තාත්තා කෝ? | දිනමිණ

තාත්තා කෝ?

 නිශ්ශබ්දතාවය සහනය අත්පත් කර දෙන බව සැබෑ මුත් කුටුම්භයෙහි නිශ්ශබ්දතාව මා තුළ සියුම් බියක් ජනිත කරවයි. දරුවන් හැන්දෑවේ පැයක් දෙකක් සෙල්ලම් කිරීම මහා අපරාධයක් සේ හැඟින. ගෘහ මූලිකයා දෝෂා‍‍රෝපණද ගුටිබැටද අවසන අසාමාන්‍ය නිහැඬියාව බිඳ දැමුවේද හැන්දෑවකමය.

“මං කියන දේ අහන්ඩ බැරි නම් එකෙකුටවත් මං තවත් මෙතන ඉඳලා වැඩක් නෑනේ..”

සැමියා කැදැල්ල හැරදමා පිටව යන කල බිරින්දෑගේ කාර්යභාරය විය යුත්තේ දෙපා වැළඳගෙන හඬාවැටීමද? නොයන්නැයි ආයාචනා කිරීමද?

මම ඒ කිසිවක් නොකළෙමි. ඔහු යන්නට ගියේ ය. මම නිහඬව බලා සිටියෙමි. අඹුදරුවන් අතහැර පිටව යන්නට තරම් දෙයක් සිදුවූ බව මට ඒත්තු නොයයි. එකිනෙකා වටහාගන්නට තැත්කළේ නම් ගැටලුව විසඳාගැන්ම අතිශයින් පහසු හා සරල කටයුත්තක් විය හැකිව තිබිණ.

“අම්මේ තාත්තා කෝ ?”

ඉන් ඉස්සෙල්ලාම ඒ ප්‍රශ්නය ඇසුවේ බඩපිස්සාය. ඔහු තාත්තාගේ තුරුලේ නැළවෙන්නට ප්‍රිය කරයි. තාත්තාගේ පහස නො ඉවසා බෙරිහන් දෙන්නේ මද්දු පමණකි.

මවකගේ භූමිකාව තරම් අසීරුතා හා දුෂ්කර භූමිකාවක් තවත් ඇත්දැයි සිතමින් මම මුසාවක් තෙපලමි.

“තාත්ත ගියා වත්තට”

හැම හැන්දෑවකම කලාඔය අද්දර වත්තට යාමට තාත්තා පුරුදුව සිටින බැවින් එය හුදු මුසාවක්ම නොවීය.

“කෝ අම්මෙ තාත්තා?”

තාත්තා නොනවත්වා සිටින කල

“අතාරින්ඩ ...අනේ මාව අතාරින්ඩ.. අයියෝ අම්මේ මාව බේරාගන්ඩ” යි විලාප දෙන මද්දු පවා තාත්තා පිළිබඳව විපරම් කරයි.

“මං කී දෙනකුට උත්තර දෙන්ඩද... අනේ මටත් හිතෙනවා මේ සේරම දමල ගහල යන්ඩ....” යි නොමනාපයෙන් කොඳුරමින් වුව මම සාමාන්‍ය පරිදි හැසිරෙන්නට වෙහෙසෙමි.

“පපා බැන්නද අම්මෙ....?”

පුංචි පුතා සිය පියා අමතන්නේ පපා යන සුරතල් නාමයෙනි. නිවුන් පුතුන්ට ඔහු පපා පැටික්කාය. මා මමා පැටික්කිය.

“බනින්න ඕන තමා පාඩම් නොකර නටනවට” යි මම ව්‍යාජ කෝපයක් මවාපාමි.

සිය පියා කැටිව ඒමට හැන්දෑවේ වත්තට ගිය ලොකු පුතා ආපසු ආවේ ළතැවුලිනි.

“තාත්තා එන්න බෑ කීවා අම්මේ...”

මම නිහඬවම බත් මුලක් ඔතා දුන්නෙමි.

