හිරිවඩුන්න ප්‍රියංකාගේ ලී කැටයම්

“මම ඉපදුණේ ගාල්ලේ. විවාහ වුණාට පස්සේ තමයි හිරිවඩුන්නට ආවේ. මගේ මහත්ත‍යා ගාල්ලේ පාරම්පරික ලී කැටයම් ශිල්පියෙක්. මමයි, මහත්තයයි දෙන්නම එකතුවෙලා, අපේම කියලා ස්වයං ව්‍යාපාරයක් පටන් ගත්තොත් හොඳයි කියලා හිතුවා. ඒ විදිහට තමයි මේ ව්‍යාපාරය ආරම්භ කළේ.”

එලෙස තම හඬ අවදි ක‍ළේ , තම සැමියාට සෙවණැල්ලක් වෙමින් දිවි මඟ ජය ගන්නට වෙර දරන, හිරිවඩුන්න පදිංචි එච්.එස් ප්‍රියංකා ය.

මීට වසර 35 කට පෙර මවු පිය උරුමයෙන් තමන්ට හිමි වූ දේශීය කැටයම් නිර්මාණ කලාව, නව මඟකට ගැනීමට ප්‍රියංකා තම සැමියාට දිරියක් විය. එලෙස කටයුතු කරමින් ඇය, නිවෙසට වී නිකරුණේ කල් ගත කරන බො‍හෝ කාන්තාවන්ට ආදර්ශයක් සපයන්නීය.

“මට ඉස්සර මේ ලී කැටයම් කලාව පිළිබඳ එතරම් දැනුමක් තිබුණේ නෑ. මගේ මහත්තයා තමයි මට කැටයම් කලාව පිළිබඳ මුලික දැනුම ලබා දුන්නේ. අපි නිර්මාණය කර අලෙවි කරන්නේ, බුදු පිළිම, ඇත් රූප සහ දේව රූප. ඒ වාගේම, පාරිභෝගික අවශ්‍යතාවලට අනුව ලී කැටයම් නිර්මාණත් අපි කරනවා. ඒ සෑම නිර්මාණයක් සඳහාම කොස්, මැහෝගනී, නැදුන්, බුරුත සහ කළුවර වැනි ලී වර්ග තමයි භාවිත කරන්නේ . අපි කිසිම දවසක පාරිභෝගිකයන්ට, ප්‍රමිතියෙන් තොර ලී කැටයම් ලබා දීලා නෑ.”

තමන්ගේ ස්වයං රැකියාව සාධාරණ අයුරින් කරගෙන යන ප්‍රියංකා සහ ඇගේ සැමියා, ඔවුන් මෙතෙක් පැමිණි උත්සාහවන්ත ගමන් මඟෙහි දැනටමත් ජය කිරුළු පැලඳ ඇත.

“මගේ මහත්තයා ලී කැටයම් කලාව ඉගෙන ගත්තේ එයාගේ තාත්තගෙන්. ඒ නිසා, අමතර පාඨමාලාවලට ඔහුට යන්න වුවමනා වුණේ නෑ. වසර ගණනාවක් පැරැණි මේ කැටයම් කලාව‍ට අද ඇලුම් කරන්නේ, අපේ රටේ ජනතාවට වඩා විදේශිකයනුයි. ඔවුන් මහන්සියට සරිලන මුදලක් අපට ලබා දෙන්න කිසි විටෙක පැකිලෙන්නේ නෑ. 2015 සහ 2016 යන අවුරුදු දෙකේදීම අපට ජනාධිපති සම්මාන හිමි වුණා. ලියනාඩෝ ඩාවින්චිගේ අන්තිම රාත්‍රි භෝජන සංග්‍රහය නමැති ලී කැටයම් නිර්මාණයට ජනාධිපති සම්මාන හිමි වීම, අප ලැබූ විශාල ජයග්‍රහණයක් හැටියටයි මං දකින්නේ. එවැනි නිර්මාණ වර්තමානයේ දුලබ නිසා, අප දෙදෙනාගේම මහන්සියෙන් ලබා ගත් ජයග්‍රහණය පිළිබඳ තිබෙන්නේ විශාල සතුටක්.”

සාර්ථක අයුරින් ජීවන වෘත්තියක් පවත්වාගෙන යාමට නම්, අවැසි වන්නේ විශ්වාසය හා අවංකකම පමණකි. ප්‍රියංකා සහ ඇගේ සැමියා යන දෙදෙනාම ධෛර්යවන්තකමින් ගොඩනඟාගත් මේ ආදායම් මාර්ගය, සෑම දෙනාටම ගොඩනගාගත හැකි නිර්මාණශීලී කාර්යයක් නොවේ. එවන් වූ කාර්යයක් මඟින්, තමන්ගේ නොනිමි උත්සාහයෙන් සහ ධෛර්යයෙන් උපරිම පල නෙළා ගනිද්දී, යමෙකුට දැනෙන සතුට කියා නිම කළ නොහැකි ය. ප්‍රියංකාට ඇත්තේ ද එවැනිම සතුටකි.

“දැන්නම් මේ වෘත්තියෙන් හිතන තරම් ආදායමක් අපට ලබා ගන්න බෑ. ඉස්සර නම් මම මුලින් ම කරපු නිර්මාණ ලෙහෙසියෙන් ම විකුණා ගත්තා. දැන් නම් අපට කොයිතරම් දක්ෂතා තිබුණත්, අපගේ නිර්මාණ ලෙහෙසියෙන් විකුණාගන්න බෑ. ලී කැටයම් කලාව කියන්නේ පෙර සිටම පැවත එන හොඳ කලාවක්. මේ කලාව වියැකී යන්නට නොදී ආරක්ෂා කර ගන්නට, රජය කුමන් හෝ වැඩපිළිවෙළක් යොදනවා නම්, එය ඉතාමත් ම අගය කළයුතු දෙයක්.” ඇය පවසන්නී ය.

මදාරා 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...