මම හෙමිහිට ගමනක් යන කෙනෙක් | දිනමිණ

මම හෙමිහිට ගමනක් යන කෙනෙක්

වොල්ගා කල්පනී

ළමා වියේදීම රූපවාහිනී තිරය හඳුනා ගන්නා වොල්ගා කල්පනී, ඉනික්බිතිව යොවුන් වියේදී තම පැවැත්ම ස්ථාවරත්වයට පත් කර ගත්තා ය.ඉතාමත් සුපරීක්ෂාකාරීව, දුර ගමනක් යන්නට මඟ බලන යොවුන් නිළියක වන ඇය, මේ වනවිටත් තම අරමුණෙහි සුබ ලකුණු මතුකර ගත්තේ පසුගිය වසරේ රූපවාහිනී සම්මාන උළෙලේ හොඳ ම නැගීඑන නිළිය ලෙස නිර්දේශිත නම් අතරට එක්වෙමිනි.

* මේ ගෙවෙන්නේ ඔබට කාර්යබහුල කාලයක්ද?

මම රඟපෑ ශිවගුරුනාදන් මහත්මයගෙ එකගෙයි මිනිස්සු සහ සඳුන් රාජකරුණා මහත්මයගෙ පැහැසරා නාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. ඒ එක්කම කාලෙකට පස්සෙ මට මගේ සැමියා වන හර්ෂණ බෙත්මගේ එක්ක ටෙලි නාට්‍යයක් රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එහි රූපගත කිරීම් සමඟයි මේ දවස්වල කාලය ගත වෙන්නෙ. මම කොහොමත් එකවර වැඩ බොහෝ ප්‍රමාණයක් කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා කාර්යබහුලයි කියන්න බැහැ.

* හර්ෂණ වැඩ බොහෝ ප්‍රමාණයක් කරන කෙනෙක්. වොල්ගාගේ හෙමින් ගමනට හේතුව ඔහුගේ කාර්යබුලත්වයද?

නැහැ. මම කැමැති හැමදාමත් බොළඳ පෙම්වතියගෙ චරිතය කරන්න නෙමෙයි. ඒ කියන්නෙ පුංචි තිරයේ අවිහිංසකාවියගේ චරිතයෙන් එහාට යමක් කරන්න තියෙන චරිත කරන්නයි මගේ කැමැත්ත. ඒ නිසා, තෝරා බේරාගෙන හෙමිහිට ගමනක් යන්නයි මගේ අදහස. මට හිතෙනවා එහෙම වුණහම අනාගතෙත් ලස්සනයි කියලා. හර්ෂණ කවදත් වැඩ ගොඩක් කරන නළුවෙක්. එයා ආරම්භයේ ඉඳන් ම වාණිජ නළුවෙක්. මම හෙමිහිට ගමනක් යන කෙනෙක්. ඒකයි අපි දෙන්නගෙ වෙනස‍.

* සැලකිල්ලෙන් රංගන කාර්යට එක්වෙන ඔබට, මේ වනවිට රඟපෑමට සුවිශේෂ චරිත ලැබිලා තියෙනවද?

ශිවගුරුනාදන් මහත්මයගෙ ‘අඟුරු සිත්තම්’ ටෙලි නාට්‍යයේ ලන්ඩන් මොනිකාගෙ චරිතයට මම ගොඩක් කැමැතියි. ඒ චරිතය වෙනුවෙන් තමයි පහුගිය අවුරුද්දෙ ටෙලි සම්මාන උළෙලේ හොඳ ම නැගීඑන නිළියට මගේ නම නිර්දේශ වුණේ. මේ වෙද්දි මට සෑහීමකට පත්වෙන්න පුළුවන්, මගේ අරමුණුවලට ගැළපෙන වෙනස් චරිත ලැබිලා තියෙනවා.

* ඔබ කලා දිවියට එක්වුණේ කුඩා අවදියේදීමයි. ඒ කාලය සිහිපත් කළොත්?

