ඩෙංගු මර්දන කාර්ය සාධන බළකායට ජනපතිගෙන් හදිසි කැඳවීමක්... | දිනමිණ

ඩෙංගු මර්දන කාර්ය සාධන බළකායට ජනපතිගෙන් හදිසි කැඳවීමක්...

 හදිසියේම ඩෙංගු රෝගය ශීඝ්‍ර ලෙස ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සහ එම තත්ත්වය පාලනය කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධන බළකාය වහාම කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

ඒ අනුව අද (16) දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය ජනාධිපති කාර්යාලයේදී රැස්වීමට නියමිතයි.

2017 වසරේ මේ දක්වා (මැයි 15) මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 44,626 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සිදුවූ මරණ සංඛ්‍යාව 115ක්.

2014 වසරේදී ඩෙංගු රෝගීන් 47,246 ක් ද ඩෙංගු මරණ 97 ක් ද ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අතර එම තත්ත්වය 2015 වසරේදී රෝගීන් 29,777ක් සහ ඩෙංගු මරණ 60 දක්වා අඩුකර ගැනීමට සෞඛ්‍ය සහ රෝග නිවාරණ අංශ සමත්වුණා.

නැවතත් 2016 වසරේදී ඩෙංගු රෝගයේ වර්ධනයක් පෙන්නුම් කරමින් රෝගීන් 55,150 දක්වාත් මරණ සංඛ්‍යාව 90 දක්වාත් වර්ධනය වී තිබුණි.

එසේම රෝගීන් සහ මදුරු කීටයන් පිළිබඳ ආවේක්ෂණ දත්තවලට අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. මෙම බරපතළ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඩෙංගු ව්‍යාප්තිය උපරිම මට්ටමින් පාලනය කිරීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

නව අදහස දක්වන්න