රස්සාවක අගය

“මේ බලන්නකෝ ටොම්සන් මහත්තයා මේ පත්තරේ තියෙන දේ...” කියා උන්නැහේ උදේම කෑ ගැසුවේ මහා විපතක් සිදු වූ පරිදිය. ඒ හඬට ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත් දුව ගෙන පැමිණියහ.

“ඇයි මොකද උන්නැහේ වෙලා තියෙන්නේ...? මොකක් හරි නස්පැත්තියක් වෙලාද?”කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“ටිකක් ඒ වගේ තමයි... මේ බලන්ඩ.... මනුස්සයෙක් අඩි එකසිය පණහක් උස විදුලි කණුවකට නැඟලා... හාල් මෝලේ රස්සාව ඉල්ලලා.... ”

“ඒ මොකෝ ... ඒකේ රස්සාව නැති වෙලාද?”

“ඒ වගේ තමයි පේන්නේ... පැය පහළොවක් විදුලි කණුවේ නැඟලා ඉඳලා... අන්න මිනිස්සු...” කියා උන්නැහේ ඒ සැරේ කීවේ උද්දාමයෙනි.

“වයසක මනුස්සයෙක්ද? එහෙම වෙන්නත් බෑ... වයසක කෙනකුට එහෙම විදුලි කණුවකට නඟින්නත් බෑ... නැග්ගත් පැය පහළොවක් කණුවේ නැඟලා ඉන්නත් බෑ...” කියා ඇම්බන් මහත්තයා කීවේය.

“ඒක ඇත්ත තමයි ඇම්බන් මහත්තයා... මේකාට වයස අවුරුදු විසි එකයි... මේ තරුණ කොල්ලෙක් නේ.... බොහොම අමාරුවෙන් තමයි කණුවෙන් බස්සා ගෙන තියෙන්නේ... ”

“ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ...”කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“මොකක් වෙන්නද ආයේ.. පොලිස් අත්අඩංගුවට ගන්නවා මිසක්.. කීයක් චෝදනා ගොනු කරන්න පුළුවන්ද? ඒ වුණාට මට නම් හරිම කනගාටුයි...” කියමින් උන්නැහේ පත්තරය පසෙකින් තැබුවේය.

“ඒ මොකෝ උන්නැහේ.. හිටපු ගමන් කනගාටුවක් ඇති වුණේ...?”

“නෑ ඉතින් ටොම්සන් මහත්තයා... රස්සාවක් කියන එක කෙනකුට කොච්චර වැදගත්ද? අනික් එක මේ වගේ තරුණ කොල්ලකුට... ඉතින් අපි මෙහෙම කල්පනා කරමුකෝ... ඒ තරුණයා ඉතින් රස්සාවක් තියෙන හින්දා පරස්තාවකුත් කර ගන්න ලෑස්තිවෙලා හිටියා කියලා හිතමුකෝ.. දැන් රස්සාව නැති වුණ ගමන් මොකද වෙන්නේ...? පරස්තාවත් නැති වෙනවා... මේ විදිහට විදුලි කණුවල නඟින එක වැරදි තමයි.. ඒ වුණාට මිනිස්සු මේ වගේ විපතකට වැටුණම මොනවද නොකරන්නේ... ”

“ඒක නම් ඇත්ත තමයි... අපි ගාව ටෙලිෆෝන් අංකයක්වත් නෑනේ.. නැතිනම් පොලිසියෙන් දැන ගන්න තිබුණා. මොකක්ද වෙන්නේ කියලා...” කියා ඇම්බන් මහත්තයා කීවේය.

“මොකක් වෙන්නද? නොවැරදීම උසාවියට ඉදිරිපත් කරයි.. ඊට පස්සේ රිමාන්ඩ් කරයි.. ඊට පස්සේ ඇප දෙයි... සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඒකනේ.. මං කියන්නේ ටොම්සන් මහත්තයා... මේවා වෙනස් විදිහකට හිතන්න ඕනෑ සමාජ ප්‍රශ්න... ඒ වුණාට එහෙම වෙනස් විදිහකට හිතන කෙනෙක් නෑ... අවසානයේ සිද්ද වෙන්නේ එකම දේ...”

“අපි අර හාල් මෝලට කතා කරලා බලමුද? ” කියා ටොම්සන් මහත්තයා හදිසියේ ඇසුවේය.