මම හතර වසරෙ ඉගෙන ගනිද්දි රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට ළමා නාට්‍යයක් කරන්න එක්වුණා. එතැන හිටියා ප්‍රතිභා කියලා අය්යා කෙනෙක්. එයා මා රූපවාහිනියෙ ‘අතුරු මිතුරු’ වැඩසටහනට යොමු කළා. ඒ වැඩසටහන නිෂ්පාදනය කළේ වසන්ත ඥානප්‍රිය කියන ගුරුතුමා. එතැනින් තමයි මම ඉස්සරවෙලාම රූපවාහිනී කැමරාවක් හඳුනාගන්නෙ. ඒ කාලෙම සිරස නාලිකාවෙ ළමා වැඩසටහන් කරන්නත් අවස්ථාව ලැබුණා. ඔය විදිහට මම ළමා නිවේදිකාවගෙන් යොවුන් නිවේදිකාවක් බවට පත් වුණා. ඒ ඉන්න අතරෙ ස්වර්ණවාහිනියෙ උචිත් ගුණසේකර මහත්මයා, රඟපාන්න අවස්ථාව ලබාදුන්නා. ඒ අනුව මම ‘මුතු පලස’ ටෙලි නාට්‍යයේ සුළු චරිතයකින් රංගනයට පිවිසුනා.

* අධ්‍යාපනය ලබන සමයේ ම කලාව තුළ කාර්ය බහුල වෙන්න මවුපියන්ගෙන් අවසර ලැබුණද?

ගෙදරින් මට බලපෑමක් තිබුණෙ නැහැ. අපට ජීවිතේ සතුටින් ගෙවන්න පුළුවන් විදිහෙ දේ ජීවිතයට තෝරගන්නවා දකින්නයි මගේ වැඩිහිටියො කැමැති වුණේ. අප වෛද්‍යවරු, ඉංජිනේරුවො කිරීමේ සිහින එයාලට තිබුණේ නැහැ. අපි හොඳ මිනිස්සු වෙනවා දකින්නයි එයාලා කැමැති වුණේ. ඒ නිසා මම කැමැත්තෙන් කරන දේට මවුපියො ආශිර්වාද කළා.

* කලාව තුළ ඔබ අත්විඳින වටිකාකම් ගැන කතා කරනවානම්?

ජනප්‍රියක්වය කියන දෙය, ඒ වගේ අත්විඳින වටිනාකමක් විදිහට සඳහන් කන්න පුළුවන්. මා කරන දේ මිනිස්සු අගයනවට මම කැමැතියි.මාත් එක්ක කතාකරනවට, මට ආදරය කරනවට මං කැමැතියි‍. මට ඒක වටිනා දෙයක්. ඒ වගේම, නිර්මාණයකට දායතක්වය දීමෙන් ලබන තෘප්තියත් ඒ වගේ ම මගෙ දිවියට වටින දෙයක්. මම මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් රඟපාන්නෙ. මම කලාවට හරි ආදරෙයි.කලා ක්ෂේත්‍රයට ඇවිත් පොඩි කාලයක් වුණාට, මම බොහොම මහන්සි වෙලා තමයි මේ ගමන ආවෙ.

* ඔබ, රංගනය පිළිබඳ අධ්‍යයනයක යෙදෙන නිළියක්ද?

මම මේ වෙද්දි ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව කරලා තියෙනවා. මහේන්ද්‍ර පෙරේරා මහත්මයා යටතේ වැඩමුළුවලට සහභාගිවෙලා තියෙනවා. ඉඩක් ලැබෙන හැම අවස්ථාවකම, ලැබෙන පුහුණු වැඩසටහන්වලට සහභාගි වෙනවා. චිත්‍රපට බලනවා. ඒ වගේම, මේ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ගුරුහරුකම් ගන්නවා. අපේ ජ්‍යෙෂ්ඨ කාලාරුවො, අපි යමක් ඇහුවොත් ඉතා ම නිහතමානීව අපට ඒ ගැන කියාදෙනවා. කතාවක් තියෙනවනෙ අලුත් පරපුර හා ප්‍රවීණයන් අතර ප්‍රශ්න තියෙනවා කියලා. මම නම් ඒ තත්ත්වය අත්විඳලා නැහැ.

