මකුණු සටන් ක්‍රමය

 “ටොම්සන් මහත්තයා පළමුවැනි ප්‍රශ්නය ගන්නවද?” කියා උන්නැහේ ඇසුවේ උදේ තේ බොන ගමන්ය.

“ඔව්.. මොකක්ද ප්‍රශ්නේ...? ඕනැ ප්‍රශ්නයක් අහන්න... කම්කරු දිනේ ගැනද? ඒක නම් ඉවරයි නේ. එහෙම නැතිනම් ඊ ළඟට එන වෙසක් පෝය ගැනද? එහෙමත් නැතිනම් ඉඩ කඩම් ලියා ගන්න තමන්ගේ දෙමාපියන් මරා දමන අජාසත්ත පුත්තු ගැනද? කොහොම වුණත් තුන්වැනි එක ගැන නම් අහන්න එපා... ඒ ගැන කතා කරන්නවත් මං කැමති නෑ...” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“හරි.. ටොම්සන් මහත්තයා... මගේ පළමුවැනි ප්‍රශ්නය මේකයි... මකුණන්ට පුළුවන්ද කෝච්චියක් නවත්තන්න..? ” කියා උන්නැහේ ඇසුවේ මහ හපන්කමක් කළ පරිදිය.

“මේක මේ දැනුම මිනුම ප්‍රශ්නයක්ද? නැතිනම් අභියෝග්‍යතා ප්‍රශ්නයක්ද?” කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

“මං හිතන්නේ ඕකට හොඳම උත්තරේ දන්නේ අර ස්ටේෂන් මාස්ටර්... අර පොල්ගහවෙල ස්ටේෂන් මාස්ටර්... එයාගෙන් ඇහුවා නම් හොඳට කියලා දෙයි...” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“හරි.. ඉතින් මට දැන් වෙලාවක් නෑ නේ... පොල්ගහවෙල යන්න... ඒ හින්දා ටොම්සන් මහත්තයාම උත්තර දෙන්න...” කියා උන්නැහේ කීවේය.

“එහෙම කියන්න එපා.. දැන් තාක්ෂණේ දියුණුයි නේ... ඉන්න මං පොල්ගහවෙල ස්ටේෂන් මාස්ටර්ට දුරකථනයෙන් කතා කරන්නං... හලෝ... මේ පොල්ගහවෙල ස්ටේෂන් මාස්ටර්ද?...එහෙමනං පොඩ්ඩක් ඉන්න... මේ දුරකථන ඇමතුමක් තියෙනවා...” කියා ටොම්සන් මහත්තයා දුරකථනය උන්නැහේට දුන්නේය.

“ආ... පොල්ගහවෙල ස්ටේෂන් මාස්ටර් මහත්තයා නේද? මං මේ කතා කරන්නේ උන්නැහේ...”

“ඔව්... ඔව්.. උන්නැහේ මහත්තයා... මොකක්ද ප්‍රශ්නේ... කෝච්චි ප්‍රශ්නයක් නම් වෙන්න බෑ.. දැන් හරි වෙලාවට කෝච්චිය දුවනවානේ.. එහෙම නේද උන්නැහේ මහත්තයා....?”

“හරි.... දැන් දිව්වාට කමක් නෑ... මං අහන්නේ මකුණන්ට පුළුවන්ද කෝච්චියක් නවත්තන්න..?”

“ඔය අහන්නේ... මේ අපේ මකුණෝ කාලා නිදා ගන්න බැරි වෙලා... කෝච්චි නවත්තපු එක නේද? හැබැයි ඒකෙදි වුණේ නම් දුවන කෝච්චියක් නවත්තපු එක නම් නෙවෙයි... දුවන්න තිබුණු කෝචිචියක් නවත්තලා තියාපු එක.. ඒ වුණාට මේ ප්‍රශ්නේ හැටියට ඔය ප්‍රශ්නෙට දෙන්න පුළුවන් හොඳම උත්තරේ තමයි ඔව් කියන එක... පොඩ්ඩක් ඉන්න... දැන් මේ මා ළඟ ඉන්නවා මකුණු නියාමක මහත්තයෙක්.. ඕං හොඳට අහගන්නකෝ...”

“හලෝ ඔය... මකුණු නියාමක මහත්තයෙක්ද?” කියා උන්නැහේ ඇසුවේය.

“කෙහෙම්මල.. මං මේ දුම්රිය නියාමකයෙක්... ඇයි මොකක්ද ප්‍රශ්නේ?”

“ප්‍රශ්නේ මේකයි... මකුණන්නට පුළුවන්ද කෝච්චියක් නවත්තන්න...?”

“මකුණන්ට පුළුවන් නවත්තලා තියෙන කෝච්චියක් දුවන්නේ නැතිව තියා ගන්න... මේකනේ උන්නැහේ.... මේකේ මකුණෝ පිරිලා... අපිට එදා නිදා ගන්න කොහොමවත්ම බැරි වුණා... ඉතින් කොහොමද නිදිමතේ කෝච්චි එළවන්නේ.... ඒකට ඔහොම කතා කරන්න එපා... මේක මේ මැයි දිනේට අල්ලලා වෙච්චි දෙයක්... මේක මේ අලුත් සටන් උපක්‍රමයක්... කම්කරු අයිතිවාසිකම් දිනා ගන්න අපි මේක තව සංවර්ධනය කරලා ඉස්සරහට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා...” කියා මකුණු නියාමක මහත්තයා උත්තර බැන්දේය.

