ඉක්මනින් ම නැවත එතොත් මළවුන් ගේ අවුරුදු දා | දිනමිණ

ඉක්මනින් ම නැවත එතොත් මළවුන් ගේ අවුරුදු දා

 හිතට දුකක් වේදනාවක් දැනුණු හුඟාක් අවස්ථාවල, ඒ ගැන කල්පනා කරමින් ඉන්නවට වඩා මොනව හරි කියවන්න ඕන කියල හිතුණොත්, මම තෝරගන්න පොත් දෙකක් තියෙනවා. එකක් මළගිය ඇත්තෝ. අනෙක මළවුන‍්ගේ අවුරුදු දා. බක් මාසේ වෙන්වී ගිය මිතුරන් පිළිබඳ මතකය, මගේ හිතට හදිසියේ දුකක් වේදනාවක් ගෙනාවද කියල මට හිතෙනවා. වසන්ත ඔබේසේකර මිත්‍රයගෙ වෙන්වීම මතක පොතක ලියැවුණු බොහෝ මිහිරි කතාන්තර මතකයට ගෙනාව. අවසාන වතාවට ඔවුන් සමඟ ඔහුගෙ හැත්තෑපස් වන උපන් දිනය සැමරූ 2013 දෙසැම්බරය සිහිවුණා. චිත්‍රපට සංස්ථාවෙ තරංගණියෙදී වසත් සිරිත උපන් දින උළෙල, සමඟ දඩයමත් නරඹලා අවසන් වුණාට පස්සෙ, අපි මුණ ගැහුණෙ, රාජගිරියේ සවරින් අවන්හලේ රාත්‍රී ආහාරය සඳහා. ඒ රාත්‍රියෙන් පස්සෙ වසන්ත පිළිබඳ මතකය වරින් වර මතකයට එමින් යමින් පැවතුණත්, ඔහුව බැහැ දකින්න, කතා කරන්න වෙලාවක් හොයා ගන්න නොහැකි වීම ගැන දැන් දුකක් හිතෙනවා. 1979 පළඟැටියෝ චිත්‍රපටය ගැන දිනපතා ලංකාදීප පත්තරේ පළවුණු විචාරයකට උත්තර බඳින්න ගිහින් ඒ කියන්නෙ පළඟැටියෝ වෙනුවෙන් පෙනී ඉන්න ලිවීමත් එක්ක වසන්ත මගේ ජීවිතේට ළං වෙනවා. ලංකාදීපයේ නිමල්. ඩී. ගමගේ මිත්‍රයා තමයි ඒ දවස්වල සිනමා කලා පිටුව භාර සංස්කාරක. පළඟැටියෝ චිත්‍රපට කතාවෙ සුචරිතය ගැන කතා කරන්න ඊට විරුද්ධව ලියණු විචාරකයකුට පිළිතුරු විදියටයි මම පළඟැටියො වෙනුවෙන් පෙනී හිටියේ. ඒ සම්බන්ධකම් අතීත කතාවෙදි වසන්ත, අපිත් එක්ක සමහර දවස්වල සුගත්ගෙ නාට්‍ය චාරිකාවලටත් එකතු වෙන පුරුද්දක් තිබුණා. තිස්සමහාරාමයේ පෙන්නපු මුතුකුමාරි නාට්‍ය දර්ශනය මට හොඳට මතකයි‍. වසන්ත, අපිත් සමඟ ඒ ගමනෙ හිටියා. කතරගම ගියා. මැණික් ගඟෙන් නෑවා. මුතුකුමාරි කට්ටියගෙන් බොහෝ දෙනා, සුගත්ගෙ ඉඳලා, අපි හැර ගිහින්. සරච්චන්ද්‍ර සමරක්කොඩි, පියසේන අහංගම, මර්සි එදිරිසිංහ, විමල් කුමාර ද කොස්තා, සෝමසිරි දෙහිපිටිය, යූ. ආරියවිමල්. 1994 මැතිවරණ ව්‍යාපාරෙදි තමයි ආයෙත් වසන්ත එක්ක සමීප සම්බන්ධකම් පටන් ගැනෙන්නේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැතිනිය බලයට ගේන්න, එකතු වුණු නිදහස් කලා සන්ධානයේ ගමන් බිමන් රැස්වීම්, ප්‍රචාරක ව්‍යාපාර එක්ක.

