අපි කන කෑමවල ඔබ නොදන්න ගුණ

වර්තමානයේ කොතරම් බටහිර ආහාරපාන සැකසුණ ද, ශ්‍රි ලංකාවට අනන්‍ය වු ආහාර වට්ටෝරුවලින් මිනිසාගේ සිරුරට ලැබෙන පෝෂණය මෙපමණ යැයි කීමට අපහසු ය. එදිනෙදා ජීවිතයේ දී ලබාගන්නා ආහාර පිළිබඳ, ඔබ නොදන්නවා වුණාට, බොහෝ ගුණ අන්තර්ගතව ඇත. මේ ඒ පිළිබඳ තතු බිඳකි.

* බත් යනු බොහෝ පෝෂ්‍ය පදාර්ථවලින් පරිපූර්ණ වූ ප්‍රධාන ආහාරයකි. එහි ප්‍රෝටීන සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතව ඇත. බත් සමඟ මුං ඇට එකතු කළ විට, බත්වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය නැතිවී යයි. එහෙත්, මුංඇට කිරිබත් , සිරුරේ හටගන්නා බොහෝ රෝග සඳහා ගුණදායක ආහාරයකි.

* නිවුඩු හාල්වල සහ දේශීය හාල්වල තන්තු බොහෝ ප්‍රමාණයක් අන්තර්ගතව ඇත. නිවුඩු හාල්වල සුදු හාල්වලට වඩා ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ යන පෝෂණ සංඝටක අන්තර්ගත ය. නිවුඩු හාල්වල පිහිටා ඇති දුඹුරු පැහැති ස්ථරය, ඇලියුරෝනය ලෙස හැඳින් වේ. එහි, සෞඛ්‍යයට හිතකර පෝෂණ සංඝටක බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත ය. එම නිසා, සුදු සහල්වලට වඩා නිවුඩු සහල් සහ දේශීය සහල් , සෞඛ්‍යයට වඩාත් ගුණදායක ය.

* කඩල වැනි ඇට වර්ග, රැයක් පොඟවා තබා පිළියෙළ කිරීම සාමාන්‍ය සිරිත ය. රැයක් පොඟවා තබන ලද කඩලවල බැක්ටීරියා ක්‍රියාවලිය අනුසාරයෙන් අතිදුර්ලභ පෝෂණ සංඝටකයක් වන B12 විටමිනය නිපද වේ. කල් වේලා ඇතිව පොඟවාගෙන තම්බා ගන්නා කඩල, ආහාරයට ගැනීම යෝග්‍ය වන්නේ එනිසා ය.

* ලූණු සහ සුදු ලූණු ව්‍යාංජනවලටත්, මැල්ලුම් ආදියටත් බහුලව මිශ්‍ර කිරීමෙන්, ආහාර මේදවල අඩංගු යම් අගුණයක් වේ නම්, එය ඉවත්ව යයි.

* බල මාළුවල කළු පැහැති කොටසෙහි හිස්ටමීන් යන රසායනික සංයෝග බෙහෙවින් ඇත. ඒ නිසා, බලමාළු ආහාරයට ගන්නා ඇතැම් අයට හතිය, කැසිල්ල, වමනය, අධික දහඩිය දැමීම (උෂ්ණ අධික වීම නිසා ඇතිවන රෝග) ඇති වේ. එම නිසා, බලමාළු පිළියෙළ කිරීමේ දී ගොරකා මිශ්‍ර කිරීමෙන් හිස්ටමීන් රසායනික සංයෝගයේ විෂ බාල කිරීමට හැකි බව වෛද්‍යවරුන් සනාථ කරගෙන ඇත. බලමාළුවලින් ඇඹුල්තියල් පිළියෙළ කරන විට දී, ගොරකා භාවිත කරන්නේ එනිසා ය.

* එළවළු වර්ගවල අධික ලෙස කැල්සියම්, යකඩ සහ ඛනිජ ලවණ අඩංගු වී නොමැත. එහෙත් කොත්තමල්ලි, අබ, ගම්මිරිස්, එනසාල් ආදියේ ඉහත සංඝටක මඳ වශයෙන් අඩංගු වී තිබේ. එම නිසා, ව්‍යංජන පිසීමේ දී කුළුබඩු එකතු කර ගැනීම යෝග්‍ය වේ.

උපදෙස්- කොළඹ ජාතික රෝහලේ
හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක

මදාරා මුදලිගේ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...