අඳ ගොළු බිහිරි චරිතයකට කැමැතියි | දිනමිණ

අඳ ගොළු බිහිරි චරිතයකට කැමැතියි

ශලනි තාරකා

නිතර පුංචි තිරයේ අහිංසක පෙම්වතියගේ භූමිකාවට පණ පොවන ඇය, රූප ස්වභාවයත්, රංගන කෞශල්‍යයත් හේතුවෙන් ප්‍රේක්ෂක ප්‍රසාදයට පත් රංගන ශිල්පිනියකි. තවමත් සොඳුරු යෞවනයේ කල්ගත කරමින්, විටෙක කෙළිලොල් සේ ම දඟකාර, තවත් විටෙක මුවැත්තියක සේ අවිහිංසක නෙකවිධ චරිත හරහා ප්‍රේක්ෂක ඔබේ ආලින්දයට පායන ඒ තාරකාවිය, ශලනි තාරකා ය.

* මේ දවස්වල ඔබ මොකද කරන්නෙ?

ලෝකාන්තරයො කියලා ටෙලි නාට්‍යයක් 6 වැනිදා ඉඳලා සියත ටීවි එකේ විකාශය වෙනවා. මේ දවස්වල ඒකෙ රූගත කිරීම්වලට යනවා. සියත ටීවි එකේ ම මේ මාසෙ මැද ඉඳන් විකාශය වෙන්න නියමිත සූරිය නෑයො ටෙලි නාට්‍යයෙත් මේ දවස්වල රූගත කිරීම්වලට යනවා. ඒ ඇරුණහම මල් හතයි කියලා ටෙලි නාට්‍යයක මේ මාසෙ ඉඳන් රූගත කිරීම් පටන් ගන්නවා. ඔය වැඩත් එක්ක තමයි මේ දවස්වල කාර්ය බහුල වෙලා ඉන්නෙ.

* ළඟදි සම්මානයක් එහෙමත් අරගත්තා නේද?

ඔව්. මට ස්ලිම් නීල්සන් පීපල්ස් එවෝඩ් එක ලැබුණා. ඒ ජනතා ටෙලි නාට්‍ය නිළිය විදිහට.

* මේ වෙනකම් රඟපාපු චරිතවලින් අභියෝගයක් වගේ දැනුණු චරිතයක් තියෙනවද?

කිහිපයක් ම තියෙනවා. ඒ අතරින් ලොකු ම අභියෝගයට මුහුණ දෙන්න වුණේ ලෝකාන්තරයෝ ටෙලි නාට්‍යයේ දී. ඒකෙ පළමුවැනි කොටස් 35 ඇතුළෙ මං එකිනෙකට වෙනස් චරිත හතරක් නිරූපණය කරනවා. ඒක මට විශාල අභියෝගයක් වුණා. ඒකට හේතුව එක ම ටෙලි නාට්‍ය ඇතුළෙ චරිත කිහිපයක් කරගෙන යන එක. ලෝකාන්තරයෝ ටෙලි නාට්‍ය නරඹන්න බොහොම ඉක්මනට ප්‍රේක්ෂයන්ට අවස්ථාව ලැබේවි.

* නව පරපුරේ නිළියන්ගෙන් වැඩිපුර ම කැමැති කාටද?

එක්කෙනෙක් කියලා නෑ. හැමෝට ම කැමතියි. හැමෝම වගේ මගෙ යාළුවො. ඒ නිසා කාත් එක්කවත් ප්‍රශ්න නෑ. මට එක්කෙනෙක්ව තෝරගන්න බෑ. ඊට පස්සෙ අනිත් අය මාත් එක්ක තරහා වෙයි.

* ඔබ බොහොම කැමැත්තෙන් ඉන්න, ඒත් තාමත් කරන්න ලැබුණෙ නැති චරිතයක් තියෙනවද?

