අපේ දේ සැමට දෙන කෑගල්ලේ උදිතා | දිනමිණ

අපේ දේ සැමට දෙන කෑගල්ලේ උදිතා

“මම මුල් කාලේ රැකියාවක් කළා. ඊට පස්සේ මං ඒකෙන් අයින් වෙලා, මගේ ම කියලා වෘත්තියක් කරන්න හිතුවා. නිකරුණේ කාලය කා දමමින් ඉන්නවට වඩා, එම කාලය ප්‍රයෝජනවත් යමකට යෙදුවොත් හොඳයි කියන අදහසින් තමයි මං ඒ විදිහට කටයුතු කරන්න හිතුවෙ.”

රන් හා සමාන කාලය නිකරුණේ ගෙවා නොදමා, දිවි දිනන්නට වෙහෙසෙන ඇය, කෑගල්ලේ පදිංචි උදිතා සමරසිංහ ය. ඇය මෙලෙස සිය දිවි මඟ එකළු කර ගන්නට කටයුතු කරනු ලැබුවේ 2012 වර්ෂයේ දී ය.

“මම නිෂ්පාදනය කරන්නේ දේශීය ‍බෙහෙත් වර්ගවලින් සකසන පාන වර්ග. ඉස්සර එම පාන වර්ගවලට එතරම් ඉල්ලුමක් තිබුණේ නෑ. ඒත් දැන් විදේශිකයෝ පවා මගේ නිෂ්පාදනවලට දැඩි ලෙස ඇලුම් කරනවා. අපේ රටේ මිනිසුන්ට අපේ දේ අගය නැති වුණාට, විදේශීය මිනිසුන්ට අපේ දේ ගැන මනා අවබෝධයක් තියෙනවා. ඒ අය මේ නිෂ්පාදනවල අගය වටහාගෙන, ඒ කෙරෙහි ලොල් බවක් දක්වනවා. ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඒ ගැන මට තියෙන්නේ විශාල සතුටක්.

මම කුරුදු තේ, කරංපිංචා තේ, සේර තේ, ඉඟුරු තේ, මින්චි තේ වැනි දුර්ලභ ගණයේ තේ වර්ග නිෂ්පාදනය කරනවා. ඒ සෑම දෙයක්ම නිෂ්පාදනය කරන්නේ, දේශීය බෙහෙත් වර්ග යම් කිසි උෂ්ණත්වයකදී වියළීමට සලස්වලා, ඒවා කුඩු වැනි අමුද්‍රව්‍යකට පත් කිරීමෙනුයි. එම නිසා, මේ සෑම තේ වර්ගයක්ම පහසුවෙන් සාදා ගන්න පුළුවන්.” සිය නිෂ්පාදන පිළිබඳ ඇය පවසන්නේ එවැනි අදහසකි.

මැදි වියෙහි පසුවන කාන්තාවක වන උදිතා සතු නිර්මාණශීලී බව, සැබැවින්ම අද්විතීය වේ. සිතුවොත් කළ නොහැකි දෙයක් මෙලොව නැත යන්න, උදිතා තම අත්දැකීමෙන්ම පසක් කර පෙන්වා ඇත. ස්ථානෝචිත ප්‍රඥාව සහ දැනුම උපයෝගී කරගෙන, තම ස්වයං රැකියාව මඟින් වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට ඇය කටයුතු කර ඇති අන්දම අගය කළ යුතු ය. කිසිවකුට බරක් නොවී, සැමටම නිරෝගී දිවියක් අත් විඳීමට අවැසි මඟ සකසන මේ දිරිය දියණිය, විරැකියාව ගැන සිතමින් ජීවිතය පිළිබඳ නිශේධාත්මකව සිතන කතුන්ට ලැබ දෙන්නේ දිරියකි. ශක්තියකි. ආදර්ශයකි.

“මම මේ ස්වයං රැකියාව පටන් අරගත්ත මුල් අවුරුදු තුනේදී, බොහෝ සෙයින්ම පාඩු ලැබුවා. ඒකට හේතුව, මට මේ ක්ෂේත්‍රය පිළිබඳ එතරම් තේරුමක් නොතිබුණු නිසයි‍ . ඒත්, කාලය ගෙවී යද්දී සහ මම වයසින් මුහුකුරා යන විටදී, මගේ ස්වයං රැකියාව දියුණු කර ගන්නට හැකි වුණා.”