නුගේගොඩ ආනන්ද සමරකෝන් සමරු වේදිකාවෙන් ඇරැඹුණු කලා සන්ධාන, රැස්වීම් මාලාවෙ සෑම රැස්වීමකටම වගේ, වසන්ත එකතු වුණා. රත්නපුර, වලපනේ වගේ ගමන්වල වසන්ත, කරුණාසේන ජයලත්, සුනන්ද මහේන්ද්‍ර, කේ. බී. හේරත් ආදීන් පෙරමුණේ හිටියේ. රැඟුම් පාලක මණ්ඩල චිත්‍රපට දර්ශන නැරැඹීම්වලින් පස්සේ බොහෝ රාත්‍රි කාල, වසන්තගෙ ලෝරිස් පාරෙ නිවසෙදී ගත වුණේ, තවත් මිත්‍ර සමාගමක් එක්ක. ගාමිණි සුමනසේකර, සුනිල් ආරියරත්න, සෝමරත්න බාලසූරිය වගේ පිරිසක් හිටියේ ඒ අතර. හුඟාක් අවුරුදුවල ජනවාරි මාසේ වසන්ත මාව මුණ ගැහෙන්නෙ, හොල්සිම් දිනපොත ඉල්ලගන්න. වසන්තගෙ වියොවත් එක්ක මතකයට ආපසු දුක්බර මතක ගොන්න ආපු උඩුහිතට ආවෙ වසන්තයේ දවසක් හදපු ටී. අර්ජුන අවසාන වතාවට වසන්ත ඔබේසේකරගෙ අවමඟුල දා හවස කතාබහ කරමින් ඉඳල දවසින් දෙකකින් පස්සෙ මරණයේ සුවය විඳින්නට ගිය පුවත ඇසීමෙන් පස්සෙ. ටී. අර්ජුනගෙ මිත්‍රත්වය එක්ක වෙන් කරන්න බැරිම නම මාස්ටර්. කේමදාස මාස්ටර්. රාජගිරියෙ මාස්ටර්ගේ ගෙදරදී, ඔහුට රුහුණු විශ්වවිද්‍යාලය ආචාර්ය උපාධිය පිරිනමපු දවස්වල පැවති උත්සව සංවිධාන කටයුතු සමග, මාස්ටර් සංගීත යුගයාත්‍රිකයා ප්‍රසංගය, පළකළ ලිපි එකතුව, රුහුණු සරසවි ගමන අර්ජුන හා අප අතරෙ තිබුණු මිත්‍ර සන්ධවයේ මතක සටහන්. මාස්ටර්ගෙ ජීවිතේ අවසන් දවස් ගතවුණු රෝහලේ හිටපු කාලේ ආයෙත් අර්ජුන සමග ළඟ පයුරු පාසානෙ. ඉතාම මෑතකදි අර්ජුන, මත්තෙගොඩින් නුගේගොඩට ඇවිත් මට කියන්නෙ, දැන් මම ඉන්නෙ ඇඹුල්දෙණියෙ කියලා. එපමණක් නොවෙයි, ඔහු කියනවා ඉඩම් කෑල්ලක් ගත්තා මිරිහාන පැත්තෙන්, ඉක්මනට ගේ හදන්න ඕන, එතකොට අපි දෙන්නටම හමුවෙන්න ළඟපාතවෙයි කියලා. එහෙම බලාපොරොත්තු හිතේ තියාගෙන හිටපු ටී. අර්ජුන අපෙන් හදිසියේ වෙන් වුණාය කියන ප්‍රවෘත්තිය හිතට ගෙනාවෙ විශාල දුකක්. මොකද ඔහු ඒ තරම්ම මිත්‍රශීලී, සමාජශීලි චරිතයක් විදියට ජීවිතයට සමීපව සම්බන්ධවෙලා හිටපු නිසා. මේ සමීප මිතුරු මරණ ද මගේ හිතට කියන්නෙ සරච්චන්ද්‍ර ලියූ මළගිය ඇත්තෝ මළවුන්ගේ අවුරුදු දා අතරට යන්න කියලා. මට කිසිම දෙයක් පැහැදිලිව හිතාගන්න බෑ. ඒත් මම දන්නවා කියාගන්න, ලියා ගන්න බැරි විදියේ මහා පාළුවකින්, දුකකින් හිත පිරිලා කියලා බක්මහ උළෙල නිමාවීම් එක්කම. ඒත් අපට ආදරය කරන කිසිවෙක් ඇත්තටම අපිව අත් හැරල යන්නෙ නෑ නේද? මරණය කියන්නෙ ජීවිතයේ කියන එකේ විරුද්ධ පදය ද නැත්නම් එහිම කොටසක් ද? බියගුල්ලෝ ජීවිතයේ කිහිප වතාවක්ම මරණයට පෙර මිය ගියත්, ධෛර්යවන්තයෙක් කවදාවත් එක් වතාවකට වඩා මරණය අත්විඳින්නෙ නෑ කියල ශේක්ෂ්පියර් කියපු කතාවක් මේ වෙල‍ාවෙම මට සිහිපත් වුණේ මොකද කියල හිතාගන්න බැරුව මම ඉන්නේ.

