ෆෙලිනිගේ මාවතේ කතාව සැලීගේ ඇසින් | දිනමිණ

ෆෙලිනිගේ මාවතේ කතාව සැලීගේ ඇසින්

පසුගිය ‍අප්‍රේල් 24 - 29 අතර, බ්‍රිතාන්‍යයේ ‘බටහිර යෝක්ෂයර් ප්ලේ හවුස්’ රඟහලේදී වේදිකාගත වූයේ ඉතාලි ජාතික ෆෙඩ්රිකෝ ෆෙලිනිගේ ‘ලා ස්ට්‍රාඩා’ චිත්‍රපටය ඇසුරින් නිපදවුණු එනමින්ම යුත් නාට්‍යයයි. සැලී කුක්සන් එහි අධ්‍යක්ෂවරියයි.

ඇයට ෆෙලිනිගේ චිත්‍රපටය නැරැඹීමට ලැබුණේ බාල වියේදීමය. මුල් වතාවේදී චිත්‍රපටයේ ගැඹුරු අරුත් ඇයට වැටහුණේ නැති වුවද එය ඇයගේ සිතේ කා වැදුණේය. ඉන් පසු කාලයේ එය නැවත නැවත නැරඹූ සැලී, ෆෙලිනි රසිකාවියක බවට පත් වූවාය. ‘ලා ස්ට්‍රාඩා’ තම ප්‍රියතම චිත්‍රපටය ලෙසින් හැඳින්වීමට නොපසුබට වූවාය. ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත සිනමා රසිකයන් හා එක්වෙමින්, එහි එන ජෙල්සොමිනා ගේ චරිතය මුහුණ දෙන ඉරණම පිළිබඳව සානුකම්පිත වූවාය.

ඉතාලි නව යථාර්ථවාදී සිනමාවේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන ෆෙඩ්රිකෝ ෆෙලිනිගේ ‘ලා ස්ට්‍රාඩා’ 1957 දී හොඳම විදේශීය චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මාන දිනාගන්නට සමත් විය.

පශ්චාත් යුද සමය පසුබිම් කර ගත්, මෙම චිත්‍රපටය හුදෙකලා වූ මනුෂ්‍ය ආත්ම තුනක කතාවක් කියයි. දුක්විඳින මනුෂ්‍යාත්ම භාවය, හුදෙකලාව හා දරිද්‍රතාව මෙහි තේමාව සමඟ ඒකාබද්ධව ඇත.

රෝද තුනේ කුඩා රථයක නැඟී, තැන තැන යමින් සර්කස් පෙන්වන පුද්ගලයකු හා ඔහුගේ සහයිකාව බවට පත්වන දිළිඳු තරුණියක ෆෙලිනි තම ප්‍රධාන භූමිකා බවට පත් කර ගනී.

ජෙල්සොමිනා නමින් හැඳින්වෙන එම තරුණියගේ චරිතය රඟදක්වන්නේ ෆෙලිනිගේ බිරිඳ වූ ජුලියට් මසීනා ය. සම්පානෝ නමැති සර්කස්කරුවා ලෙස ලෝක ප්‍රකට නළු ඇන්තනී ක්වීන් රඟපායි. මෙහි එන තවත් ප්‍රධාන චරිතයක් වන්නේ, පසුව ඔවුන් එක්වන සර්කස් කණ්ඩායමේ සිටින කවටයාය. ජෙල්සොමිනා හා ඔහු අතර සමීප සබඳතාවක් ඇති වෙයි. කවටයාගෙන් ඇය ජීවිතය පිළිබඳ බොහෝ දේ උගනී. චිත්‍රපටයේ කවටයාගේ චරිතය රඟපෑවේ රිචඩ් බේස්හාට් නමැති අමෙරිකානු රංගන ශිල්පියාය.

ෆෙලිනිගේ චිත්‍රපටය වේදිකාවට ගෙන ඒමේදී සැලී කුක්සන්, එයට ම නතු නොවී, ජන රංග ශෛලියක් අනුගමනය කළාය. එසේ ම, තම නාට්‍ය පිටපත, පුහුණු කාලය තුළ නිතර නිතර වෙනස් කිරීමට ද ඇය පෙලඹුණාය.