කුඩා දරුවකු වුව ද, ඉපදුණු විගස දෙපයින් සිට ගන්නේ නැත. එලෙසම, යම් පුද්ගලයකුට එක් දිනකින් ව්‍යාපාරිකයෙක් වීමට නොහැකි ය. උදිතා ප්‍රයෝගිකව සනාථ කර ඇත්තේ එය ය.

“මට මේ වෘත්තිය කරගෙන යාම සඳහා මගේ පවුලෙන් ලැබෙන සහයෝගය අප්‍රමාණයි. එදා ඉඳන්ම මට මගේ පවුලේ අයගේ සහය ‍ ලැබුණා. ඒ සහය මට නොලැබුණා නම්, මට කවදාකවත් ජීවිතයේ මෙතරම් දියුණුවක් ලබා ගන්න හැකි වෙන්නේ නෑ. මගේ මහත්තයා, මගේ පුතාලා මගේ හැම කටයුත්තකදී ම මගේ ළඟින් සිටිනවා. ඒ නිසා, මම කොතරම් වයසට ගියත්, සිතින් වයසට යන්නේ නෑ.” මගේ සිතේ තියෙන සතුට ඒ තරමටම දැඩියි.

ඇය අතීතයේදී අපමණ දුක් කම්කටොළු වින්දා ය. එහෙත් එම අතීත දුක් කන්දරාව, වර්තමානයේදී සතුටක් බවට පත්ව ඇත. උදිතාගේ ජීවිතයට ශක්තියක් ලැබී ඇත්තේ ද, ඇය අතීතයේ විඳි දුක් කන්දරාව නිසා ම ය.

“මේ ලෝකෙ, අභියෝග, ප්‍රශ්න නැති කිසි කෙනෙක් නෑ . මටත් ඉස්සර අභියෝග තිබුණා. සමහර වේලාවට ඉඟුරු වැනි බෙහෙත් වර්ග සොයා ගැනීමට අපහසු වුණා . ඒ නිසා මම ඉඟුරු වැඩිපුර තියෙන කාලයට ඒවා ගබඩා කරලා තියලා, පාන වර්ග නිෂ්පාදනය කළා.”

නුතන තරගකාරී වෙළෙඳ පොළ තුළ හරි හරියට ගැටෙන උදිතා, තමන්ට ආවේණික ස්වයං රැකියාව මඟින් අද වන විට තම ආර්ථික මට්ටම ස්ථාවරත්වයකට පත් කර ගෙන ඇත.

“මේ වගේ ස්වයං රැකියාවක් කරන්න හිතාගෙන සිටින කෙනෙකුට, අනිවාර්යයෙන්ම ඉවසීම කියන ගුණාංගය තිබිය යුතුමයි . ඒ වාගේ ම නිර්මාණශීලීත්වය, තමන් කරන දෑ පිළිබඳ තමන්ට හොඳ ආත්ම තෘප්තියක් තිබීම අත්‍යවශ්‍යම දෙයක්. මේ සෑම ගුණාංගයක්ම ඔබ සතු නම්, ලෙහෙසියෙන්ම ජීවිතය ජය ගන්න පුළුවන්.”

දිරිමත්ව, ස්වශක්තියෙන් නැගී සිටීමට සිතන ඔබට, ඔබේ සිත පවසන ස්වයං රැකියාවට යොමුවී, අධිෂ්ඨානශීලීව කටයුතු කළහොත්, ඒ මඟින් ජීවිතය ජය ගන්නට අපහසු නැත.

 

මදාරා මුදලිගේ

අදහස් 1ක් ඇත

මෙවැනි අය පිළිබඳ තොරතුරු ඇතුලත් විශේෂාංග පල කිරීම සම්බන්ධයෙන් කෘතඥ වෙමු. නමුත් මෙවැනි අයට සවියක් වීම සඳහා අවැසි සහය ලබා දීම පිණිස ඔවුන් සම්බන්ධ කරගැනීම සඳහා තොරතුරු ලිපියේ ඇතුලත් නොකිරීම විශාල අඩුවක් ලෙස දකිමු. ඉදිරියේදී මෙම තත්වය මග හැරෙනු ඇතැයි විශ්වාස කරමු.

නව අදහස දක්වන්න