ත්‍රස්තවාදයක් නේද...!? | දිනමිණ

ත්‍රස්තවාදයක් නේද...!?

 කෝටි විසි ලක්ෂයක් වූ ජනතාව ගැන සලකා බලන්නේ ද නැතහොත් වෘත්තීය සමිති කිහිපයක ඉල්ලීම් ගැන සලකා බලන්නේ ද යන්න ය. මීට පිළිතුරු දෙකක් නැත. ඇත්තේ එකම එක පිළිතුරකි. පාලකයා ජනතාව ගැන කල්පනා කළ යුතු ය. පොදු ජනතාව යනු අංක එක බව සිහියේ තබා ගැනීම කාටත් වැදගත්ය. අපට මෙබඳු වැකි කිහිපයක් ලියන්නට සිදු වී ඇත්තේ; වෘත්තීය සමිති කිහිපයක් ජනතාව ප්‍රාණ ඇපයට ගෙන තම ඉල්ලීම් දිනා ගැනීමට සැලසුම් කරන නිසා ය. මේ උත්සාහය පරාජය කළ යුත්තේ ඉල්ලීම් මෙන් ම ඒවා ලබා ගැනීමට යොදන උපාය මාර්ග ද යුක්ති සහගත නොවන බැවින් ය.

මේ පසුබිම තුළ පැහැදිලි කරගත යුතු තවත් සුවිශේෂ සාධකයක් තිබේ. වෘත්තීය සමිති මේ මොහොතේ හැසිරෙන විලාසයෙන් ‍ පෙනී යන්නේ ඔවුන් ආණ්ඩුව යටත් කර ගැනීම සඳහා උපාය මාර්ගිකව ක්‍රියා කරන බව ය. ඇතැම් වෘත්තීය සමිති නායකයන් කෙළින් ම කියා සිටින්නේ වත්මන් ආණ්ඩුව හා එහි නායකයන් ගෙදර යවන බව ය. මෙය ජනතාව වෙත එල්ල කරන අභියෝගයක් ලෙස ද, තර්ජනයක් ලෙස ද සැලකිය හැකි ය. අධිකරණය ලබා දෙන තීන්දු වෘත්තීය සමිති විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. එය බරපතළ ගැටලුවක් වන්නේ වෘත්තීය සමිති රටේ නීතියට අභියෝග කරන නිසා ය. අධිකරණයේ තීන්දු හිස් කොළ කැබලි බවට පත් කිරීමේ හැකියාවක් වෘත්තීය සමිතිවලට ඇතැ’යි එක් වෘත්තීය සමිති නායකයෙක් කියා සිටියේ ය. වෘත්තීය සමිති එන්නේ මොකාටද යන්න මෙයින් පැහැදිලි වේ.

මේ වෘත්තීය සමිති කිහිපය පසුවන්නේ ආණ්ඩුවට පාලකයන්ට හා නීතියට අභියෝග කරන තැනක ය. තව පැත්තකින් ඔව්හු ජනතාව ද අභියෝගයට ලක් කරති. එහි යටි අරුත වන්නේ බලය කොල්ලකෑමේ තැනකට වෘත්තීය සමිති තල්ලුවෙමින් සිටින බව ය. රජයේ තීන්දු හා තීරණ මේ අයගේ පිළිගැනීමට ලක් වන්නේ නැත. ඔවුන් පසුවන්නේ ඒවා නොසලකා හරිමින් දැඩි විවේචන එල්ල කරන තැනක ය. ඇතැම් ඇමැතිවරුන් උක්ත වෘත්තීය සමිතිවල දැඩි විවේචනයට හසුවන්නේ සදාචාරය ඉක්මවා යන අයුරින් ය. මේ සිද්ධි දාමය පිටුපස දේශපාලනයක් ද තිබේ. රජයට එරෙහි දේශපාලන ව්‍යාපාරවල වේදිකාවල දී ද අදාළ වෘත්තීය සමිති නායකයන් දැක ගත හැකි ය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක වෘත්තීය සමිති ව්‍යාපාරයට විශාල ගෞරවයක් හා පිළිගැනීමක් තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩු පත් කිරීමේ බලය ද නායකයන් බිහි කිරීමේ බලය ද ඇත්තේ ජනතාවට මිස වෘත්තීය සමිතිවලට නොවේ. අපට පෙනෙන හැටියට වෘත්තීය සමිති කිහිපයක් යන්නේ වැරැදි පාරේ ය.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් ද, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් ද ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් ද වැඩ වර්ජනයක් සැලැසුම් කර තිබේ. ඇතැම් විට මේ සඳහා තවත් වෘත්තීය සමිති එකතු වන්නටත් පුළුවන. සෞඛ්‍යය, ප්‍රවාහනය, ජල සම්පාදනය, විදුලිය සැපයුම, තෙල් බෙදා හැරීම යන ක්ෂේත්‍රවල වර්ජනයක් ඇති වුවහොත් ඒ මගින් ජන ජීවිතය අවුල්වන බව අමුතුවෙන් කිව යුතු නැත. වෘත්තීය සමිති කිහිපයක අභිප්‍රාය එය බවද පෙනී යයි. පෞද්ගලික අංශය මේ සම්බන්ධයෙන් වැදගත් ප්‍රතිචාරයක් දක්වා නැති බව ද කිව යුතු ය.

