පිච්චෙන අව්වේ කුඩය තහ­නම්

තිඹි­රි­යා­ගම බණ්ඩාර

මේ තරම් පිච්චෙන අව්වක් වැටෙද්දි කුඩ ඉහලගෙන යන්න එපා කියන එක තිරිසන් වැඩක්. කවුරුවත් මේකට මැදිහත් වෙන් නෑ.’

තරුණ කවියකු හා චිත්‍ර ශිල්පි‍යකු වන ඩොමිනික් චන්ද්‍රසාලි මා සමඟ පැවසී ය. ඔහු කතා කළේ ඉමහත් වේදනාවෙනි.

‘කවුරු අල්ලලා හිරේ දැම්මත් වැඩක් නෑ. පුළුවන්නම් කරපල්ලා අදහසින් තමයි උන් රැග් දෙන්නේ.’

ඩොමිනික් පවසන්නේ මේ දිනවල කැලණියේ නවකවදය පිළිබඳව ය. නවකවදයට ලක් වූ සිසුවියකගේ පැමිණිලි කිරීමක් අනුව ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ගත වී ඇත්තේ කෙටි කලකි.

‘දැන් ශිෂ්‍ය සංගම්වල බලේ තියෙන්නේ පෙරටුගාමීන්ට නේද? ඒ උදවියත් රැග් එක පවත්වාගෙන යනවද? මම ඇසුවේ ජවිපෙන් කැඩී ගිය කණ්ඩායමක් හැටියට එම පක්ෂයට උරුම ව තිබූ ඇතැම් ගෝත්‍රික ලක්ෂණවලින් නිදහස් වී ඇතැයි යන හැඟීමෙනි.

‘උන් ඔක්කොම එකයි. මේක නවත්වන එක ලේසි නෑ. පැට්‍රික් සර්ට කොල්ලො ලෙඩක් දැම්මෙත් ඕකට මැදිහත් වෙන්න ගිහිල්ලයි. ඔය කාලකණ්ණි කරන දේවල් කියන්ඩ ලැජ්ජයි. මගේ දණිස්වල තවමත් සලකුණු තියෙනවා.’

ජ්‍යෙෂ්ඨයන් ශාරීරික වධ පැනවීමේ දී ඉතිරි වූ ලප කැලැල් සිහි කරමින් ඩොමා (ඩොමිනික්) පවසයි.

අති සංවේදී කලාකරුවකු වන ඩොමා සරසවි අධ්‍යාපනය හමාර කර සිටී. මාඑළිය ප්‍රදේශයේ දුෂ්කර ගමකින් කැලණිය සරසවියට පිවිසි ඔහු ගමෙන් ගෙනා සරල බව, චාම් බව, අන්‍යයන්ට උදව් පදව් කිරීමේ ගතිය හා ළෙන්ගතුකම තවමත් රැකගෙන සිටී. හිංසාව පිළිකුල් කරයි‍. නවකවදයට එරෙහි වීම නිසා තමාට නේවාසිකාගාරයකින් ද යන්නට සිදු වූ බව ඩොමා කීවා මතකය.

සරසවි පද්ධතියේ මුල් බැසගත් ගෝත්‍රික සම්ප්‍රදායක් වන නවකවදයට එරෙහි ව පෙනී සිටින ඩොමාලාගේ කණ්ඩායම කුඩා එකකි. මා සරසවි අධ්‍යාපනය ලැබූ 80 දශකයෙහි එබඳු අත්දැකීම් සමුදායක් මට ද ලැබිණ. මම ද එම කුඩා‍ කණ්ඩායම් සාමාජිකයෙකි.

එසේ වුවද ඊනියා ශිෂ්‍ය සංගම් තම සාමාජිකත්වය පුළුල් කර ගැනීමේ අඩයාළමක් හැටියට භාවිත කරන නවකවදය මුලිනුපුටා දැමීමේ හැකියාවක් එම කුඩා කණ්ඩායම්වලට තවමත් නොමැත.

නවකවදයෙහි යෙදෙන්නවුන්ගේ පෙනෙන්නේ මනෝ විකෘතියකි. පැටි වියෙහි පටන් උසස් පෙළ දක්වා අධ්‍යාපන පද්ධතියෙන් ලද පීඩනය ද මෙහිදී පුපුරා යයි. සංවේදිකම් මරා දැමූ අධ්‍යාපනයෙහි ප්‍රතිඵල ඉන් පෙනේ. අනුන්ට වධ දීම සඳහා අණ දීම හා මෙහෙයවීම ශිෂ්‍ය කණ්ඩායම් අතර වීරයන් වීමේ ද මඟකි; පරපීඩාකාමුකත්වය නිර්වස්ත්‍ර වන අවස්ථාවකි; වධකයා තෘප්තියක් ලබයි; වධය ලබන්නා කම්පනයට ලක්වෙයි. එයට මුහුණ දීමේ ශක්තිය නොමැත්තෝ සරසවිය හැර යති. සරසවියෙහි රැඳෙන්නා ඊළඟ අවුරුද්දේදී වධකයකු බවට පත්වන්නේ තමන්ට දුන් වධය අනුන්ට දීමේ දුෂ්ඨ චේතනාවෙනි.