“හරි... ඉතින් මං මේ නොදන්නා කමට අහන්නේ... දැන් මකුණු නියාමක මහත්තයෝ... ඔය කාමරේ ඇඳන්වලට මකුණෝ ආවේ එදාමද? එහෙම නැතිනම් ඊට කලිනුත් හිටියද?” කියා උන්නැහේ ඇසුවේය.

“ඒක මං දන්නේ නෑ... ඊට කලිනුත් ඉන්න ඇති... හැබැයි අපට නම් කොහොමවත් නිදා ගන්න දුන්නේ නෑ... එහෙං අනිනවා.. මෙහෙන් අනිනවා...”

“ඒ කියන්නේ මහජනයාට සේවය කරන රජයේ සේවකයෝ වාගේ.... එහෙම නේද?”

“ඒක ඉතින් මං දන්නේ නෑ...”

“එහෙම නෙවෙයි... මකුණු නියාමක මහත්තයා.... ? නිදා ගන්න ආවාම මකුණෝ හින්දා නිදා ගන්න බැරිනං ඒ වෙලාවෙම ස්ටේෂන් මාස්ටර්ට කියන්න එපායැ... ඒකනේ කරන්න තිබුණේ...”

“ඒක නං එහෙම තමයි.. ඒ වුණාට මකුණෝ අපිට කිව්වානේ... කියන්න එපා කියලා.. මොකද? එහෙම කිව්වා නං එදාම බේත් ගහන්න තිබුණා නේ... ඒකයි... අනික මේක මාධ්‍යයේ ලොකු වාර්තාවක් වෙන්නත් එපායැ... අන්න ඒ හින්දා තමයි... අපි රෑම කිව්වේ නැත්තේ... අර ගමේ කතාවක් තියෙනවා නේ... පැදුරු ආනෙන් ගත්ත පැදුර දිග ඇර ගන්න බැරුව එළි වෙන කං පැදුර දිග ඇර ඇර හිටපු කතාව...”

“ඒ මොකක්ද?”

“ඇයි අර... ගම ගෙදරට ආපු බෑනට නිදා ගන්න පැදුරක් දුන්නා...ඒක පැදුරු ආනේ ඔතලා දාලා තිබුණු එකක්.. ඉතින් බෑනා පැදුර එක පැත්තකින් දිග ඇරලා අනිත් පැත්ත දිග අරින කොට දිග ඇරපු පැත්ත ආයෙත් රෝල් වෙලා.. ඒ විදිහට බෑනා එළි වෙන කං පැදුර දිගෑරලා... නිදා ගන්න බැරිවෙලා.. ඒ වාගේ තමයි අපටත් වුණේ...”

“ඒක කමක් නෑ කියමුකෝ... එතකොට මේ උදේ ගමන් යන්න හිටපු දාස් ගානක් මහජනයා අතරමං කරලා දාන්න පුළුවන් මේ වගේ කාරණාවක් හින්දා... එහෙම නේද? ඒක මේ මැයි දිනේටත් කරපු අපහාසයක් කියලා හිතෙන්නේ නැද්ද?”

“නිදා ගන්න එක අපේ අයිතිවාසිකමක් නේ උන්නැහේ...”

“නිදා ගත්තට කමක් නෑ.. කොහොමත් රජයේ සේවයේ වැඩි හරියක් නිදා ගන්න එකනේ කරන්නේ... ඒ වුණාට මෙහෙම නිදා ගැනිල්ලක් නං මීට කලින් වෙලා නෑ... කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන මැයි දිනේ කට උඩට තියාගෙන, අර අහිංසක මහජනයාගේ බදු මුදලින් වැටුප් ලබා ගෙන, මේ ප්‍රශ්නෙට කිසිම සම්බන්ධයක් නැති මහජනයාගෙන් පලි ගත්ත වැඩක් නේ මේක.. නිකංවත් හිතුණේ නැද්ද මේ වගේ ප්‍රශ්නයක් විසඳා ගන්න මේ වගේ තකතීරු වැඩක් කරන්නේ නැතිව වෙන සාධාරණ ක්‍රමයක් යොදා ගන්න...”

“තිබුණා.. එහෙම වුණා නම් මේ අලුත් සටන් ක්‍රමය බිහි වෙන්නේ නෑ නේ...”

“ඒ කියන්නේ...”

“ඇයි මකුණු සටන් උපක්‍රමය... මේක මේ මැයි දිනෙන් පස්සේ වඩාත් සංවර්ධනය කරලා කම්කරු සටන් ක්‍රමයක් හැටියට ලෝකයට හඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා... ඉතින් ඒක බිහි වෙන්නෙත් ශ්‍රී ලංකාවෙන් නේ.. ඉතින් කාටද ආඩම්බර” කියා මකුණු නියාමක මහත්තයා හොක් හොක් ගා සිනහසුණේය.

බන්දුල පී දයාරත්න
[email protected]


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...