මළගිය ඇත්තෝහි, දෙවෙන්දොරා සං කැමති කනගාටුදායක සින්දුව, ඉත්සුකි නො කොමරි උනා කියන දරු නැළවිල්ල. සරච්චන්ද්‍ර මළගිය ඇත්තෝ නවකතාවෙදී ඒ අවස්ථාව ලියන්නෙ මෙහෙම. ‘ හිදෙජි ඒ ගැමි ගීය ගායනා කෙළේ මා සාමාන්‍යයෙන් අසා පුරුදු නාසිකා හඬින් නොව උගුර යටින් උපදවන ලද මන්දා ස්වරයකිනි. දිනක් කියෝතො නගරයට ආසන්නව පිහිටි පුරාණ රාජධානියක් වූ නරා නගරයට මා ගොස්, පන්සල් හා දේවාල බලමින් ඇවිද්ද අතර, යුද්ධයෙහි දී එක් කකුලක් කැඩුණු භටයෙක්, සුදු ඇඳුමක් හැඳ‍ගෙන, අතින් ගත් පියානෝ එකෝඩියනයක් වයමින්, ඒ ගීය ගැයූ සැටි මට සිහි විය. (මළගිය ඇත්තෝ - පිටුව 80) ඒ නැළවිලි ගීතයෙහි තැනින් තැන කවි කිහිපයක් කියවන කල මට ද ඒ අත්දැකීමෙහි කොටසකට හෝ අයිතියක් තිබෙනවා නොවේද කියා සිතුණු වාර බොහෝය.

‘මළවුන්ගේ අවුරුදු දා
තමයි මගේ අන්තිම දා
අවුරුදු දා ගෙවී යත්ම
මම මෙතනින් තුරන් වෙනව

ඉක්මනින් ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්ට ඇහැකි
මළගිය ඇත්තන් කැටුවම

මම මැරුණයි කියල කවුද
ඔය හැටි දුක් වෙන්ට ඉන්නෙ
පිටි පස්සේ කඳුගැටයේ
රැහැය්යො නම් ඔහෙ හඬාවි

මගේ හුස්ම ගිය දාකට
පාර අයිනෙ වළ දමාවි
යන එන අය සොහොන උඩට
මලක් වීසි කරලා යාවි ...’

මේ නැළවිලි ගීතයේ ගායන ස්වරයටද නැත්නම් එහි සැඟැවුණු දුක්බර කතාන්තරයේ අරුතට ද දෙවෙන්දොරා සං කැමති වූයේ? මා මේ ගීතයට කැමැත්ත දක්වන්නේ එහි වචනවලට විය යුතුය. මන්ද එහි ගායනයක් මට නොඇසෙන බැවිනි. මරණය සිහියට නැගෙද්දී, මවිසින්ම රචනා කළ මේ කවිය හමුවන්නේ 1974 සැප්තැම්බරයේ දී පළකරන ලද පාර වසා ඇත කාව්‍ය සංග්‍රහයෙහිදීය.

මා මළ දවසට
මා මළ දවසට එනු මැන සොඳුරිය
සුදට සුදේ සුදු ඇඳුමින් සැරසී
නිසලව සිටිනා ම දෙස බලා ඔබ
කඳුළු බිඳක් නෙත රඳවනු සොඳුරිය

සුදු මුතුපොට සුදු ගෙලවට බැඳලා
දෙකන අරුංගල් මල් ගවසාලා
මා හට නො පෙනෙන ඔබේ පුංචි නෙත්
කවුළු දොරින් මා මුහුණ බලනු මැන

ජීවිතයේ දුක් කාන්තාරයේ
අතර මගක දී හමුවුණ සොඳුරිය
කිසිදා මා හා සිනා නොවුණු ඔබ
සිනාවෙලා මා මුහුණ බලනු මැන...’

මා මළ දවසට
එනු මැන සොඳුරිය ....’