අඳ ගොළු බිහිරි චරිතයක් කරන්න මම ආසයි. මෑතක මට ගොළු චරිතයක් නම් ලැබුණා. හැබැයි ඒකෙ මම ඇත්තට ම ගොළු නෑ. ගොළුයි වගේ රඟපානවා විතරයි. ඒ නාට්‍ය තාම විකාශය වුණේ නෑ. ඒ වුණත් මං කැමතියි අඳ ගොළු බිහිරි චරිතයක් කරන්න. මොකද ඒක ටිකක් අමාරු දෙයක්නෙ.

* ඔබ රඟපාන චරිතවල විවිධත්වයක් නෑ කියලා හිතෙන්නෙ නැද්ද?

මට එහෙම හිතෙන්නෙ නෑ. ඉදිරිය එන්න තියෙන නිර්මාණයි, මම මෑතක කරපු චරිත ඔක්කොමයි ගැන හිතලා බැලුවහම, ඒ චරිතවල විවිධත්වයක් තියෙනවා කියන දේ ප්‍රේක්ෂකයන්ට වුණත් දැනේවි. ඒත්, මුල්කාලෙදි නම් මට එක දිගටම අහිංසක පෙම්වතියගේ චරිතයට පණ දෙන්න වුණා. ඒ තිබුණු පෙනුමයි, වයසයි එක්ක ඒ දේ එහෙම වුණත්, මෑත කාලෙදි මට වෙනස් වෙනස් චරිත කරන්න අවස්ථාව ලැබුණා.

* ශලනි තාරකා කියන කෙනා නිළියක් විදිහට ස්ථාවර වෙන්නෙ මොන නිර්මාණයත් එක්කද?

එහෙම මට එක නිර්මාණයක් කියන්න බෑ. මොකද එක එක්කෙනා රසවිඳින විදිහ වෙනස්. එක එක්කෙනා මා අඳුරගත්තු නිර්මාණ වෙනස්. කෙනෙක් කැමැති දේකට තව කෙනෙක් කැමැති නැති වෙන්න පුළුවන්. ඒ නිසා මට හරියට ම කියන්න බෑ, නිළියක් විදිහට මං ස්ථාවර වුණේ මෙන්න මේ නිර්මාණයෙන් කියලා. කොහොමටත් රඟපාන්න පටන් ගත්ත ගමන්, මට නිළියක් විදිහට ස්ථාවරයක් හදාගන්න පුළුවන් වුණේ නෑ. ඒ වුණත් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු කිහිපයක් යද්දි, මං ඒ ස්ථාවරය හදාගත්තා.

කොහොම වුණත් මෑත කාලෙ දි නම් මට වැඩි ම ප්‍රතිචාර ලැබුණු සහ ජනප්‍රිය වුණු ටෙලි නාට්‍ය විදිහට මං දකින්නෙ ‘වස්සානයේ ප්‍රේමය’ යි.

* ඔබ නිළියක් නොවුණා නම් අද කවුරු වෙයිද?

කොහොමටත් ඔෆිස්වල කොටුවෙලා ඉන්න රස්සාවලට නම් මං ඒ කාලෙ ඉඳලම ආස නෑ. ඒ වුණත්, පාසල් යන කාලෙ ඉඳල ම කැමැත්තක් තිබුණා ගුවන් සේවිකාවක් වෙන්න. ගුවන් සේවිකාවක් වුණේ නැත්නම් ව්‍යාපාරයක් කරන්නයි හිතාගෙන හිටියේ. ඒත්, අන්තිමේ දි මොකක් හරි හේතුවක් නිසා මං නිළියක් වුණා.

* ඇත්ත ජීවිතේ දි ඔබ මොන වගේ චරිතයක්ද?

ඇත්ත ජීවිතේ දි මං හරි ම සාමාන්‍ය චරිතයක්. නිළියක් කියලා ලොකුවට ඔළුවට අරගෙන ඉන්න කෙනෙක් නෙවෙයි මම. මං කැමැති බෙහොම සරලව, සාමාන්‍ය විදිහට ජීවත් වෙන්නයි. ඒ වගේ ම මම බොහෝ උත්සවවලට යන, සද්දබද්ද තියෙන තැන්වල ගැවසෙන්න කැමැති කෙනෙකුත් නෙවෙයි.

