අන්තර්වර්තික නළුවාගේ අසහාය භූමිකාව | දිනමිණ

අන්තර්වර්තික නළුවාගේ අසහාය භූමිකාව

 සිංහල සිනමාවේ මහා පුරුෂයන් තිදෙනෙක් සිටිනවා. ඒ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම හා ටෝනි රණසිංහ. මේ නම් මා මෙසේ පෙළගස්වා ඇත්තේ ඔවුන්ගේ විශේෂත්වයේ පරිමාණය අනුවයි.

ජෝට සාපේක්ෂව ගත්විට ටෝනිත් ගාමිණීට සාපේක්ෂව ගත්විට ජෝත් සීමාසහිත ප්‍රතිභාවකින් යුතු නළුවන් යැයි කියන්නට පුළුවන්. ජෝටත්, ටෝනිටත් ජනප්‍රිය ධාරාවට අයත් චිත්‍රපටවල වට්ටෝරු අං‍ගෝපාංග වන නටන්න, සටන් කරන්න බැහැ. ඒත් ගාමිණීට ඔය ඕනෑම දෙයක් කළ හැකිව තිබුණා. ‘ඔහොම හොඳද?’ චිත්‍රපටයේ කෙසෙල් කැනක් ද කර තබාගෙන කොළඹ නගරයේ ඇවිඳින ගාමිණීත් ‘නිධානය’ සිනමා පටයේ විලී අබේනායක ලෙස රඟන ගාමිණීත් මොනතරම් එකිනෙකාට වෙනස් ද?

‘තුංමන්හන්දිය’, ‘බඹරු ඇවිත්’, ‘වැලිකතර’, ‘පුරහඳ කළුවර’, ‘සිරිබෝ අයියා’ වැනි සිනමාපටවල ජෝගේ රංග චාතුර්යය අග්‍රගන්‍යයි‍.

ගාමිණී වැඩි ලකුණු ප්‍රමාණයකින් ජයගත්තත් ‘වැලි කතර’ චිත්‍රපටයේ ජෝ ගාමිණී සමඟ කරට කර රඟපානවා.

ටෝනිට එක්තරා අවාසනාවක් වුණේ ඔහුට විවිධාකාර චරිත රඟපාන්නට චිත්‍රපට නොලැබීමයි. ඒ අතින් ගාමිණීත් ජෝත් වාසනාවන්තයි.

ටෝනි රඟපෑ වානිජ ධාරාවේ එකම චිත්‍රපටයක්වත් බොක්ස් ඔෆිස් වාර්තා නොතැබුවත් විස්මයට තුඩුදෙන කාරණාව වන්නේ ඔහුටත් තරු ගුණයක් (Star) පිහිටා තිබීමයි. එකල ටෝනිගේ කොණ්ඩය අනුකරණය කළ රසිකයන් හිටියා. ඒ කොණ්ඩයට කිව්වේ ‘ටෝනි කට්’ කියලා. විජය කුමාරතුංග හැරුණුකොට අපේ සිනමාවේ සිටි ලස්සනම කඩවසම්ම ආකර්ෂණීය ගුණයෙන් හෙබි නළුවකු වූයේ නම් ඒ ටෝනි. මාලිනි ෆොන්සේකා වැනි නිළියන් පවා එකල ටෝනිට ප්‍රියබැඳි බව සඳහන් කර තිබෙනවා.

ටෝනි සිනමා රංගනයට යොමුවන්නේ වේදිකා නාට්‍ය ඔස්සේ. බොහෝ නළුවන් වේදිකා‍ෙවත් සිනමාවෙත් මාධ්‍ය වෙනස හඳුන්ගන්නේ නැහැ. වේදිකාවේ පවතින අධිරංගනය සිනමාවට අනුචිත බව තේරුම් ගන්නේ නැහැ. වේදිකාවේ අතිදක්ෂ නළුවන් සිනමාවේදී අසාර්ථක වන්නේ එබැවින්. විජයරත්න වරකාගොඩ, නාමෙල් වීරමුනි, ප්‍රේමා ගනේගොඩ, මර්සි එදිරිසිංහ යන අය මීට නිදසුන්. ඒත් ටෝනි හෝ මාලිනි ෆොන්සේකා අවබෝධයෙන් හෝ අන්තර්ඥානයෙන් මෙය වටහාගත් නිසා ඔවුන් සිනමාවට උරුම රංග සම්ප්‍රදායට හැඩගැසුණා.

ටෝනි වේදිකාවට සම්බන්ධ වුණේ සුගතපාල ද සිල්වා ප්‍රමුඛ අපේ කට්ටියේ නාට්‍යවලට. ඔවුන් නිසැකවම එකල සිටි රැඩිකල් බුද්ධිමතුන් ලෙස හඳුන්වන්නට පුළුවන්. ටෝනි ඔවුන්ගෙන් ‍නොමද පෝෂණයක් ලැබුවාට සැකයක් නැහැ. මාලන් බ්‍රැන්ඩෝ, දිලිප් කුමාර් මෙන්ම ටෝනිත් හොඳට පොතපත කියවූ නළුවෙක්. (ඔහු ලේඛන කලාවට පවා යොමුවුණා) එයින් තමන්ගේ බුද්ධිය පළල් කරගන්නට ඔහුට හැකිවුණා.

