විභාග ජය ගන්නා පහසු ක්‍රම

තම දරුවා දක්ෂ සිසුවකු කිරීම සහ එවන් දරුවකු වනු දැකීම සෑම මවකගේම, පියෙකුගේ ම අපේක්ෂාව ය. ඒ නිසා ම, දරුවා කුඩා කල සිට ම ඊට උචිත පරිදි හැඩගස්වා ගැනීමට ඔවුන් කටයුතු කරයි. විභාග සඳහා ඉදිරිපත් වන දරුවා, ඊට නිසි පරිදි මුහුණ දීමට නම්, කටයුතු කළ යුත්තේ කෙසේද? මේ ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර පහකි.

1. පෙර සුදානම

පාසල් සිසුවකුට ‍මෙය අත්‍යවශ්‍ය ම දෙයකි. එදිනෙදා කළ යුතු වැඩකටයුතු ඒ ඒ දිනවලදීම සිදු කර හමාර කළහොත්, විභාගවලට කියා නිදිවරාගෙන, මහන්සිවී පාඩම් වැඩ කළයුතු නොවේ. එවිට මනස ආතතියෙන් තොරව පවත්වා ගැනීමට ද ඔවුන්ට පුළුවන. විවිධ විෂයයන්ට අනුව ලිපි ගොනු වෙන වෙන ම සකසා තබාගෙන, පිළිවෙළකට වැඩ කිරීම මඟින්, විභාගවලට මුහුණ දීම සඳහා අවැසි පෙර සූදානම ඇතිකරගත හැකි ය. එමෙන් ම ඕනැම වෙලාවක දී භාවිතයට ගත හැකි පරිදි එම ලිපි ගොනු සකස් කර ගත යුතු ය. ඒවා සකස් කිරීමේ දී, තමන්ට එම ලිපි ගොනු කියැවීමට හැකි වන පරිදි, ආකර්ෂණීය ලෙස නිර්මාණය කළ යුතු ය. එමඟින් සිසුවකුට අධ්‍යාපන කටයුතු නිසි පරිදි කළ හැකි බව බටහිර විද්වතුන් සනාථ කර තිබේ.

2. උගන්වන දෑ ඒ අවස්ථාවේදීම හිතට කාවද්දා ගැනීම

විද්වතුන් ප්‍රකාශ කරන ආකාරයට, යමක් උගැන්වූ මුල් අවස්ථාවේදීම අවබෝධ කර ගැනීම මඟින්, ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට හැකි ය. එමෙන් ම, තමන්ට ඒ නොතේරුනු යමක්, ඒ අවස්ථාවේදීම ගුරුවරයා ලවා පැහැදිලි කර ගැනීම ඉතාම වැදගත් ය. ගුරුවරයාගෙන් ඇසීමට මැලිකමක් දක්වන්නේ නම්, තමන්ට වඩා දැනුම් තේරුම් ඇති යහළුවකුගෙන් අසා ගැටලු අවබෝධ කර ගත යුතු ය. මේ මඟින් විභාගය ආසන්න සමයේ දී සිසුවකුට ඇතිවිය හැකි පීඩනය මඟහරවා ගත හැකි ය.

3. පාඩම් කළ කරුණු, තමන්ට අනන්‍ය පරිදි සටහන් ලෙස පෙළගැස්වීම

බටහිර විද්වතුන් මෙය හඳුන්වන්නේ ‘mind map’ යනුවෙනි. මෙහිදී තමන් කැමැති, තමන්ට කියවා ඉක්මනින් අවබෝධ කර ගත හැකි ආකාරයට පාඩම් සටහන් වර්ණවත් අයුරින් සකස් කළ යුතු ය. ඒ සඳහා විවිධ පෑන් වර්ග, විවිධ කොළ වර්ග ගෙන තිරස්, සිරස් යනාදී ඕනෑම ක්‍රමයකට සටහන පිළියෙළ කළ යුතු ය. ඒ ඒ පුද්ගලයාට ආකර්ෂණීය වන ලෙස සකස් කරන මේ සටහන්, පරිශීලනයට පහසු ලෙස ද ලබා ගත යුතු ය. විභාග මධ්‍යස්ථානය වෙත යෑමට පෙර පහසුවෙන් ගෙන කියැවීම‍ට හැකි පරිදි තම සටහන නිර්මාණය කිරීම, දක්ෂ සිසුවකුගේ ලක්ෂණයකි.

මෙලෙස සටහන පිළියෙළ කිරීමේ දී තමන්ට අපහසු කරුණු එක් ක්‍රමයකටත්, තමන්ට ලෙහෙසි කරුණු එක් ආකාරයටත් පිළියෙළ කිරීමට මතක තබාගත යුතු ය. මේ මඟින් සිසුවාට විභාගයට හොඳින් මුහුණ දීමට හැකි ය.

4. පාඩම් කරන අතරතුර කෙටි විවේකයක් ගැනීම

ඕනෑම සිසුවකුට දරා ගැනීමට හැකි මතක ශක්තියක් ඇත. පැය ගණනාවක් එක දිගට පාඩම් කිරීම අනවශ්‍ය කරුණක් බව බටහිර විද්වතුන් ද තම පරීක්ෂණ මඟින් සොයා ගෙන තිබේ. ඔවුන් සඳහන් කරන අන්දමට, පැය 02 කට වරක් විනාඩි 15 පමණ කාලයක් කෙටි විවේකයක් ගත යුතු ය. මේ විවේකය අතරතුර කාලයේ දී, සිතට එන අනවශ්‍ය දෑ බැහැර කර, තමන් කැමැති ගීතයක් ශ්‍රවණය කරමින් හෝ යම් ආහාරයක් හෝ පානයක් රස විඳීමට පුළුවන. සිසුවකු කොපමණ කාලයක් පාඩම් කළ ද, ඉන් මතකයෙහි රඳා පවතින්නේ ඉතාමත් කෙටි ප්‍රමාණයක් බව විද්වතුන් පැහැදිලි කර තිබේ.

5. තාක්ෂණික උපකරණ භාවිතය අවම කිරීම

නූතන යුගයේ තාක්ෂණ උපකරණ භාවිත කිරීමෙන් තොරව සිටීම අපහසු ය. එහෙත්, මනෝමූලික ලෙස යම් ගැටලුවක් දෙස බැලීමට, තාක්ෂණික උපකරණවලට නොහැකි ය. විශේෂයෙන් ජංගම දුරකථනය, රුපවාහිනී යන්ත්‍රය වැනි දෑ අනිසි ලෙස භාවිතය, පාසල් සිසුවකුට සුදුසු නොවේ. විනෝද වීමට යොදන කාලය සීමා කර, අධ්‍යයන කටයුතුවලට මුලිකත්වය දීම අනිවාර්යයෙන් ම කළ යුතු ය.

 

අන්තර්ජාලය ඇසුරිනි
මදාරා මුදලි‍ගේ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...