත් ආරංචි කරගත් ආකාරයට එහි දන්සල් ගණනාවකි. බත් දන්සල, රොටී දන්සල, ආප්ප දන්සල, ඉඳි ආප්ප දන්සල, බෙලිමල් දන්සල, පලතුරු දන්සල ආදී දන්සල් ගණනාවක් එහි වී ලු. බැතිමතුන්ට රිසි ආහාර පානාදියෙන් සප්පායම් විය හැකි ලු.)

කාලයකට පෙර සිටි අපේ වැඩිහිටි පරම්පරාවේ උදවිය අහල පහල දන්සල්වලින් සප්පායම් වීම නොකටයුත්තක් සේ සැලකූහ. ඔවුහු දන්සැල් කෑම බීම කෑවේ බීවේ අනුරාධපුරය වැනි දුර ඈත පෙදෙසක වන්දනාවේ ගිය විට පමණි. කාලයත් සමඟ ඒ ඇවතුම් පැවතුම් වෙනස් වී තිබේ. අද දන්සලක් අසල නවීන පන්නයේ මෝටර් රියක් නවත්වා දන්සල් පෝලිමට එක්වීම සාමාන්‍ය දෙයකි. වෙසක් දන්සලකින් ‍ආහාර ගැනීම අද සමාජමය අයිතමයක් බවට පත්ව තිබේ. දන්සල් දීම ද අද විනෝදමය සමාජ කටයුත්තකි. සාමාන්‍යයෙන් දන්සල් අතර ද තරගකාරිත්වයක් ඇති වෙයි.

ආසන්න දන්සලට වඩා ක්‍රමවත්ව, පිළිවෙළට හා රසට කෑම බීම සැපයීම කාගේත් අරමුණ බවට පත්ව තිබේ.

ප්‍රතිපත්ති පූජාව ඉහළින් තබා කතා කළත් හැකිතරම් ඉහළින් වෙසක් උත්සවය උත්සවශ්‍රීයෙන් අපේ බෞද්ධ සමාජයේ බොහෝ කලක පටන් පැවති පුරුද්දකි. මේ හේතුවෙන් අපේ වෙළඳ ප්‍රජාවගේ ද කරල පැහේ. අවුරුදු සමයේ රෙදි පිළි කඳු සමඟ හෙට්ටු කළ රෙදි පිළි වෙළෙඳ සමාජය අවුරුද්ද ගෙවී ගිය ගමන් වෙසක් උළෙලට යෝග්‍ය ගැහැනු, පිරිමි, ළමා සුදු ඇඳුම් සිය ප්‍රදර්ශනාගාර තුළ එල්ලා තැබූහ. වෙසක් කොඩි අලෙවිය ඊට අමතර කාරණයකි. දන්සල් සමය බැවින් කවර තත්ත්වයක් යටතේ වුව ද එළවළු මිල ඉහළ ය. දැන් දැන් දන්සල් පොසොන් සමයේ ද සුලබ වන බැවින් එළවළු මිල ජූනි මාසයේ ද පහත වැටෙන්නේ නො වේ. රබර් කිලෝව සඳහා ගෙවන්නේ රුපියල් තුන්සියයට අඩු මිලකි. ඔට්ටුපාලු මිල ඊට බෙහෙවින් පහළ ය. එහෙත් වෙසක් කූඩු සඳහා බටපොතු රාමු බැඳගන්නට ඔට්ටුපාලු මිලට ගන්නට ආ කොලුවන්ගෙන් ග්රෑම් 100ට රුපියල් 80 බැගින් අය කරන්නට ඇතැම් රබර් වෙළෙන්ඳෝ කටයුතු කළහ. කල දුටු කල වළ ඉහ ගැනීම අපේ ක්‍රම වේදයයි.

කොහොමටත් වෙසක් උළෙල ස්වයංරැකියා හා නව කර්මාන්ත බිහි කරන වකවානුවකි. අතීතයේ මෙන් බට කපා සුද්ද බුද්ද කර වෙසක් කූඩු හදන්නට නාගරීකරණය වූ සහ කාර්ය බහුල වූ සමාජයකට අසීරු බැවින් උණ හා බට පඳුරු පිටින් මහමඟ ගොඩගහ ගෙන වෙසක් කූඩු සාදා විකුණන පිරිස් සුලබව දැකිය හැක. අද නම් වෙසක් කූඩුවේ රාමුව ප්ලාස්ටික් වලින් සාදා පොලිතින් කවරවල බහා විකුණන්නට තිබේ. සීරියස් බල්බ් වැල් තනන අයට ද වෙසක් සුබ කාලයකි. තොරණ තනන විදුලි කාර්මිකයන්ට මෙන් ම සිත්තරුන්ට ද ඉවර පවර අඩු ය. (අතීතයේ දී නම් වෙසක් සමයේ තොටළඟ ආරියදාසගේ හපන්කම් කතාබහට ලක්වුණු බව වැඩිහිටියන්ට මතක ඇතිවාට සැක නැත.)

ලිපිය පළවන විට වෙසක් සමයේ අසිරිය ගෙවී යමින් පවතිනු ඇත. එහෙත් ඊළඟ වසරේ වෙසක් සමය එළඹෙන තෙක් ම වෙසක් මිහිර ඔබේ හදවත් තුළ ශේෂව පවතිනු නිසැක ය. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...