එතෙක් කරමින් සිටි රැකියාවෙන් අස්වූ ටෝනි චිත්‍රපට රංගනය තම එකම වෘත්තිය බවට පත්කර ගත්තා. ඒත් ඔහුට ප්‍රතිපත්තියක් තිබුණා. ඔහු දෙමළ අනුකාරක චිත්‍රපටවල රඟපෑම පිටුදුටුවා. ‘රන්රස’ එවැනි චිත්‍රපටයක්. එය ‘පාලුම් පලවුම්’ නමැති දෙමළ චිත්‍රපටයේ අවඥාසහගත අනුකරණයක්. ටෝනි ප්‍රතික්ෂේප කළ චරිතය පසුව රඟපෑවේ අසෝක පොන්නම්පෙරුම.

ටෝනි වේදිකාවේ සුගතපාල ද සිල්වාගේ නළුවෙක් නම් සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නළුවකු යැයි කියන්න පුළුවන්. ලෙස්ටර්ටම ආවේණික වූ අධ්‍යක්ෂණ ශෛලිය තුළ නළු නිළියන් වෙතින් සුවිශේෂී රංග සම්ප්‍රදායක් බිහිව තිබෙනවා. පුන්‍යා හීන්දෙණිය, හෙන්රි ජයසේන, අයිරාංගනී සේරසිංහ, ශ්‍රියානි අමරසේන මෙන්ම ටෝනිගේද රංග ලීලාව ප්‍රකට කරන්නේ ඒ යටතේයි.

මුලදී ටෝනි දුටුවිට ‘මිනිහා නම් කොටහේන පැත්තේ ක්‍රිකටර් කෙනෙකු වගේ’ යැයි ලෙස්ටර් තරමක සාවඥව කිව්වත් ඇත්තටම ලෙස්ටර්ගේ සිනමාවේ ප්‍රධාන රංග ප්‍රකාශකයා ටෝනි. ‘දෙලොවක් අතර’, ‘අහසින් පොළොවට’ යන චිත්‍රපට දෙක උදාහරණ සඳහා ප්‍රමාණවත්.

ලෙස්ටර්ගේ සිනමාව මනුෂ්‍ය ජීවිතයේ චිත්ත චෛතසිකයන් ගවේෂණය කරන සිනමාවක්. ඔහුගේ කතා නායකයන් පවා බිදුණු පෞරුෂයකින් යුතු අන්තර්වර්තික (INTROVERT) චරිත. ඒ කියන්නේ හදවත ඇතුළට නැමුණ චරිත. ඇතැම්විට ඔවුන් නිව්රෝසිස් ව්‍යාකූලතාවයට පත් මානසික රෝගීන් දැයි සැක සිතෙන තරම්. විලී අබේනායක (නිධානය) කාශ්‍යප රජු (ලී ලෝසන්) සිලිඳු (ජෝ අබේවික්‍රම) සැතිගල (ජෝ අබේවික්‍රම) මෙයට සාධක.

මෙබඳු චරිත රඟපාන්නට වඩාත් සුදුසු නළුවන් දෙ‍දෙනෙක් අපේ සිනමාවේ ඉන්නවා. එක්කෙනෙක් හෙන්රි ජයසේන. අනිත් නළුවා ටෝනි.

ලෙස්ටර්ගේ චිත්‍රපටවලින් බැහැරව ගත්විට පරසතුමල් (සහයක චරිතයක් වුණත්) හන්තානේ කතාව, හුලවාලි, දුහුළු මලක්, පවුරු වළලු යන සිනමාපටවලද ටෝනිගේ ප්‍රශස්තතර චරිතාංග නිරූපණ දකින්නට පුළුවන්.

සිනමා ලේඛක ජීවන්ත දයානන්ද ටෝනි හා ඔහුගේ අද්විතීය රංගනයක් ඇතුළත් ‘අහසින් පොළොවට’ චිත්‍රපටයේ දොස්තර සරත් ගැන අගනා පොතක් ලියා පළකර තිබෙනවා. ඒ තමයි ටෝනි දොස්තර සරත් ලෙස අහසින් පොළොවට සොඳුරු සිනමා ආවර්ජනය. ටෝනි සමඟ මේ චරිතය පාදක කරගෙන කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් හා තව ලිපි කීපයක් මෙයට අඩංගුයි. ‘අහසින් පොළොවට’ රංගනය ගැන අලුතින් සිතා බලන්න පුළුවන් කරුණු රැසක් මේ ‍ෙපාතේ තිබෙනවා.

සුනිල් මිහිඳුකුල
[email protected]


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...