චිත්‍රපටයේ දැක්වෙන ගරාවැටුණු ගොඩනැගිලි පාළු මුහුදු වෙරළ ආදිය වෙනුවට නාට්‍යයේදී දක්නට ලැබෙන්නේ අතථ්‍ය පසුතල නිර්මාණයන්ය. මෙහිදී සම්පානෝ ලෙස රඟපාන ස්ටුවර්ට් ගුඩ්වින් හා ජෙල්සොමිනා ලෙස රඟන ඕඩ්රි බ්‍රිසෝන්, චිත්‍රපටයේ චරිතයන්හි අනුකාරකයින් වූයේ නැත. එක් විචාරකයකු සඳහන් කළ අන්දමට ඕඩ්රි ‍බ්‍රිසෝන්ගේ ගමන් විලාශය චාලි චැප්ලින් සිහි ගැන්වීය. ඇයගේ සොප්රානෝ ගායන ශෛලිය ඔහුගේ සිත ගත දෙකම හිරි ගැන්වීය.

කවටයා ලෙස රඟපෑවේ සැබෑ සර්කස් ශිල්පියකු වූ බර්ට් සොරොයිසන්ස් ය. තනි රෝදයේ පාපැදියක (unicycle) නැඟී, එකෝඩියනයක් ද වාදනය කරමින් ඔහු කළ විශිෂ්ට රංගනය නාට්‍යයට මහත් ආලෝකයක් විය.

අධ්‍යක්ෂිකා කුක්සන් මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූ අන්දමට බහුවිධ හැකියාවන් ඇති රංගන ශිල්පීන් සමඟ වැඩ කිරීමට ඇය කැමතිය. ගායනය, නර්තනය පමණක් නොව වාදන හැකියාව පවා රංගන ශිල්පියකුට ආභරණ වෙයි.

ඉතාලි බසින් මාවත The Road යන අරුත් දෙන ‘ලා ස්ට්‍රාඩා’ හි තේමාව, සර්ව කාලීන හා සර්ව භෞමික වූවක් බව කුක්සන් පවසයි. “එය මීට වසර දහසකට පෙර කාලයකට මෙන් ම අද දවසටත් සාධාරණයි. වලංගුයි. ෆෙලිනිගේ චිත්‍රපටයෙන් නාට්‍යයක් කිරීමට මා පෙලඹුණෙත්, එහි ගැබ්ව ඇති වර්තමානයටත් ගැළපෙන මානුෂික ගුණාංග නිසායි.”

බ්‍රිස්ටල් ඕල්ඩ් වික් රඟහලේ වෘත්තීය නාට්‍යවේදිනියක වන සැලී කුක්සන් මීට පෙර ජේන් අයර් (2015), පීටර් පෑන් (2016) හා හෙටී ෆෙදර් යන නාට්‍ය අධ්‍යක්ෂණය කළාය. The Bretts හා The Old Goose in the Business හි රංගනයෙහි යෙදුණාය. ‘Hetty Fether’ නාට්‍යය සඳහා ඇය ඔලිවියර් සම්මානයට නිර්දේශිත වූවාය.

ජැකලීන් විල්සන්ගේ ජනප්‍රිය නවකතාවක් වූ ‘හෙටී ෆෙදර්’ ඇසුරින් වේදිකාවට නැඟුණු එම නමින්ම යුත් නාටකයේ එන හෙටී නමැති අනාථ දැරිය ද එක්තරා දුරකට ‘ලා ස්ට්‍රාඩා’ හි ජෙල්සොමිනාට සමාන වෙයි.

උපතේදීම මව විසින් රෝහලේ අතහැර දමා යන බිලිඳියක වන හෙටී, ඉන්පසු භාරකාර නිවසක හැදී වැඩෙයි. පස් වසරකට පසු ඇය යළිත් තමා උපත ලද රෝහලට ම යා යුතුය. ඇය පාසල් යන්නේ එහි සිටය. මෙම කතාව මැද දී ද, සර්කස් කණ්ඩායමක් හමුවෙයි. කාරුණික මිනිසුන් මෙන්ම අකාරුණික මිනිසුන් ද අතර හැදී වැඩෙන හෙටී ට, අවසානයේදී තම මව මුණගැසෙයි. එහෙත් තවත් කලක් ගතවනතුරු ඔවුන් ඒ රහස තම තමන්ට පමණක් සීමා කර ගත යුතුව ඇත.

සැලී කුක්සන් සඳහන් කළ පරිදිම මෙම නාටකයේ තේමාව ද දුක් විඳින මනුෂ්‍යාත්ම පිළිබඳවය. එය සර්වත්‍රිකය. සර්ව භෞමිකය. තම වරදකින් නොවෙතත් අනාථ භාවයට පත් මිනිසුන් ලොව පුරාම දක්නට ඇත. විටෙක ඔව්හු තනි තනිව අනාථ වෙති. තවත් විටෙක සමූහ වශයෙන් අනාථ වෙති.