“තියෙනවද අංකයක්...? ”

“එක අංකයක් තියෙනවා.. මං අඳුරන හාල් මෝල් අයිතිකාරයකුගේ.. සමහර විට කතා කළොත් විස්තර ටිකක් දැන ගන්න බැරි වෙන එකක් නෑ... ඕවා ඉක්මනට පැතිරෙන ආරංචි නේ... හලෝ... හලෝ... මං මේ ටොම්සන් මහත්තයා කතා කරන්නේ...”

“හප්පේ... කොච්චර කාලයකින්ද? ඉතින් ... ඉතින්... මොකද මේ හදිසියේ මතක් වුණේ. මොකක් හරි ඕනැ කමක්ද?”

“ඔව්.. පොඩි ඕනැකමක් තමයි.. අර හාල් මෝලක වැඩ කරපු තරුණයකුගේ රස්සාව නැති වෙලා විදුලි කණුවකට නැග්ගා කියලා මේ අද පත්තරේ තියෙන්නේ.. ඒ ගැන මොකුත් දන්නවද?” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“ඔව්.. අපේ හාල් මෝලේ නම් නෙවෙයි... මේ ළඟ හාල් මෝලක වෙච්චි සිද්ධියක්.. ඒත් ඇත්තටම මොකක්ද කාරණේ කියලා මාත් තවම දන්නේ නෑ... ඒ කොහොම වුණත් රස්සාව නැති වෙච්චි එක නම් ඇත්ත... මොකක් හරි වැරැද්දක් කරන්න ඇති... නැතිනම් එහෙම කවුරුවත් රස්සාවෙන් දොට්ට දාන්නේ නෑනේ...”

“ඉතින් කම්කරු නීති නැද්ද මේ විදිහට සේවයෙන් අස් කරන එකට කටයුතු කරන්න..?”

“තියෙනවා.. ඒත් මොනවා කරන්නද? නීති නම් තියෙනවා තමයි සේවයෙන් ඉවත් කිරීම ගැන කටයුතු කරන්න.. ඒ වුණාට අහිංසක කම්කරුවන්ට ඒ නීතිවලින් ලැබෙන ආවරණය බොහොම අඩුයි... පත්වීමේ ලියුමක් නැතිව කෙනෙක් සේවයේ තබා ගැනීම තහනම් කියලා දැඩි නීතියක් තියෙනවා නම් පත්වීමේ ලියුම් දෙයි.. එහෙම නැතිව හාම්පුතාලා කැමති වෙන්නේ නෑ... ලියුම් දෙන්න. මේකත් එහෙම තමයි.. අනික් එක ඒ විදිහට කතා කරන කෙනකුට කිසිම රස්සාවක් ලැබෙන්නෙත් නෑ.. ඕක තමයි ඇත්ත තත්ත්වේ...ටොම්සන් මහත්තයාට කියන්න.. මගේ හාල් මෝලේ වැඩ කරන එකෙකුටවත් මම පත්වීමේ ලියුම් දීලා නෑ...” කියා මෝල් හිමියා කීවේය.

“හරි මට තේරුණා... ”කියා උන්නැහේ කෑ ගැසුවේය.

“මොකක්ද තේරුණේ...? ” කියමින් ටොම්සන් මහත්තයා දුරකථන සංවාදය අවසාන කළේය.

“මේකනේ ටොම්සන් මහත්තයා... ඔය විදිහට ගියාම සේවකයකු සේවයෙන් ඉවත් කිරීමේදී යන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා..”

“ඒ මොකක්ද ඒ?”

“එකක් තමයි කම්කරු උසාවිය... අනික තමයි විදුලි කණුව... ඉතින් මේ තරුණයා තෝරා ගෙන තියෙන්නේ විදුලි කණුව...”

“ඒ මොකද ඒ...”

“වෙන මොකක්වත් නෙවෙයි.. කම්කරු උසාවියට යනවට වඩා ලේසියි පහසුයි... විදුලි කණුවට නඟින එක... මේ තරුණයා තෝරා ගෙන තියෙන්නේ විදුලි කණුවකට නඟින එක.. ඒක ලේසියි.. පහසුයි.. කල් පවතියි...” කියා උන්නැහේ හොක් හොක් ගා සිනහසුණේය.

බන්දුල පී දයාරත්න
[email protected]


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...