මායියාගේ මැයි දින පණිවිඩය

 මැයි දිනේට ගිය බස් එකක් ඇවිත් පෙට්ටි කඩේ ළඟ නැවැත්තුවා. ඒකෙන් බැහැගත්තු වැඩකරන ජනයා එකා දෙන්නා තේ එකක් බොන්න කියලා කඩේ ළඟට එන්න පටන් ගත්තා. ඒත් කාටවත් කෙලින් හිටගන්නවත් බෑ. ඒ කියන්නේ පෙලපාලි ගිහින් මහන්සියටම නෙවෙයි. ඒ අය ළඟින් හමා ආව සුවඳින් ඒක තේරුණා.

“මේ වගේ දවසක ගන්න ආතල් එකක් මිසක් ඉතිං අපට කොයින්ද අඩියක් ගහලා රවුමක් දාලා හොඳ හෝටලයකින් කන්න හම්බවෙන්නේ“ එකෙක් කියනවා.

බලන් ගියාම ඉතිං හැමෝම එහෙම තමයි. ‘ජාත්‍යන්තර කම්කරු දිනය‘ කියන්නෙ මොකක්ද කියන එක නම් කවුරුවත් දන්නෙ නෑ. ඒක කාටවත් වැඩකුත් නෑ. මේ ගැන කාටවත් දොස් කියලා වැඩක් නෑ. අපේ පොඩි එකා ඉතිං ඒ ගැන මරු කතාවක් කීවා.

“ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කරන රටකට, ඒකට මහන්සි වෙන මිනිස්සුන්ට ඒකත් එක්ක ඔට්ටුවෙන්නෙ ඒ අය නිසාම ඒක අත්දැකීමක් හැටියට ජීවිතයටත් සංස්කෘතියටත් එකතු වෙනවා. ඒක හදන්න කාපු කට්ට ඒ මිනිස්සු හොඳට අඳුරනවා. එතකොට ඒක මිනිස්සුන්ට වටිනවා. ඒක රැකගන්න එක. අවුල්නම් ඒක කඩලා බිඳලා වෙන එකක් හදන එක ගැන කැක්කුමක් තියෙනවා. ඒ වැඩේ සංස්කෘතියට එකතුවෙනවා.“ පොඩි එකා කියාගෙන ගියා. ඔය අතරේ අපේ මායියා මැද්දට පැන්නා.

“ඉතිං කොහොමද ඕක මැයි දිනෙත් එක්ක සම්බන්ධ වෙන්නේ?“ මායියා ඇහුවා.

“මං කලින් කීවේ බඩු භාණ්ඩ නිෂ්පාදනය ගැනනේ. මේක සම්බන්ධ වෙන්නේ සංකල්ප නිෂ්පාදනය ගැනයි. ඒ කියන්නේ දවසේ පැය ගණනාවක් එක දිගට එක මහන්සියෙන් වැඩ කරපු මිනිස්සු, තමන්ටත් ජීවිතයක් තියෙනවා කියලා හිතලා, තමන්ගේ අයිතිය වෙනුවෙන් පාරට බැස්සම ඒ මිනිස්සුන්ට වෙඩිතියලා මරා දැම්මම ඒක මොනතරම් ඛේදවාචකයක්ද? තමන්ගෙ මිනිස්සු ටිකක් ජීවිතය පූජාකරලා ඊළඟට ඉතිරිවෙලා ඉන්න මිනිස්සුන්ට අයිතියක් උරුමයක් ඇතිකරලා දීලා තියෙනවා. ඉතිං ඒකත් දැනෙන්නේ ඒ සමාජ ක්‍රමය ඇතුළේ ඒ මිනිස්සුත් එක්ක උරෙන්උර ගැටිලා වැඩකරපු, අයට විතරයි. අපි වගේ රටවලට ඒක දැනෙන්නෙ නෑ.“ පොඩි එකා පැහැදිලි කරලා දුන්නා.

“ඔන්න ඕක තමයි අපේ රටේ මැයි දිනය කියන්නෙ ඒ ඒ දේශපාලන පක්ෂවල හයිය පෙන්නන්න, මොන මොන විදිහට හරි බස් ටිකක පටවලා ගම්වල ඉන්න මිනිස්සු ඇදලා පෙන්නන එක වෙලා තියෙන්නේ. ඉතිං අපි වගේ ගම්වල ඉන්න හැම එකාම හිතන්නේ මැයි දිනය කියන්නේ නොමිලේ ටුවර් එකක් ගිහින්, නොමිලේ ඇති පදම් කාලා බීලා ආතල් එකක් ගන්න පුළුවන් දවසක් කියලයි. “ මමත් මට දැනෙන විදිහට වැඩේ කීවා.

වටේ පිටේ හිටපු ඈයෝ ඔළුව හෙළෙව්වත් අපේ මායියා නම් මාව සත පයහකටවත් ගණන් ගත්තේ නෑ. ගස්සාගෙන පද්දාගෙන යන්න ගියා. ඒත් නිකම්ම නෙවෙයි. මෙන්න මෙහෙම කෑල්ලකුත් කියාගෙන ගියා.

“අර ඒ ඒ රටවල එව්වො කියන කරන ඒවා ගැන ඒ ඒ රටවල එව්වන්ට තියෙන කැක්කුමක්, හැඟීමක්, අත්දැකීමක් අපේ රටවලට දැනෙන්නෙ නෑ වාගේම අපේ රටවල එව්ව ගැනත් හැඟීමක්, දැනීමක් නෑ තමයි. දැන් ඉතිං අපි ගෙදර දොරේ කුස්සියේ වැඩ, දරු මල්ලන්ගෙ වැඩ, උයන පිහින, රෙදි හෝදන එකේ සිට කොයිතරම් නම් දේවල් ගොඩක් කරනවද? කොහෙද පිරිමි පුළුටකටවත් ඕක කවදාවත් දැනිලා තියෙනවයැ“ මායියා කියාගෙන ගියා. මං මොකුත්ම කීවේ නෑ.

“ඉතිං ඕක කියාගෙන මැයි දින පෙළපාලියටවත් යන්න අපිට වෙලාවක් තියෙන එකක්යැ. එදාටත් ගෙදර වැඩ ටික මමම කරන්න එපැයි. මං නොකෙරුවත් වැඩ ටික ගොඩගැහෙන්නේ මටම නොවැ. ඒ ටික ඉවර කරන්න දවසේ වැඩියෙන් වැඩ කරා කියලා ඕ.ටී ගෙවනව කියලයැ“ මායියා සැරටම කියාගෙන ගියා. පොඩි එකත් කට වහගෙන පැත්තකට වුණා.

බණ්ඩි රාල


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...