දිවි පුදා දිනාගත් මැයි දිනය

අන්තර්ජාතික කම්කරු දිනය අදට යෙදී තිබේ. ඒ අනුව, ශ්‍රී ලාංකේයයන් වන අපි ද, කම්කරු දිනය සමරන්නෙමු. අප අද සමරන කම්කරු දිනය, රුහිරු වගුරා, දිවි පුදා දිනාගත්තක් මිස, කම්කරුවන් ගැන සිතා, පාලකයන්ගේ දෑස් උණු කඳුළෙන් තෙත්වීම නිසාවෙන් ලද දායාදයක් නොවේ. එසේ ලැබුණු අන්තර්ජාතික කම්කරු දිනය හා සබැඳි, සුවිශේෂී කාරණා කිහිපයකි මේ.

එක්දහස් අටසිය ගණන්වලදී අමෙරිකන් ජාතික සේවකයකු, දිනකට පැය 12ක් සේවය කළේය. එමෙන්ම සතියේ දින හත පුරාම සේවයේ යෙදෙන්නටත් ඒ සේවකයන්ට සිදු විණ.

වයස අවුරුදු 5 – 6 ත් අතර වයස් ඛණ්ඩයේ දරුවන් පවා සේවය කළ බව දැක්වේ. මේ දරුවෝ කම්හල්වලත් පතල්වලත් සේවය කළෝය.

මෙවැනි පසුබිමක් ඇති වී තිබුණේ කාර්මික විප්ලවයෙන් බිහිවුණු නව සමාජ වාතාවරණය හේතු කරගෙන ය.

කම්කරුවන් වෙනුවෙන් දිනයක් පැවැත්විය යුතු බව, කවරකුගේ අදහසක් අනුව ක්‍රියාත්මක වූවක් ද යන්න සම්බන්ධයෙන් විවිධ මත පවතී.

පීටර් මැක්ගුයිරේ නමැති තැනැත්තාගේ සංකල්පයක් අනුව එය ආරම්භ වුණු බව සමහරු විශ්වාස කරති. තවත් ඇතැම් අය කියන්නේ මැතිව් මාගුයිරේ නමැත්තෙකුගේ අදහස අනුව කම්කරු දිනය ආරම්භ වුණු බවකි.

පළමු කම්කරු දින පෙළපාළිය අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වුණේ 1882 වසරේ සැප්තැම්බර් මස 5 වැනිදා ය. නිව් යෝර්ක් නුවර සේවය කළ සේවකයෝ දස දහසක පමණ පිරිසක් ඊට සහභාගී වූහ. මේ සේවකයන් පෙළපාළියට සහභාගී වුණේ වැටුප් කපා හරින ලද නිවාඩුවක් ගනිමිනි.

කම්කරු දිනය වශයෙන් සැමරීමට පළමුවෙන්ම යොදා ගැනුණේ සැප්තැම්බර් මාසයේ මුල සතියේ සඳුදා දිනයයි. එදින කම්කරු දිනය හැටියට යොදා ගත්තේ ශ්‍රීෂ්ම නිවාඩුව අවසන් වන්නේ එදිනෙන් බැවිනි.

කම්කරු දිනය සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සඳුදාට යෙදෙන බව 1882 වසරේදී ප්‍රකාශයට පත් කළේ, එවකට අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා හැටියට කටයුතු කළ ග්‍රෝවර් ක්ලෙවෙලෑන්ඩ් ය.

1882 වසරේ සැප්තැම්බර් මස 5වැනිදා පළමු කම්කරු දිනය සමරනු ලැබුවේ ඒ අනුව ය. 1886 මැයි මස 01 වැනිදා අමෙරිකාවේ චිකාගෝ නුවරට කම්කරුවන් පිරිසක් රැස් වී, තම වැඩ මුරය පැය 8 කට සීමා කරන්නැයි ඉල්ලා සිටියහ. සටන් පාඨ කියමින් එම උද්ඝෝෂණයට එදා එක්වූ කම්කරුවන් පිරිස, දහස් ගණනක් බව දැක්වේ. වැඩ වර්ජනයේ තීරණාත්මක දිනය වූයේ 1886 මැයි මස 03 වැනිදා ය.

හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ රැගත් පොලිස් නිලධාරීහු පිරිසක් වැඩ වර්ජකයන්ට එදින ප්‍රහාරයක් එල්ල කළහ. ප්‍රහාරය හේතුවෙන් කම්කරුවන් සිව්දෙනකුට ජීවිත අහිමි විය.

පහර දීමට විරෝධය පළ කරමින් මැයි මස 04 වැනිදා හේමාර්කට් චතුරශ්‍රයට කම්කරුවෝ පිරිසක් එක්වූහ. පොලිසිය හා කම්කරුවන් අතර ඇතිවුණු වචන හුවමාරුවකදී, බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත් වුණු බව දැක්වේ. මේ සිද්ධිය මුල් කරගෙන එහි ගැටුමක් ද ඇතිවිණ. ඒ ගැටුමෙන් පොලිස් නිලධාරීහු හය දෙනෙක් මරු දුටහ. එහිදී කම්කරුවන් කොපමණ සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වී ද යන්න අදටත් ගණන් බලා නැත.