* ඔබ තවමත් පුංචි තිරයේ නිළියක් පමණද?

එක චිත්‍රපටයක රඟපාලා තියෙනවා. තව චිත්‍රපට තුනකට ඇරියුම් ලැබිලා තියෙනවා. එම නිර්මාණවල රඟපාන්න සූදානමින් ඉන්නවා. වේදිකාවේ රඟපාන්නත් මම හරි ආසයි. එක වේදිකා නාට්‍යයකට මට ඇරියුමක් ලැබුණා.මගේ අවාසනාවට ඒකට සහභාගි වෙන්න බැරි වුණා. ඒත්, මම වේදිකා නාට්‍යවල රඟපාන්නත් හරි ම කැමැත්තෙන් ඉන්නෙ.

* ඔබ, කලා ක්ෂේත්‍රයෙන් ම ජීවන සහකරු තෝරා ගත්තෙ, ඉදිරිය ගැන හිතලද?

හර්ෂණ මට හමු වුණේ මම හතර වසරෙ ඉගෙන ගනිද්දි. මම රූපවාහිනියෙ ළමා වැඩසටහන් කරද්දි, එයා ‘මුතුහර’ ළමා සමාජයේ. එතැනදි දැන හඳුනාගෙන අපි අවුරුදු දොළහක්, දහතුනක් හොඳ ම යාළුවො විදිහට හිටියා. ඊට පස්සෙ අවුරුදු තුනක් විතර පෙම්වතුන් විදිහට ඉන්නවා. මම විවාහ වුණේ මගේ හොඳ ම යාළුව එක්ක කිව්වොත් නිවැරැදියි. අපි දෙන්නා අපි දෙන්නගෙ ජීවිත ගැන හොඳට දන්නවා. ඒ තේරුම් ගැනීම, අවබෝධය, අපේ ජීවන ගමනට විශාල පහසුවක්.

* යොවුන් නළු නිළියන්ගෙ පවුල් පවා අවුල් කරමින් ගලායන කටකතා, ඔබ දෙපළගේ දිවියට බාධාවක් නෙමෙයිද?

මටවත්, හර්ෂණටවත් එවැනි අනවශ්‍ය කටකතා හැදිලා නැහැ. අපි ආගම දහමට ගරු කරමින් ජීවත්වෙන දෙන්නෙක්. මම වගේම හර්ෂණත් දෙවියන් අදහනවා. මම හිතන්නෙ අපි අපේ හෘදය සාක්ෂ්‍යයට එකඟව කටයුතු කරනවා නම්, එවැනි කටකතා අපට කවදාකවත් බලපෑමක් වෙන්නෙ නැහැ.

* ඔබ රංගනය හැරණහම වෙනත් රැකියාවක නිරක වෙනවද?

රඟපෑම වෘත්තිය තමයි. ඒ හරුණහම අපි දෙන්නගෙ ව්‍යාපාරයක් තියෙනවා. ඒ ගැන ළඟදීම අපි හැමෝටම කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ දවස්වල මමයි හර්ෂණයි විශේෂ වැඩකට අතගහලා තියෙනවා. අමෙරිකාවේ නිෂ්පාදිත ජල පෙරණයක් අපේ රටට හඳුන්වාදීමේ වෙළෙඳ වැඩසටහනේ සන්නාම තානාපතිවරු විදිහට අපි දෙන්නා වැඩ කරනවා.

 

ධම්මිකා සුරංජි පතිරණ
ඡායාරූප -අන්තර්ජාලයෙනි 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...