සැලී කුක්සන්ගේ නාට්‍යය ඔලිවියර් සම්මානය සඳහා නිර්දේශ වන්නේ ‘Family and Entertainment Show’ අංශයෙනි. (‘හෙටී ෆෙදර්’ නවකතාව, එක්සත් රාජධානියෙහි පමණක් පිටපත් මිලියන 35 කට වඩා අලෙවි වූ බව වාර්තා වේ.)

සිනමාව හා වේදිකාව එකිනෙකට වෙනස් මාධ්‍යයන් දෙකක් වුවද, එකිනෙක අතර ‘සබඳතා’ සිදුවන අවස්ථා දුලබ නැත.

ජනප්‍රිය චිත්‍රපටි ඇසුරින් ‍නිෂ්පාදිත වේදිකා නාට්‍ය බොහෝය. එසේම නාට්‍ය ඇසුරින් නිර්මිත චිත්‍රපට ද රැසකි. සංගීතමය නොවූ චිත්‍රපටි සංගීතමය නාට්‍ය බවට පෙරැළුණු අවස්ථා ද ඇත. Catch Me If you can, Ghost: The Musical, Love story ඊට නිදසුන්ය.

චිත්‍රපට ඇසුරින් නිපදවුණු වේදිකා නාට්‍ය අතර Rain Man, The Graduate, Piano, Chariots of Fire ආදිය වෙයි.

වැඩි වශයෙන් ම සිදුව ඇත්තේ නාට්‍ය ඇසුරින් චිත්‍රපට නිපදවීමය. ශ්‍රී ලංකාවේද සිනමා කර්මාන්තය ආරම්භ වන්නේ වේදිකාව ඇසුරිනි.

‍ශේක්ෂ්පියර්ගේ නාට්‍ය රැසක්ම චිත්‍රපටයට නැඟී ඇත. ‘හැම්ලට්’ ඇසුරින් පමණක් චිත්‍රපට 50 කට වඩා නිපදවුණි. ඉන්දියානු සිනමාකරු විශාල් භාරද්වාජ් ‘ඔතෙලෝ’ ඇසුරින් ‘ඕම්කාරා’ (2006) චිත්‍රපටය, ‘මැක්බත්’ ඇසුරින් ‘මක්බූල්’ චිත්‍රපටය ද නිෂ්පාදනය කළේය. ගුල්සාර්ගේ ‘අන්ගූර්’ චිත්‍රපටය, ශේක්ෂ්පියර්ගේ ‘ද කොමඩි ඔෆ් එරර්ස්’ හි අනුවර්තනයකි.

ඇලෙක්සැන්ඩර් ඩූමාස්ගේ The Lady of Camellias ඇසුරින් චිත්‍රපට 15 ක් ද, හෙන්රික් ඉබ්සන්ගේ ‘The Dolls House’ ඇසුරින් චිත්‍රපට 6 ක් ද නිපදවා ඇත.

කාලිදාසයන්ගේ නාට්‍යයන් ද චිත්‍රපට ගත කෙරුණි. 1943 දී වී. ශාන්තරාම් විසින් ‘ශාකුන්තලය’ සිනමා තිරයට ගෙන එන ලදී.

නීල් සයිමන්, එඩ්වඩ් ඇල්බි, ටෙනසි විලියම්ස්, ‍ෙ‍ෂාන් ඔනිල්, බර්නාඩ් ෂෝ, ස්ට්‍රීන්බර්ග් ආදීන්ගේ නාට්‍යයන් ද චිත්‍රපටයට නැ‍ඟුණි.

70 දශකයේදී මහත් ජනප්‍රියත්වයක් ලැබූ චන්ද්‍රසේන දසනායකගේ ‘රන්කඳ’ නාට්‍යය අනුවර්තනය කෙරුණේ බර්නාඩ් ෂෝගේ ‘පිග්මැලියන්’ නාට්‍ය ඇසුරින් නිපදවුණු ‘මයි ෆෙයාර් ලේඩි’ චිත්‍රපටය ආශ්‍රයෙනි.

‘La Strade’ චිත්‍රපටය ඇසුරින් 1969 දී ලයනල් බාර්ට් විසින් සංගීතමය නාට්‍යයක් නිපදවූවද එය පළමු රාත්‍රියෙන් පසු රඟ නොදැක්වුණි. නිව්යෝර්ක් හි ස්පාඤ්ඤ නාට්‍ය සංගමය ඉංග්‍රීසි උප සිරැසි සහිතව ‘ලා ස්ට්‍රාඩා’ නිෂ්පාදනය කළේය. එයට Hollad සම්මාන 2ක් ද හිමිවිය. ඒ හොඳම අධ්‍යක්ෂණයට සහ කවටයාගේ චරිතය නිරූපණය කළ රුයිස් නම් රංගන ශිල්පියාටය.

කපිල කුමාර කාලිංග
[email protected]


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...