“බත් යවලා හරියන් නෑ අම්මේ. තාත්තා ගෙදර එන්න ඕනනේ”

ඔහු කෝපයෙන්ද ශෝකයෙන්ද හඬපෑවේය.

“එන්නෙ නැත්තං උස්සගෙන එන්න බෑනේ. ගෙදරින් යන්න තරම් දෙයක් සිද්ධ වුණෙත් නෑනේ...” මම සන්සුන් ලෙස කීවෙමි.

“හරි හරි.. දැං ඉතිං කොහොම හරි තාත්තා ගියානෙ. අම්මගෙත් වැරදි තියෙනවනෙ. අම්මා මල්ලිලාට ගහන්නෙ බනින්නෙ නෑ. ඔහේ ඕන දෙයක් කරන්න ඇරලා බලාගෙන ඉන්නවා. ඒ හින්දනේ මේ සේරම..”

“දඬුවම් කරන්න මම කැමති නෑ. ලොකු සියලු සත්ත්වයෝ දඬුවමට බයයි, කියලා බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවනේ..”

“අම්ම ගිහිං තාත්තව එක්කගෙන එන්න..”

කුලුඳුල් දරුවා ලෙස ඔහුට සිය පියා නැතිවම බැරි බව මම දනිමි.

“මම වැරැද්දක් කරල නෑ. ඒ නිසා මම යන්නෙ නෑ. අඹු දරුවො දාලා ඔහොමත් යනවද මිනිස්සු.”

දෙවැන්නා සිනාසුණේය.

“අඹුදරුවො දාලා ගියානෙ අම්මේ සිද්ධාර්ථ කුමාරයත්..”

“ඒ ගියේ උතුම් අරමුණක් වෙනුවෙන්. අනිත් එක යසෝදරාට වගේ එක එක සෘතුවට හරියන මාලිගා මට නෑනේ..”

මාද විවාද තර්කවිතර්ක හා සෝ සුසුම් මධ්‍යයේ රැයක් ගෙවී ගියේය. මරණය තෙක් වෙන් නොවන්නට සපථකළ යුවළකගේ ඒකායන ප්‍රාර්ථනය ප්‍රීතිමත් යුග දිවියක් නොවේද? අඬදබර හා අනේක සිත්තැවුල් ආදියෙන් අඩුවක් නොවූවද හිමිදිරියේ අවදි වූ මට වැන්දඹුවකගේ කනස්සල්ල දැනිණ.

“තාත්තා ආවද අම්මේ..?”

නිවුන් පුතුන්ගේ පළමු ප්‍රශ්නයෙන් මම තිගැස්සුණෙමි.

“ඇයි අම්මා බොරු කියන්නෙ...? පොඩි දෙන්නම රවට්ටන්න හොඳ නෑනේ. ඇත්තටම කියන්න කෝ තාත්තා තහරවෙලා ගිහිං කියලා”

මද්දුගේ කතාවෙන් මුහුණු බෙරිකරගත් පොඩිත්තෝ මගේ ඇ‍ඟේ එල්ලුණෝය.

“තාත්තා එයි. දවස් දෙක තුනක් ගියාම. ඔය කේන්තිය නිවිලා යයි” මම ඔවුන්ගේ හිස් පිරිමැද්දෙමි.

“ඒ පාළු වත්තෙ පුංචි ගෙදර තාත්තා තනියම ඉන්නෙ කොහොමද අම්මා? වහිනකොට අකුණු ගහනකොට තාත්තාට බය හිතෙන් නැද්ද?”

බඩපිස්සා ඇඬුම්බර හඬින් ඇසුවේය.

“නෑ.. තාත්තා ලොකු මිනිහෙක්නෙ..” මම මෘදු ‍මොළොක් හඬින් කීවෙමි. දෙවැන්නාගේ සරදම් සිනාව යළි නැඟිණ.

“ලොකු මිනිස්සු මොන්ටිසෝරි වැඩ කරන එකනෙ අවුල”

ශාන්ති දිසානායක
[email protected]


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...