ජපානයේ අංක 1 තීන්ත ශ්‍රී ලංකාවට | දිනමිණ

ජපානයේ අංක 1 තීන්ත ශ්‍රී ලංකාවට

ජපානයේ කන්සායි තීන්ත සමාගම සිය නිෂ්පාදන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. කොග්ගල ප්‍රදේශයේ ඉදි කර ඇති නව නිෂ්පාදනාගාරය මඟින් දිවයින පුරා කන්සායි තීන්ත බෙදාහැරීමට කටයුතු සකසා තිබේ.

ලෝ ප්‍රකට කන්සායි තීන්ත සමාගම සහ කැපිටල් මහාරාජා සමූහ ව්‍යාපාරය එක්ව පිහිටුවනු ලැබූ කන්සායි තීන්ත ලංකා පුද්ගලික සමාගම ලොව නවීනතම තීන්ත නිෂ්පාදන යන්ත්‍රෝපකරණ සමඟ කොග්ගල ප්‍රදේශයේ පිහිටුවා තිබේ.

කැපිටල් මහාරාජා සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සභාපති ආර් රාජාමහේන්ද්‍රන් , කන්සායි ජපන් සමාගමේ ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානි සහ විධායක කමිටු සාමාජික කට්සුහිකෝ කාටෝ, ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය,කන්සායි නියුරොලැක් ඉන්දියා හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ කැපිටල් මහාරාජා සමූහ ව්‍යාපාරයේ සහ කන්සායි පේන්ට්ස් ලංකා සමාගමේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් කන්සායි තීන්ත මෙරටට හඳුන්වාදීම සිදුකෙරිණ.

තීන්ත ක්ෂේත්‍රයේ මීළඟ පෙරළිය පිළිබඳ අදහස් දක්වමින් කන්සායි ජපන් හි විධායක කමිටු සාමාජික, ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානි කට්සුහිකෝ කාටෝ මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකේය තීන්ත වෙළඳ පළේ සැබෑ වෙනසක් ඇති කිරීමට කන්සායි තීන්ත සූදානම් බවයි. ශ්‍රී ලාංකිකයින් සිය ආර්ථික දියුණුව පිළිබඳ සිතන ආකාරයටම ජීවන රටාවේ සහ අපේක්ෂා වල දියුණුව පිළිබඳව ද සිතන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. මේ නිසා ඊට සරිලන පරිදි අති නවීන ඊළඟ පරපුරේ ජපාන තාක්ෂණය සමඟ ඇතුළත බිත්ති සඳහා සුපිරි HD නිමාවකින් යුතු කන්සායි තීන්ත මෙරටට හඳුන්වා දෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට බලපාන නිවර්තන දේශගුණික සාධක පිළිබඳව මනා ලෙස සැලකිලිමත් වෙමින් එහි වෙනස්කම් වලට ගැළපෙන ආකාරයට බාහිර ආලේපනය සඳහා වන කන්සායි තීන්ත නිමවා ඇති බවත් කට්සුහිකෝ කාටෝ මහතා පෙන්වා දුන්නේය. උසස් තාක්ෂණය සහ ජලයට ඔරොත්තු දීමේ හැකියාව සහිත Mica Marble කන්සායි තීන්ත පිටත ආලේපනය සඳහා හදුන්වා දෙන බවද හෙතෙම පැවසීය.

කන්සායි තීන්තවල VOC අගය අවම මට්ටමක පැවතීම නිසා ආලේපනයෙන් පසු දුර්ගන්ධයක් ඇති නොවේ. එමෙන්ම මෙම තීන්ත වල ඇති අවම VOC අගය නිසා පාරිසරික තර්ජනයක් ඇති නොවන බවද කට්සුහිකෝ කාටෝ මහතා සඳහන් කළේය. තීන්ත ක්ෂේත්‍රයේ මීළඟ පරපුර නියෝජනය කරන කන්සායි තීන්ත ශ්‍රී ලාංකික නිවාස දීප්තිමත්ව , සවි ශක්තිමත්ව සහ සෞඛ්‍යසම්පන්නව තබනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

නව අදහස දක්වන්න