ආදරය, මරණය, සමීපතමයන් අපගේ ජීවිතවලින් ඈත් වී යාම ඉන් ඉපදෙන දරාගත නොහෙන, හඬගා පැවසිය නොහැකි, සිත ඇතුළෙහිම විඳවමින් වරින්වර සිතට දුක් ගෙනෙනා අත්දැකීමකට හවුල්වන්නට සිත බලකරන නිසාද මළගිය ඇත්තෝ වෙතට මා වඩ වඩාත් නැඹුරුවන්නේ? එහෙත් ජීවිතය ජීවිතයක් ලෙස සම්පූර්ණයෙන් ජීවත්වූවකු ඕනෑම අවස්ථාවක මරණයට සූදානම් බවයි පැවසෙන්නේ. මරණය ජීවිතයේ විශාලතම අහිමිවීම හෝ පාඩුව නොවේ. විශාලතම පාඩුව වන්නේ අප ජීවත්ව සිටින කල්හි අප තුළ මියයන දේය. මරණයේ අඳුරු සිතුවම මළගිය ඇත්තෝහි වූවත් මළවුන්ගේ අවුරුදු දා හිදී නොරිකො තමාට අහිමි වන දෙවෙන්දොරා සං පිළිබඳ මතක මාවතෙහි අතීත ස්මරණ අතරට අප කැඳවාගෙන යන මොහොත, කොතෙක් වරක් කියවා තිබුණද, ඒ අවස්ථා වර්ණනයේ රමණීයත්වය, ප්‍රේමණීය බව යළි යළිත් මගේ සිත ඉල්ලා සිටින්නේ කිම්දැයි නොදනිමි. ‘ එහෙත් එදා රාත්‍රියෙහි රුප්පාවල හිඳගෙන ගී ගයමින් රමණය කළ නුවරුන් අතර ප්‍රීති ප්‍රාමෝද්‍යයෙන් විසඥ වූ කලක් මෙන් නිහඬ ව ඔහු සමග සක්මන් කරමින් හුන් වේලෙහි අප දෙදෙනා සුපින ලොවක සැරිසරන්නවුන් සේ පෙනුණ ද මතු මත්තෙහි කුමක් වෙතත්, යොවුන් වියෙහි මට මේසා ආස්වාද විඳින්නට ලැබීම, මහත් භාග්‍යයක් යයි මම කල්පනා කළෙමි. මාලිගා ප්‍රාකාරය අසළ වූ වේ මග, මුහුණෙහි උනුන් වෙත නැඹුරු වූ අතුපතර ඇති සකුරා වෘක්ෂයන්ගෙන් ගැවසීගත් දෙපසින් හෙබියේ, මලින් ගොතන ලද උඩු වියනින් අලංකෘත එකම දීර්ඝ ලිය මඩුල්ලක් සේ විය. ඔහුගේ හැම අවයවයකින් මවන්නා සේ වූ නිසසල සුවය මගේ ඇඟට ද නොදැනුවත්ව වැදි එහි පැතිර යන ලෙසත් මට දැනුණි. අවුරුදු ගණනාවක්ම සකුරා බලන්නට මා ගොස් තිබුණු නමුත් ඒවායේ සෞන්දර්ය දෙස මගේ සිත නියම ලෙස යොමු වූයේ මේ වතාවේ පමණි. සකුරා උත්සවය වි‍නෝදවීමට අවස්ථාවක් කොට ගත් මුත්, අපි මල් නැරඹීමේ ආස්වාදය නොවින්දෙමු. වීදියෙන් විසිර ආ විදුලි එළිය නිසාදෝ නොහොත් සල්පිල්වල දල්වා තිබූ පහන්වල එළිය නිසාදෝ ලා දලු පැහැයෙන් යුත් මල්පෙති සඳරැසින් ඔප් නැඟුණු කලක් මෙන් ශ්වේත වර්ණ කාන්තියක් විහිදුවේය. (මළවුන්ගේ අවුරුදු දා 65 -66 පිටු) එහෙත් නොරිකො විසින් මා රැගෙන ගිය, මිහිරි අතීත ස්මරණය බිඳී පුපුරා වැටෙන මොහොතෙහි නොරිකො දෙවෙන්දොරා සංට පවසන මේ වදන් ජීවිතයේ බොහෝ දුක්බර අවස්ථාවන්හි සිහියට නැගෙනුයේ කිම්දැයි සොයන‘මුත් පිළිතුරක් සොයා ගත නොහේ.

“ඔබ එතකොට යනවනෙ? හෙට යනව. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුණාම හෙට දවස. අදත් හෙටත් දෙක ම එකයි. අද අපි දෙන්න ඉන්නව. හෙට මම විතරයි. හෙටත් අනිද්දාටත් කවදාටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනව. කනව. බොනව. වැඩට යනව. කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ.”

බුද්ධදාස ගලප්පත්ති
[email protected]

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...