බොහෝ වෙලාවට ගෙදර හිටියත් කරන්නෙ කාමරේ අස්සට වෙලා චිත්‍රපටයක් බලන එක. එහෙම නැත්නම් පොතක් කියවනවා‍. කොහොමටත් දරන්න බැරි තරම් විලාසිතා කරගෙන, මේක්අප් දාගෙන, ලොකුවට ඇඳගෙන ඉන්න කැමැති කෙනෙක් නෙවෙයි. සරලව ඉන්නයි කැමැති.

* ඔබ සිනමා නිර්මාණවල වැඩිපුර දකින්න නැත්තෙ ඇයි?

මම සිනමා නිර්මාණ හයකට විතර තමයි දායක වෙලා තියෙන්නෙ. ඒවායෙන් ‘ස්පන්දන’ කියන චිත්‍රපටිය විතරයි තාම තිරගත වුණේ. බෙනට් රත්නායකගෙ ‘නෙලා’ චිත්‍රපටය බොහෝදුරට මේ අවුරුද්දෙ අගෝස්තු, නැත්නම් සැප්තැම්බර් විතර වෙද්දි තිරගත වේවි. මම සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙනවා අඩුයි. එකක් තමයි මට ලැබෙන නිර්මාණ සමහර ඒවා මට හිතට එකඟව බාර ගන්න බැහැ. සමහර වෙලාවට පිටපතේ අවුල්සහගත තැන් තියෙනවා. ඒ වගේ ම මං කැමැති නෑ විකට චිත්‍රපටවල රඟපාන්න. මට චිත්‍රපටවලට බොහෝ ආරාධනා ලැබෙනවා වුණත්, සමහර චරිත බාරගන්න මං කැමැති නැහැ. මට ඕනෙ මිනිස්සුන්ට මොකක් හරි පණිවිඩයක් දෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මොකක් හරි වෙනසක් තියෙන චිත්‍රපටියකට දායක වෙන්නයි.

දැන් ඔය ‘නෙලා’ කියන චිත්‍රපටයෙත් බොහොම වෙනස් චරිතයක් තමයි මම කරන්නෙ. ඒක විරූපී කෙල්ලෙක්ගෙ චරිතයක්. ඒ වගේ වෙනස් දෙයක් නම් මම කරන්න කැමතියි. නැතුව ඔහේ කරන චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න කැමති නෑ. මේ අවුරුද්දෙත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. කොහොම වුණත් වෙනසක් තියෙන, හරයක් තියෙන දෙයක් නම්, මම අනිවාර්යයෙන් ම කරනවා.

* විවාහ වුණු දවසක ඔබේ සැමියා කිව්වොත් රඟපාන එක නවත්තන්න කියලා, එතකොට ඔබ මොන වගේ තීරණයක් ගනීවිද?

කවුරුත් කියන්න දෙයක් නෑ, මං කොහොමත් රඟපෑමෙන් අයින් වෙනවයි කියන තැන ඉඳන් තමයි විවාහ වෙන්නේ. ඒක මං මේ ක්ෂේත්‍රයට එන්න කලින් ම මට දාගත්තු නීතියක්. මේ දේ බොහොම කාර්යබහුල ක්ෂේත්‍රයක්. මම මේ ක්ෂේත්‍රයට එනකොට මට අවුරුදු 18යි. දැනට මං අවුරුදු 09ක් වෙනවා නිළියක් විදිහට වැඩකරන්න පටන් අරන්. ඒ කාලෙ ඇතුළෙ දි මං ලබපු අත්දැකීම් එක්ක මට නම් හිතෙන්නෙ විවාහ ජීවිතේ සාර්ථකව ඉස්සරහට අරන් යන්න ඕන නම් මං අර කලින් කිව්ව කැපකිරීම කරන්න ම වෙනවා. නැත්තම් දෙකෙන් එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා.

කාංචනා සිරිවර්ධන 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...