‘තොපි දැන ගනියව්, අපිත් රැග් කාපු එවුන්’ මේ ඔවුන්ගේ මානසිකත්වයයි. අවාසනාව වන්නේ වැරදිකරුවාගේ හිලව්වට වෙනත් අයකු දඬුවම් ලැබීම ය. නවකවදය ප්‍රවාහයක් හැටියට ඉදිරියට යෑම වළක්වා ගත හැකි තැන එතැන ය. එනම් තමන්ට දුන් වධය වධකයා වෙනුවට වෙනත් අයකුට දීම වරදක් යැයි සිතීමේ ගුණය වගා කර ගැනීම ය.

නවකවදයට එරෙහි ව කටයුතු කළ මේ ලියුම්කරු එකල වධකයනගේ තර්ජනයට ලක් විය.

ඇතැම් තර්ජකයෝ වත්මනෙහි සරසවි ඇදුරෝ හැටියට ද කටයුතු කරති.

‘අපි වැරදි බව දැන් තේරෙන්නේ’ ඔවුහු කියති.

එසේ වුව ද වත්මනෙහි ද සරසවි සිසුන් සමඟ අදහස් හුවමාරු කරගන්නා අවස්ථාවල ඔවුහු මගේ මතකයට එරෙහිව අවි අමෝරා ගනිති.

අප හිතවතකු වන රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සහකාර ප්‍රකාශක කළමනාකරු මධුරංග සී. නුවන්ප්‍රිය සබරගමුව සරසවියෙහි ඉගෙන ගන්නා සමයෙහි ඔහු‍ෙග් හිතමිතුරන්ට මැදි වූ මොහොතක නවකවදය සම්බන්ධයෙන් මගේ ස්ථාවරය දැඩි ප්‍රහාරයකට ලක්විය. මේ සෑම අවස්ථාවකම සරසවි සිසුන් ගිරවුන් මෙන් කරන ප්‍රකාශයක් තිබේ.

‘රැග් එකෙන් හැමෝම සම මට්ටමකට ගේනවා’’

සම මට්ටමට පත් වූ අය ම කුලබේදය සලකති. උඩ පාත රට බේදය පිළිගනිති. ආගම්වාදය හා ජාතිවාදය විසකුරු සර්පයන් මෙන් හදවතෙහි රැක ගනිති. උපාධිය ලැබූ වධකයන්ගෙන් බොහෝ දෙනෙක් විෂම පන්ති රටාවේ නියම ඇණ මුරිච්චි බවට පත් වෙති. පිරිහුණු රාජ්‍ය සේවයේ ඒජන්තයෝ ද ඔවුහුම වෙත්. අර සම මට්ටමට වෙච්ච දෙයක් නැත. රාජ්‍ය ආයතනවල සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන දුප්පතුන් හට රාජාකාරි ඌෂ්ණය පෙන්වීමෙන් තිරිසන් සතුටක් ලබන්නෝ ද ඔවුහු වෙත්.‍ තම පවුලේ අයකු කුලයට හා තත්ත්වයට නොගැළපෙන අයකු සමඟ පෙමින් බැඳුණු විට පිහිය අතට ගන්නෝ ද ඔවුහු ම වෙති.

නවක වදයෙන් ‘සම මට්ටමට’ ගත් සිසුන්ගේ ‘විසම ක්‍රියා’ සරසවිවලට කළු පැල්ලමකි. මෑතක දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව නේවාසිකාගාරයක ලලිත් ඇතුලත්මුදලිගේ පුවරුව සුණු විසුණු කිරීමෙන් ම සම මට්ටමේ තරම පෙනේ. ඔවුහු පිරිත් නූල් ද බඳිති. වාර්ෂික ව බණ පිරිත් සංවිධානය කරති, පුස්තකාලවලට නොයති, කේන්දර ද බලති. අවිචාරය හා හිංසනය ජීවන දහම බවට පත්කරගෙන සිටිති. එසේ වුව ද මේ සියලු පසුගාමී තත්ත්ව මැද නිර්මාණකරණයෙහි යෙදෙන ප්‍රඥාංකුර අපට හමුවෙත්; පර්යේෂණකාමියෝ සිටිත්. සරසවි නිර්මාණ මණ්ඩපවලට සම්පත් දායකත්වය ලබා දෙන්නකු වශයෙන් මට ඔවුන් පෙනී යනුයේ අන්ධකාරයේ ඇඳී ගිය රිදී රේඛාවක් පරිදි ය. ඩොමිනික් චන්ද්‍රසාලි ද කැලණිය සරසවියෙහි ඇඳුණු එබඳු රිදී රේඛාවකි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...