එදා උද්ඝෝෂණයට සහභාගී වී සිටි ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්සන්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලින්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකයෝ, පොලිස් අත්අඩංගුවට පත්වූහ. පසුව ඔවුන්ට එරෙහිව නඩු පැවරිණ.

අත්අඩංගුවට පත් කම්කරු නායකයන්ට එරෙහි නඩු විභාගය ඇරැඹුණේ, 1886 වසරේ ජුනි 21දා ය. නඩු විභාගය 1886 වසරේ අගෝස්තු 11වැනිදා වනතුරු පැවැත්විණ. එය අවසන් වූයේ ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමකුත්, සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැච් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකුත්, සෙසු කම්කරු නායකයන් පස්දෙනා එල්ලා මැරීමටත් තීන්දු වීමෙනි.

පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් රුධිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහි කිරීමට 1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ ය. ඒ අනුව, සෑම වසරකම මැයි 01වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් විය.

ලොව සෑම රටක්ම පාහේ ලෝක කම්කරු දිනය පිළිගනී. එසේ වුවත්, ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් හැටියට ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ලෝකයේ රටවල් 60ක් පමණි.

එදා කම්කරුවන් ඉල්ලා සිටි පැය අටේ සේවා මුරය ගැන ලෝක සංවිධාන නිශ්චිත තීරණයකට එළැඹියේ, එයින් වසර ගණනාවකට පසුව ය. එනම් 1916දී පමණ ය. එතැන් පටන් පැය අටෙහි සේවා මුරය ස්ථාපනය කෙරිණ.

ඇස්තමේන්තුවල සඳහන් වන ආකාරයට, මිලියන 30කට අධික පිරිසක් අද වනවිට වහල් තත්ත්වය භුක්ති විඳිමින්, විවිධ රැකියාවන් හි නිරත වෙති. ඔවුන් හරහා වසරකට උත්පාදනය වන ආදායම අමෙරිකා ඩොලර් බිලියන 32කට වැඩි ය. මෙසේ උත්පාදනය කරන එකී සේවක පිරිස, බලයෙන් සේවාවන් හි යොදවනු ලැබ ඇති බව ද තහවුරු වේ.

ලෝකය පුරා ක්‍රියාත්මක වන අණ පණත්වලට අනුව පාසල් යන වයසේ දරුවන් සේවයේ යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදකි. එසේ වුවත්, අද මේ වනවිට මිලියන 200කට අධික දරුවන් පිරිසක් විවිධ රැකියාවල නිරතව සිටිති.

මේ දරුවන්ගෙන් මිලියන 120කට ආසන්න පිරිසක් නියැළී සිටින්නේ උපද්‍රව සහිත රැකියාවල බව වාර්තා වේ. ලෝ පුරා වැඩ කරන දරුවන්ගෙන් මිලියන 73කට අධික පිරිසක් පසුවන්නේ වයස අවුරුදු 10ට අඩු වයස් කාණ්ඩයේ ය.

ලෝක බැංකුව ගණන් බලා ඇති ආකාරයට ලෝක ශ්‍රම බළකාය මේ වනවිට බිලියන 3.4ක් පමණ වේ. ශ්‍රම බළකායෙන් බිලියන 2ක් පිරිමි ය. බිලියන 1.4කට ආසන්න පිරිසක් ගැහැනුන් ය. 2030 වනවිට ලෝක ශ්‍රම බළකාය බිලියන 4 ඉක්මවා යනු ඇති බවට ලෝක බැංකුව අනාවැකි පළ කරයි. එවිට, බිලියන 2.4ක පිරිමින් පිරිසක් ශ්‍රමිකයන් වනු ඇත. ගැහැනු ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව බිලියන 1.6ක් පමණ වේ යැයි ලෝක බැංකුව පෙන්වා දෙයි.

දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇති අන්දමට, ශ්‍රමිකයකුගේ සාමාන්‍ය මාසික වේතනය අමෙරිකා ඩොලර් 1200ක් පමණ වේ. කොහොම වුණත් මේ අගය ලෝකයේ ඇතැම් රටවල් සම්බන්ධයෙන් තව දුරටත් සත්‍යයක් නොවේ. ඒ, ඇතැම් රටවල සේවකයන්ගේ සාමාන්‍යය මාසික වේතනය අමෙරිකා ඩොලර් 100කටත් වඩා අඩු මට්ටමක පවතින බැවිනි.

අන්තර්ජාතික කම්කරු සංවිධානය පෙන්වා දෙන අන්දමට, ලෝක විරැකියා තත්ත්වය 5.8% සිට 5.9% දක්වා වැඩි වී ඇත. මේ තත්ත්වය 2019 වසර වන තුරුම පවතිනු ඇති බව ලෝක කම්කරු සංවිධානයේ අදහස වේ. ඒ අනුව, දැනට විරැකියාවෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 61කට වඩා අධික බව කියැවේ. ලෝකයේ පවතින විරැකියා තත්ත්වය තව දුරටත් වර්ධනය වනු ඇති බව ද එම සංවිධානය පෙන්වා දෙයි. ඒ තත්ත්වයට විසැඳුම් හැටියට නව රැකියා අවස්ථා මිලියන 220කට අධික ප්‍රමාණයක් ඇති කළ යුතුව ඇති බව ද ගණන් බලා තිබේ.

මංජුලා විජයරත්න
අන්තර්ජාලය ඇසුරෙනි 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...