වෘත්තීය සමිති ගණනාවක ප්‍රවෘත්ති සාකච්ඡාවලින් පෙනී යන්නේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් බවය. මුලින්ම ඔවුන්ගේ ඉල්ලීම වූයේ සයිටම් ප්‍රශ්නයට විසැඳුමක් ලබා දෙනු යන්න ය. දැන් එය සයිටම් වසා දමනු යන ඉල්ලීම වෙත පරිවර්තනය වී ඇත. මේ ගැටලුව සම්බන්ධයෙන් වෘත්තීය සමිති ඉතිහාසය දෙස බලන විට ද එය පැහැදිලි වේ. එදා වෘත්තීය සමිති ක්‍රියාත්මක වූයේ වැඩකරන පන්තියේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ය. නැතහොත් ජනතාවට සහන ලබා දීම සඳහා ය. රටේ ස්වාභාවික විපත්, ව්‍යසන හා වසංගත ඇති වූ අවස්ථාවල ජනතාවට සහන සැලසීම සඳහා වෘත්තීය සමිති ඉදිරිපත් වූ ආකාරය අපට මතක ය. දැන් එය මුළුමනින්ම කණපිට පෙරැළී ඇත. අද වෘත්තීය සමිති ගණනාවක් ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවට එරෙහි දේශපාලන ව්‍යාපාරවල ඉලක්ක ජයග්‍රහණය කරවීම සඳහා යැයි කියන්නට පුළුවන.

ආණ්ඩුවක් හැබෑ නම්; එය පළමුව ජනතාවට වගකිව යුතුය. කිසිම ආණ්ඩුවක් වෘත්තීය සමිතිවලට යටත් වන්නේ නැත. වෘත්තීය සමිතිවලට කන්දිය යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් යුක්තිසහගත නම් පමණි. අනෙක් අතින් කම්කරු ප්‍රජාවට හා ජනතාවට අහිතකර දේවල් ආණ්ඩුව නොකළ යුතුය. යහපාලනය යනු වෘත්තීය සමිතිවල පදයට නැටීම නොවන බව මේ වනවිටත් පුරවැසි සංවිධාන ප්‍රකාශ කර තිබේ. එක අතෙකින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට නොබියව මුහුණදීමේ හැකියාවක් ශක්තිමත් ආණ්ඩුවකට තිබිය යුතුය. එහිලා වැදගත් ම කාරණය වන්නේ වෘත්තීය සමිති මර්දනය කිරීම නොව; මහජන සේවා අඛණ්ඩව පවත්වා ගැනීම ය.

මේ සඳහා යෝජනා වී ඇත්තේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා පුහුණුව ලත් විශේෂ බළකායක් පවත්වා ගැනීම ය. ඕනෑම ආණ්ඩුවක් මෙබඳු අවස්ථාවල දී යොදා ගනු ලබන්නේ ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යි. වසර තිහක යුද්ධයකට සාර්ථකව මුහුණ දුන් හමුදාවක් හා පොලීසියක් අපට තිබේ. සෑම ක්ෂේත්‍රයක් ගැන ම පුහුණුව ලත් විශේෂඥයෝ ද මේ අය අතර සිටිති. වෘත්තීය සමිති තම සීමාව ඉක්මවා ක්‍රියා කරන්නේ නම්; බළකාය වහාම වැඩ සඳහා යෙදවිය යුතුය. අලුත්ම ආරංචිවල හැටියට මේ වනවිටත් එබඳු බළකායක් සිටී. ජනතාව ප්‍රාණ ඇපයට ගැනීමේ ක්‍රියාවලිය නැවැත්විය හැක්කේ එබඳු විශේෂ බළකායකින් පමණි.

වෘත්තීය සමිති මේ මොහොතේ වටහාගත යුතු එක් ප්‍රධාන සාධකයක් තිබේ. එනම්; මාළුවාට ජලය මෙන් වෘත්තීය සමිතිවලට ද ජනතා සහාය අවශ්‍ය බව ය. අද වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ ජනතා අභිලාෂයන්ට එරෙහිව ය. මේ නිසා වෘත්තීය සමිතිවලට එරෙහිව ජනතා පෙළගැස්මක් ඇතිවන්නටත් පුළුවන.

නව අදහස දක්වන්න